ආදරණීය දුවේ පුතේ, කොළඹ නගරයේ සිට මහඔය හරහා කිලෝමීටර් 350ක් පමණ දුරින් අම්පාර පිහිටා තිබේ. අම්පාර අපේ රටේ තරමක් දුෂ්කර වූ රට කෙළවරේ පිහිටි නගරයක්. ඉතින් ඒ නගරයේ සැඟවිලා තිබෙන පුරාවිද්‍යා ස්ථාන පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ප්‍රාථමික ගුහා චිත්‍ර සහිත ස්ථාන රාශියක් අපට හමු වේ. ශ්‍රී ලංකාවේ මෙලෙස ප්‍රාථමික ගුහා චිත්‍ර සහිත ලෙන් හැට දෙකක් වාර්තා වන අතර, එයින් වැඩි ප්‍රමාණයක් පිහිටා ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ ය. ඒ ගුහා විසි අටකි. වනගතව පිහිටා ඇති මෙම ගුහා බොහෝ පර්යේෂකයන් විසින් පර්යේෂණයකර ඇති අතර, සොලෙයිමාන් නමැති යටත් විජිත යුගයේ මානව විද්‍යා පර්යේෂකයා ද, ආචාර්ය නන්දදේව විජේසේකරයන් ද, පී.ඊ.පී. දැරණියගල මහතා ද, මහාචාර්ය සේනක බණ්ඩාරනායකයන් ද, මහාචාර්ය රාජ් සෝමදේවයන් ද ඒ අතර ප්‍රමුඛ වෙති.
මේ ගුහා චිත්‍ර සමස්තයක් වශයෙන් එකට ගෙන පර්යේෂණය කිරීමේදී එම සිතුවම් ඇ¼දීම සඳහා භාවිත කරන ලද ශිල්ප ක්‍රමය වන්නේ සායම් හෝ වෙනත් ද්‍රව්‍යයක් ආලේප කිරීම මඟින් සිතුවමක් ඇඳීමයි. එහිදී සමහර විට මුළු සිතුවම එකම වර්ණයකින් ඇඳ ඇති අතර, තවත් විටෙක වර්ණ කිහිපයක් භාවිතකර සිතුවම් ඇඳ තිබේ. වර්ණ අතර රතු, අළු හා සුදු ප්‍රධාන වේ. සිතුවම් ඇඳීමේදී බොහෝ දුරට භාවිතකර ඇත්තේ තමන්ගේ ඇඟිල්ලයි. ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කය පුරාම මෙලෙස අඳින ලද ප්‍රාථමික චිත්‍ර සහිත ස්ථාන රාශියක් අපට හමුවන අතර, එයින් කිහිපයක් අද දවසේ උරුමයක වගතුගවලින් අපි හඳුනා ගනිමු.
එයින් පළමුවැනි ස්ථානය වන්නේ තරුලෙන්ගලයි. අම්පාර පොතුවිල් මාර්ගයේ හුළංනුගේ හන්දියෙන් වම් පසට ඇති අතුරු මාර්ගයේ කිලෝමීටර් එකහමාරක් පමණ ගමන් කළ විට මෙම තරුලෙන්ගල හෙවත් පුරාණ හබුතගල විහාරස්ථානයට ප්‍රවේශ විය හැකි ය. එම පර්වත මුදුනේ මෑතක ඉදිකළ බුද්ධ ප්‍රතිමාවක් හා කුඩා දාගැබක් දක්නට හැකි අතර, කටාරම් කෙටූ ලෙන් දාසයක් ද දක්නට ලැබේ. මෙහි ප්‍රාථමික චිත්‍ර පිහිටා තිබෙන්නේ බුද්ධ ප්‍රතිමාව පිහිටි ප්‍රධාන ලෙන්වලයි. එම චිත්‍ර පිළිබඳ 1984දී ආචාර්ය රෝලන්ඩ් සිල්වා මුල්ම වරට හෙළිදරව් කරන අතර, ප්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම් සියයකට ආසන්න ප්‍රමාණයක් මෙම ස්ථානයෙන් හඳුනාගෙන තිබේ. එම සිතුවම් අතර මිනිස් රූප, ඉදිබුවා, කබරයා ඇතුළු සත්ත්ව රූප, අලියන් පිට යන මිනිසුන්, ඉර හා හඳ මෙන්ම තවත් ජ්‍යාමිතික සංකේත හා හඳුනා නොගත් රූපසටහන් රාශියක් වේ. මෙම සිතුවම් මීටර් දාසයක් පමණ දිගින් යුක්ත මීටර් දෙකක් පමණ පළලින් යුක්ත වපසරියක නිර්මාණයකර ඇත. තරුලෙන්ගලින් හමුවන සිතුවම් අතර, අලි රූප හා ඇත් රූප ප්‍රධාන වේ. මෙම චිත්‍ර ඇ¼දීම සඳහා සුදු අළු හා රතු යන වර්ණ තුනම භාවිතකර ඇත.
අම්පාර ප්‍රදේශයෙන් හමුවන තවත් ප්‍රාථමික ගුහා චිත්‍ර සහිත ස්ථානයක් වන්නේ සමන්ගල යි. එය අම්පාර නගරයට නුදුරු මහඔය මාර්ගයේ ගොනාගොල්ල හන්දියෙන් කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටා ඇති වනගත ආරණ්‍යයක් සහිත ප්‍රදේශයක් වේ. අඩි පන්සියයක් පමණ උසින් යුක්ත සමන්ගල කන්දේ කටාරම් කෙටූ ගල්ලෙන් රාශියක් පිහිටා ඇති අතර, ඒවායේ කිහිපයක ක්‍රිස්තු පූර්ව යුගයට අයත් සෙල්ලිපි ද දක්නට ලැබේ. ආදිවාසීන්ගේ චිත්‍ර යැයි හඳුනා හඳුනාගත හැකි චිත්‍ර විශේෂයක් දැනට බුදු මැදුරක් ලෙස භාවිත කරන ලද ලෙනෙහි පියස්සේ දක්නට ලැබේ. 2003දී එල්ලාවල මේධානන්ද හිමියන් විසින් මෙම චිත්‍ර ගැන මුල් වරට අනාවරණය කරන අතර, එහි චිත්‍ර රූප සටහන් 12ක් පිහිටා ඇති බව හඳුනාගෙන ඇත. ඒවා අතර මානව රූප, මුවා ඇතුළු සත්ත්ව රූප අපට හමු වේ.
පැරැණි ලෙන් සිතුවම් සහිත තවත් ස්ථානයක් වන්නේ ගොනාගොල්ල යි. අම්පාර මහඔය ප්‍රධාන මාර්ගයේ සමන්වලට නුදුරින් ගොනාගොල්ල හන්දියේ සිට කිලෝමීටර් දෙකක් පමණ ගිය පසු මෙම ස්ථානයට අපට ප්‍රවේශ වීමට හැකි ය. පුංචි සීගිරිය වශයෙන් ද හඳුන්වනු ලබන මෙම ස්ථානය අනුරාධපුර යුගයට අයත් සිතුවම්වලින් අලංකාර වී ඇත. එම සිතුවම් පිහිටි පර්වතයේම කෙළවරේ ආදිවාසීන් විසින් අඳීන ලදැයි සැලකෙන ප්‍රාථමික සිතුවම් දක්නට ලැබේ. දුඹුරු හා සුදු වර්ණ භාවිතයෙන් මෙම චිත්‍ර නිර්මාණයකර ඇති අතර, සත්සර ඉලංගසිංහ මහතා පවසන්නේ මෙහි එවැනි චිත්‍ර සටහන් 14ක් පමණ හඳුනාගත හැකි බවයි.
අම්පාර මහ ඔය මාර්ගයේ උහන හන්දිය පසු කළ විට හමුවන සැටල් හන්දියේ සිට දිවෙන මහ කණ්ඩිය පාරේ ගමන් කළ විට හමුවන කහට ගස්යාය කඳු පාමුල පිහිටි නෑල්ල පුරාණ නටබුන් සහිත ප්‍රදේශයත් ප්‍රාථමික චිත්‍ර සහිත අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි තවත් ස්ථානයක් වශයෙන් හඳුනාගත හැකි ය. එම ස්ථානයේ සිට මීටර් පන්සියයක් පමණ දුරින් ගුහා චිත්‍ර සහිත ලෙන පිහිටා තිබේ. ඒ අසලම පැරැණි සෙල් ලිපියකි. එම ගුහාවේ පැරැණි බිත්තියක කොටසක් සහ ගල්කණු දෙකක් ද දක්නට ලැබෙන අතර, අවර්ණ වී ගිය සුදු පැහැයෙන් අඳීන ලද චිත්‍ර සටහන් තිහක් පමණ මෙහි හඳුනාගත හැකි ය. එම චිත්‍ර සටහන් අතර සිවුපාවුන්, මීවද ආකාරයේ සටහන් දක්නට ලැබෙන බව පර්යේෂකයන් විසින් හඳුනාගෙන තිබේ. මේ වන විට මෙම සිතුවම් ද අනෙක් ස්ථානවල සිතුවම් මෙන්ම ශීඝ්‍රයෙන් මැකී යමින් පවතී. මෙම සිතුවම් ද සංරක්ෂණය කිරීමට කඩිනම් වැඩ පිළිවෙළක අවශ්‍යතාව මතුවී තිබේ.
ලක්නා නිරෝෂිමාලා