නර්තනය යනු වැඩිහිටි කුඩා සියලු දෙනාම සංයමයකට පත් කරන භාවනාවක් කිව්වොත් එය නිවැරැදි ය. ඒනිසාම කුඩා කාලයේදී දරුවකු නර්තනයට යොමු කිරීම ඉතා වැදගත් ය. ගත චලනය කිරීමෙන් සිත එකම ඉරියව්වකට යොමු කරයි. මේ නිසාම මනස නිවීමකට පත් කරයි. මේ ක්‍රියාදාමය කුඩා කාලයේ සිටම පුරුදු පුහුණු කිරීමෙන් අධ්‍යාපනික කටයුතු සමාදානයෙන් සංයමයෙන් කරගැනීමට ද අවකාශ ලැබේ. මේ වාතාවරණය තේරුම් ගන්නේ අල්ප දෙනෙකි. එවැනි දරුවන් රැසක් පිරිවරාගෙන කළ ප්‍රසංගයක් පිළිබඳ කතාවක් කීමටයි අප මේ සැරසෙන්නේ.
දුලීසා ආයතනය පෙර පාසල් වයසේ සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ දරුවන් සඳහා නර්තන කණ්ඩායම් පුරුදු පුහුණු කරන ආයතනයකි. විෂයානු බද්ධව නර්තන ඉගෙනගන්නවා මෙන්ම මානසික සුවය ඇති කරගැනීම සඳහා ද නර්තනය උපකාරී වෙයි. බොහෝ දරුවන්ට නර්තනය මඟින් අනෙකුත් විෂයන්වලදී ලැබෙන පීඩනය අවම වන අතර, එම විෂය ඉගෙන ගැනීමේදී එය අභ්‍යාසයක් ලෙස හදාරන්න දරුවාට පුරුදු පුහුණු කරයි. මෙහිදී දරුවන්ට නර්තනය පිළිබඳ අභ්‍යාස ලබාදෙන යශෝදා ජී. පුංචිහේවා මහත්මිය තම ආයතනයේ දරුවන් වෙනුවෙන් විනයානුකූල අධ්‍යාපනයක් ලබා දෙයි.
පසුගියදා එම ආයතනයේ දරුවන් විසින් ඉදිරිපත් කළ ටිකිරියෝ නර්තන ප්‍රසංගය ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්විණි. එහි ආරාධිත අමුත්තා ලෙස රූපවාහිනී සංස්ථාවේ ඉංග්‍රීසි අංශයේ අධ්‍යක්ෂ කෞශල්‍ය දොඩන්ගොඩ මහතා පැමිණි අතර, මව්පියන් සහ සම්භාව්‍ය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් නර්තන ප්‍රසංගය විවෘත විය. මෙහිදී දරුවන්ගේ පිළිගැනීමේ නර්තනයෙන් අනතුරුව ටිකිරි ලියන්ගේ කළගෙඩි නැටුම ආරම්භ විය. එයින් අනතුරුව අලංකාර භරත නැටුමකින් සභාව අමද්දානන්දයට පත් විය. එයින් අනතුරුව කුවේණිය සභා ගැබට පැමිණියා ය. ” සත්සියක් කපුමල් රැගෙන මම, සත්සියක් සුදු කෙඳී රැගෙන මම, සත්සියක් කපු කෙඳී වියන මම, සත්සියක් දෙන පළදෙතේ. සත් සියක් රත් මල් රැගෙන මම, සත්සියක් රත් හුය රැගෙන මම, සත්සියක් මල් දම් ගොතන මම , සත්සියක් ගෙල පළදෙතේ. සත්සියක් මායා බෙලෙන් මම, සත්සියක් බන්ධන බෙලෙන් මම, සත්සියක් සක්වළ සොයා මම, ගෙන්නු කුමරුන් අද එතේ. ” මේ ගීතය වාදනය කරත්ම කුවේණිය සහ පිරිවර සභා ගැබට පැමිණියහ. ඔවුන්ගේ රංගනයෙන් පසු, ‘ලෝ අඩ නින්දේ ‘ගීතයට කුඩා දරුවන් පිරිසක් නැටූහ. එයින් පසු ටිකිරි ලියන් නර්තන ප්‍රසංගයේ වැදගත්ම අංගය වූයේ එහි ගුරුතුමිය වූ යශෝදා මහත්මියගේ රංගනයයි. සුරඟන වෙස් වලා, ගොයම් කවි, තුරඟා වන්නම, ගජගා වන්නම, රාජ කුමාරි, වැනි නර්තන අංගයන් අලංකාර ලෙස පැවත්විණි.
වර්තමානයේදී බොහෝ දරුවන්ගේ අධ්‍යාපනය සමබර නොවන්නේ ඔවුන්ගේ අධ්‍යාපනයට විනෝදයක් සහ සතුටක් එක්වී නොමැති නිසා ය. එහෙත් අපි ඒ බව හැඳීනගෙන දරුවන්ට විනෝදය සතුට ලබාදිය යුතුයි. මව්පියන් සහ ගුරුවරු ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. මේ නිසා නර්තනය, රංගනය, සංගීතය දරුවන්ගේ විෂය නිර්දේශයට පමණක් ආවේණික නොකර එය ඔවුන්ගේ අධ්‍යාත්මයත් සමඟ බැඳෙන්නට ඉඩ හැරිය යුතුයි. මෙය වැඩිහිටියන් විසින් දරුවන්ට දෙන මාහැඟි දායාදයකි.
රූපාන්ති බුලත්සිංහල