“ඒ කංචු. උඹ තාම විවේක ගන්නවද?” පිටෝවිටේ ඩැනී ඇසුවේ ය. ආත්තම්මාට අසුවෙන්නට ඔහු වැඩිපුර අපේ ගෙදර එන්නේ නැත. ආත්තම්මා ද ඔහුට මනාප නැත. ඒත් අප්පච්චී කුඹුරු වැඩට ඩැනී හෝ තාත්තා කතා කර ගනී.
“කංචු මොකද අද කරන්නේ?”
“ අද මුකුත් හිතුවෙ නෑ…”
“මට නම් උණ ගස් කීපයක් කපාගන්න විදානෙ මහත්තය එන්න කීවා. කංචුත් එනව ද? යමු”
“මට හිස රුජාවයි. අද නම් යන්න බෑ” මම කීවෙමි.
“මේ පිටෝවිටේ ළමයට කන්න දෙයක් දෙන්න හාමිනේ. ඒ දරුව ආවෙ වැඩකට”අප්පච්චි අම්මාට කීවා ය.
“දරුවො එහා පැත්තෙන් එන්න” ආත්තම්මා පුදුම කරුණාවකින් කතා කළා ය.
“හැමදාම සෙල්ලම් කරල බැහැ නේ. විභාග ප්‍රතිඵල එනකම් ඔය මොනා හරි කොරන්න එපාය. ..” අප්පච්චී ද කීවේය.
“කෝ…….අපේ දරුව යන්නැද්ද දරුවො?” අප්පච්චී ඩැනීගෙන් මා ගැන විමසනවා ඇසුණි.
“හිස රුජාවයි කියන්නෙ.”
ඕව තාම කරල නැහැනේ. මහ බොරු ඇඟවල්.” අප්පච්චී කීවේ ය.
කරුණෙත්, විමලෙත් ආවෝය. “මොකද තාම ඇඳේ….?”
“මගේ ඇඟට හරිනෑ විමලෙ.”
“මටත් ටිකක් තෙහෙට්ටුයි තමා. ඒ වුණාට මං හිතුවේ රුක් අත්තනගොඩ කන්දෙ මාරගස් බෙන්වල ඉන්න ගිරා පැටව් එකෙක් දෙන්නෙක් අල්ල ගන්න.”
“අපෝ අද නම් බෑ බං. අද අප්පච්චි උණගස් වගයක් කප්පනව. ඔන්න ඩැනිත් ආව. මටත් කතා කරල ගියේ”
“ආ…………………..මේ………..කරුණෙ පුතයි විමලෙ දරුවයිත් ඇවිදින් තියෙන්නෙ.” කාමරයට එබී බැලූ ආත්තම්මා කීවාය.
“ගමන ගෙහුං ආවට පස්සෙන් පහු එන්න බැරි වුණා නේ. ඒකයි මේ ආවෙ”
“ඉතින් පුතාල කාලද උදේට?”
“ඔව් ආත්තම්මා. ඒ වුණාට තාම හරි තෙහෙට්ටු ගතියක් දැනෙනව. කංචුට මොකද අව් පූටකේ පයින්ම ගාටලා. ඒක නිසා වෙන්න ඇති.”
“අනේ, අපිටත් එහෙම තමයි ආත්තම්මා….”
“ඒ වුණාට ඩැනිය නම් වැඩ. ඌ ගෙදරටත් වියදම් කරනව. තාත්තා හැමදාම ලෙඩා හතිය නේ. ඒ මනුස්සයට වැඩ කරන්න බෑ. තමන්ගෙ අමාරුවට වැඩිය පවුලෙ අමාරුව දැකලා ඇහැපියාගෙන ඉන්න එක්කෙනෙක් නෙවෙයි ඒ දරුවා” අම්මා කීවා ය.
“ඔයාට අමාරු නේ. අපි එහෙමනම් යන්නම්.”
මද්දු අයියාත්, මහතුන් මාමාත් කපන ලද උණගස්වල කිනිති කපා දමා සුද්ද කරනු ලබන්නේ ඩැනියා විසිනි. කළු අප්පුවෙත් උණගස් ඕවිටට ගෙන ඒමට උදව් විය.
‘ඩැනීටත් අමාරු ඇති ආත්තම්මේ පුදුමයි ඌ අදම වැඩට ආව.”
“නැති බැරිකම්. ඕනකම තියෙන කොට එහෙම තමා. ඔය ගොල්ලන්ට ඒවා තේරෙන්නෙ නෑ. කෑම පංගුව ළඟට එන හින්ද” ආත්තම්මා කීවා ය.
“හරි ……..හරි… මමත් රස්සාව කරල ආත්තම්මට පෙන්නන්නම් කො” මම කීමි.
“අනේ, මගේ කට” කී ඇය නොමනාපයෙන් මෙන් ඉවතට ගියා ය.
“අද ඩැනිය වැඩ නිසා මුකුත් කරන්න බෑ. නැත්නම් කන්ද නැඟලා ගිරා පැටව් හොයන්න යන්න එනවා.” මම කීමි. “වැඩේ ඕන වුණාට කංචු මේ වෙලාවෙ ඒව කරන්න ගියොත් අපි ලොකු අමාරුවක වැටෙන්නෙ.” විමලේ කියයි.
සැදෑ හිරු අහස පුරා නේක වරුණ සළු වපුරා සැඟවී සැඟවී ඔච්චම් කරමින් සිට පුවක් ගහ හේන් කන්දෙන් එපිටට පැන ගත්තේ ය.
කපන ලද උණ ගස් දෙකට පලා හතරට පලා මිදුලේ පසෙක තුනීකර ඇත.
“හිච්චි මලය උඹැහෙට හෙට එන කොට ලිහිණිය කෝටු මිටියක් හෝ මයිලා කරටි කිහිපයක් හරි පොතු ගහගෙන එන්න පුළුහන් වෙයි නේද?”
“අපෝ බැරිකමක් නෑ. අර මහවලට උඩින් හරිය ලිහිනියා ගාලක් නේ. කෝටු කපාන ආවට පට්ට බේරගෙන එන්න බැරිවෙයි. මෙහෙදින් තමා පට්ට සුද්ද කරගන්න වෙන්නෙ. නිකම් බොරුවට මයිල කරටි උහන් එන්න ඕනි නෑ. මදි වුණොත් ඔය ඉවුර අයිනට ගෙහුං කපා ගෙන එන්න බැරියැ.”
“හොඳා. එහෙනම් එහෙම බලමු. මේ වටේ බැඳපු වැට දැන් තැනින් තැන කැඩිලා ගිහින්. කෙහෙල් පැලයක් වත් තියා ගන්න බැහැනේ. හෙට කණූු කෑලි ටික හිටෝලා අහවරක් කරල පහු වෙන්දාට හරහ පටි වෙළමු.” අප්පච්චී හෙට වැඩ ගැන සැලසුම් කළේ ය.
අප්පච්චීගේ වැඩට සම්බන්ධ නොවුණහොත් කිසිම දෙයක් කරගන්නට නොලැබෙන බව මම හොඳා කාරවම දන්නෙමි. ඒ නිසා හෙට කියන දවසේ අප්පච්චිට උදව් වන්නට අපි තීරණය කළෙමු.
එවැන්නක් දැනුම් නොදීම ඔවුන් වැඩ කරන විට අපි ද අතරමැදින් පැන උදව් වීමට උනන්දු වීමු.
හීන් පිනි කඳුළු පොළොව සිපගනිද්දී මල්ලි පාසල් යෑමට සූදානම් විය. විමලෙගෙ මල්ලි කිරා, මල්ලි එනතුරු පාරට වී සිටියේ ය.
“අද අයියලා කොහෙද යන්නෙ?” ඔහු මගෙන් ඇසුවේය.
“කොහෙවත් යන් නෑ මල්ලි. මෙන්න මේ වැට හදා ගන්න පොඩ්ඩත්තක් උදව් වෙන්නයි හිතාන ඉන්නෙ?”
“අපේ අයියත් එයිද දන්නෙ නෑ. ඔන්න උදේම රෙදි ගොන්නක් හෝදනවා දැක්ක.”
“එහෙමද මල්ලි. ආවොත් නම් හොඳයි” මම කීවෙමි.
“අපි යමු කිරා” කියමින් මල්ලි පාරට ආවෙන් දෙදෙනාම පාසල බලා යන හැටි මම බලා සිටියෙමි.
“මේ ලොකු දරුවො නරකද දැන් දත කට මැදගෙන කාල බීල ඔය කරන වැඩක් කර ගත්ත නම්…..” ආත්තම්මා කීව ද මම කිසිවක්ම නොකීවෙමි.
ඩැනිත් කළු මාමත් පාන්දරම පැමිණ ලිහිනියා පට්ට ගලවමින් සිටිය හ. අප්පච්චී අප්පු මාමාට වැට මායිම් බේරන හැටි කියා දෙමින් සිටියේය.
“කංචු පුතේ. යාළුවොත් එක්ක ගෙහුං අර ඉඹුල් කිරිබත් කැටයක් කාලා තේ ටිකක් සප්පායන් වුණා නම්” අම්මා කීවාය.
කවුරුත් තේ බී අවසන් වූ පසු කරුණෙත්, සුගතෙත් ආහ. ඔවුන් ද අප හා එකතු වී තේ බීවෝය.
වැඩක් ඇතුවා හෝ නැතුවා වුවද මුළුතැන්ගේ ආලින්දයේ මේසය උඩ කෑම වරදින්නේ නැත. කවුරුන් හෝ පිටින් ගෙදරට ආවත් මොනවා හෝ නොකා නොබී යන්නට සිදු නොවේ.
එය සෑමදාම එසේ ය. එය පරම්පරාවෙන්ම පැවත ගෙන එන සිරිතකි.
“අනේ විදානෙ මහත්තයා කූඩැල්ලන් නම් හොඳ හැටි අවදිවෙලා. මනිනවා. මිනින්දෝරුවො ටික වැඩට බැහැලා.” අප්පු මාමා කීවේ ය.
“ඒ උන් කියන්නෙ අපි වැඩ පටන් ගත්තා කියලා.” අප්පච්චී කීවේ ය.
ඔය අල්ල පනල්ලේ අප සිව් දෙනා එතැනැට සම්බන්ධ වීමු.
“ආ……………කට්ටිය මේ අද කොහෙවත් යමින් ගමනද?”
“නෑ……….නෑ……..විදානෙ මාමා…. මේ කංචු වෙනුවෙන් උදව්වටයි ආවෙ” විමලෙ කීවේ ය.
“හප් බොල………?” කියා අප්පච්චි සතුට පළ කළේ ය.
කරුණෙත්, විමලෙත් වළවල් පැත්තක්ම හෑරුවේ ය. ඩැනී එක මිම්මකට කපන ලද උණ ගස් එහි දමා පස් තද කළේ ය.
අප්පු මාමත්, කළු අප්පු මාමාත්, බන්දු සේනත් අපට විරුද්ධ පැත්තේ වළවල් හෑරු අතර, නන්දෙ අයියා උණ බම්බු සිටුවා තද කරමින් සිටියේ ය.
අපි ඉක්මණින් කණු සිටුවා අවසන් කළෙමු.
“අයියෝ…..හතර දෙනෙක් ඉඳලාත් පරාදයි.” විමලෙ කීවේය.
“නන්දෙ විතරයි ඉලන්දාරි ගැටයකුට ඉන්නෙ. අපි නාකි උන්දලා. තමුන් ළඟ හයි හත්තිය තියෙන ගැටව්. අපේ තරගයක් නෑ. හොඳ දරුවෝ” අප්පු මාමා කීවේ ය.
රත්නා කහඳගම