එකමත් එක කුඩා ගම්මානයක ජෝන් නමින් පිරිමි ළමයෙක් ජීවත් වුණා. ජෝන් හරිම කම්මැළි ළමයෙක්. ඔහුගේ කම්මැළිකම හැමෝම දැනගෙන සිටියා. ඔහු නිතරම කෙටි මාර්ග සෙවූ අතර, වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් ද වැළකී සිටියා. එක් අව්ව සහිත දිනයක, ජෝන් තමන්ගේ නිවෙසේ කාමරයේ ජනේලයෙන් ගෙවත්ත දිහා බැලුවා. ඔහුට ගෙවත්තේ තිබුණු ඇපල් ගස පෙනුණා. ඔහුට සිතුණා ඇපල් ගෙඩියක් රස බලන්න. ඉතින් ඔහු ඇපල් ගස අසලට ආවා. ඒත් ඇපල් ගසේ උඩ අතුවලයි ඉදුණු රතු ඇපල් තිබුණේ. ඒවා කඩන්න මහන්සි වෙන්න ජෝන්ට කම්මැළි සිතුණා. ඉතින් ඔහු ඇපල් ගස යට හාන්සි වුණා. ඇපල් ගස යට ගිමන් හරිමින් සිටියදී, ජෝන් සිතුවේ ගසෙන් ඉදුණු ඇපල් ගෙඩියක් තමන් අසලට වැටුණොත් එය අහුලාගෙන ගන්නට හැකි බවයි. ඒත් බොහෝ වේලාවක් ගත වුණත් එකම එක ඇපල් ගෙඩියක්වත් ජෝන්ගේ උකුළට වැටුණේ නැහැ.
එවිටම ජෝන්ගේ නංගි මේරි එතැනට ආවා.
“ඇයි අයියේ ඔයා ඇපල් කඩාගන්නේ නැත්තේ?” නංගි ඇසුවා.
“මට කම්මැළියි ඇපල් කඩන්න මහන්සි වෙන්න. මං මේ බලාගෙන ඉන්නේ ඇපල් ගෙඩියක් ගහෙන් වැටෙනකම්” ජෝන් පිළිතුරු දුන්නා.
“ඔයා නම් පුදුම කම්මැළියෙක්නෙ” එසේ පැවසූ මේරි ඇපල් ගස යටින් ආපසු යන්න ගියා. තවත් ටික වේලාවක් ගෙවී ගියා. ඒත් ඇපල් ගෙඩියක් නම් ජෝන් අසලට වැටුණේ නැහැ.
නොසන්සුන් වූ සිතින් ජෝන් ඇපල් ගස යට සිටියා.
එකපාරටම ඇපල් ගසේ අතු සෙලවුණා. ජෝන් හිස ඔසවා ඉහළ බැලුවා.
දිලිසෙන කොළ පැහැති හිසකෙස් ඇති ඇපල් වගේ රතු පාට කම්මුල් ඇති ලස්සන ගැහැනු ළමයෙක් ඇපල් ගසේ සිටිනු ජෝන් දුටුවා.
“ඔයා කවුද?” ජෝන් පුදුමයෙන් ඇසුවා.
“ මගේ නම ඇපලීනා (Appleina) . මම තමයි දඟකාර ඇපල් ගස් සුරංගනාවිය. ආයුබෝවන්, තරුණ ජෝන්” ඇපලීනා එසේ පවසන විට ඇගේ මුහුණෙන් දීප්තිමත් රතු ඇපල් පැහැය විහිදුණා.
“රසවත් ඇපල් කඩාගෙන කන්න පුළුවන් කොට ඇයි ඔයා නිකන් ඉඳගෙන ඉන්නේ?” ඇපලීනා ඇසුවා.
ජෝන් කම්මැළි ලෙස උරහිස් සලමින් මෙසේ පිළිතුරු දුන්නා.
“ඇත්තෙන්ම මං බලා ඉන්නේ ඇපල් මගේ ඔඩොක්කුවට වැටෙන තුරුයි. මට ගහට නැඟලා ඇපල් කඩන්න කම්මැළියි. මෙහෙම ඉන්න කොට ඇපල් මා ළඟට වැටුණොත් මට ඒක වැඩිය පහසුයි.”
එය අසා ඇපලීනා දඟකාර ලෙස සිනාසුණා.
“අනේ, ආදරණීය ජෝන්, ඔයා වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ වටිනාකම ඉගෙන ගන්නම ඕනෑ. මාත් එක්ක එන්න, මං ඔයාට මායාකාරී ඇපල් ගසේ රහස් පෙන්වන්නම්.”
ඇපලීනාගේ කතාව අසා ජෝන්ට පුදුම හිතුණා.
ඔහු වාඩි වී, ඇපලීනා හෙවත් කොළ පැහැති ඇපල් සුරංගනාවිය දෙස බලා සිටියා. , කොළ හිසකෙස් සහ රතු ඇපල් ඇස්, රතු කම්මුල් සහිත මේ සුන්දර සුරංගනාවිය සහ ඇය කියන සුරංගනා කතා ගැන ජෝන්ගේ සිතේ කුතුහලයක් ඇතිවුණා. ඔහු ඇපලීනා සමඟ වනාන්තරයට ගමන් කළා. අතරමඟදී ඔවුන්ට පොම්පි නම් ලේනෙක් හමු වුණා. සුදුමැලි අළු වලිගයක් සහ දිලිසෙන කළු ඇස් ඇති පොම්පි ශීත ඍතුව සඳහා විවිධ ඇට වර්ග ගෙඩි වර්ග සහ පලතුරු එකතු කරමිනුයි සිටියේ .
“දැක්කද මේ ලේන් පැටියා ළඟ එන සීත ඍතුවට දැන් තියාම ආහාර රැස් කරනවා ගබඩාකර තබන්න. බලන්න එයාලා පොඩ්ඩක්වත් කම්මැළි නැහැ නේද? අර බලන්න අර කුරුලු රංචු පලතුරු සොයමින් ගසින් ගසට පියාඹා යන ලස්සන. එයාලාත් කම්මැළි නෑ.“ ඇපලීනා ජෝන්ට කියා දුන්නා.
“හෙලෝ, යාළුවේ ” පොම්පි සතුටු සිතින් ජෝන්ව පිළිගනිමින් කතා කළා.
“ඔයාව මෙහි එක්ක ආවේ කුමක් සඳහාද?”
ලේනා ජෝන්ගෙන් ඇසුවා. ජෝන්ට හරිම පුදුමයි! ඇපල් සුරංගනාවක් මදිවට කතා කරන ලේනෙකුත්!
ඇපලීනා ඔවුන්ගේ අරමුණ සහ කාර්ය ලේනාට පැහැදිලි කළ අතර, ඔවුන්ගේ ත්‍රාසජනක ගමනට එක්වී ඔවුන්ට සහාය වීමට ලේනා එකඟ වුණා. පොම්පි ඔවුන්ට මඟ පෙන්වමින් සහාය වුණා. ඔවුන් වනාන්තරය හරහා ගමන් කරමින්, දිලිසෙන කුඩා දිය පහරවල් මතින් පනිමින් ඇවිද ගියා. ගස්වල බිමටම නැමුණු අතු යට තාරාවන් සිටියා. කැලෑ මල්වල මිහිරි සුවඳීන් වාතය පිරී ගිය අතර, සුළඟට නැළවෙමින් ගස් එකිනෙකා අතර සෙමින් සෙමින් රහස් කියමින් සිටියා.
අවසානයේදී, ඔවුන් විශාල ඇපල් ගසක් තිබූ උස් වූ එළිමහන් ප්‍රදේශයකට පැමිණියා. එම ඇපල් ගසේ අතු නැවුම් යුෂ සහිත පෘෂ්ටිමත් ඇපල්වලින් බර වී තිබුණා
“මේ තිබෙන්නේ ඉන්ද්‍රජාලික ඇපල් ගසයි” ඇපලීනා මිමිණුවා. ඇගේ කටහඬ බියෙන් පිරී ගියා.
“ඒත් මේ ගස එහි තිබෙන වස්තු තෑගි කරන්නේ ඔවුන් වෙනුවෙන් වැඩ කිරීමට කැමැති අයට විතරයි.”
ඇපලීනා පැවසුවා.
ජෝන්, සැකයෙන් වුවත්, එය උත්සාහකර බැලීමට තීරණය කළා. ඔහු අධිෂ්ඨානශීලිව ඇපල් ගසට නැග්ගා. ඔහු රතු පැහැයෙන් ඉදී තිබුණු ඇපල් කඩන්න පටන් ගත්තා. ඔහු නෙළන සෑම ඇපල් ගෙඩියක් සමඟම ඔහුට ජයග්‍රහණයක් සහ ආඩම්බරයක් දැනුණා. ඔහු වැඩ කරන තරමට, ඔහු වඩාත් රසවත් ඇපල් සොයා ගැනීමට හැකි වුණා.
මේ විදියට ජෝන් තම මල්ල අලංකාර ඇපල් වලින් පුරවා ගත් විට, වෙහෙස මහන්සි වී වැඩ කිරීම තමා විශ්වාස කළ තරම් අපහසු නොවන බව ඔහුට වැටහුණා.
ඔහු ඇපලීනා සහ ලේනා සමඟ එම ඇපල් බෙදාගත් විට, ඔවුන්ගේ හදවත් ප්‍රීතියෙන් පිරී ගියා. ඔවුන් ජෝන්ට ස්තූති කළා.
සවස් වරුවේ හිරු රශ්මියෙන් වනාන්තරය පුරා රන්වන් පැහැයක් එක් වුණා. ඇපලීනා, පොම්පි සහ ජෝන් ආපසු ගමට ගියා. ජෝන් තවදුරටත් කම්මැළි ළමයෙක් නොවන බවත් ඔහු වෙහෙස මහන්සි වී වැඩ කිරීමට කැමැති බවත් ලැව් ගින්නක් මෙන් ගම්මානය පුරා පැතිර ගිය අතර, ජෝන්ගේ එම වෙනස අසා ගම්වැසියන් පුදුමයට
පත් වුණා. ජෝන් තම ගම්වැසියන්ට බොහෝ වැඩවලට දායක වීමට උනන්දු කඩිසර තරුණ පිරිමි ළමයකු බවට පත්ව සිටියා.
එදා ඉඳන් ජෝන් ප්‍රසිද්ධ වුණේ මහන්සි වෙලා මායා බලයක් හොයාගත්ත පිරිමි ළමයා කියලයි. පහසුවට ලෙහෙසියට කෙටි ක්‍රම සොයා ගැනීම අගනා දෙයක් යැයි පෙනෙන්නට තිබුණත් එය පලක් නැති දෙයක් බව ජෝන්ට ඉක්මනින්ම වැටහුණා. සැබෑ වටිනාකම පවතින්නේ උත්සාහයෙන් කටයුතු කිරීමෙන් බව ඔහු ඉගෙන ගත්තා. සෑම රාත්‍රියකම නින්දට යන විට, ඔහු මායාකාරී ඇපල් ගස ගැන සහ ඇපල් සුරංගනාව කියා දුන් පාඩම ගැන මෙනෙහි කළා.
මේ කතන්දරය කිය වූ පුංචි ඔයාලාත් කම්මැළි නොවී මහන්සි වෙලා වැඩ කරන අය කියලා මං හිතනවා. මං හරි නේද?
මෙම කතාවෙන් හමු වූ විශේෂ චරිත
ඇපලීනා
Appleina යනු හිසකෙස් සඳහා දිලිසෙන කොළ පැහැති පත්‍ර ඇති සහ දීප්තිමත් රතු ඇපල් ඇස් සහිත දඟකාර ඇපල් ගස් සුරංගනාවියකි. ඇය කම්මැළි මිනිසුන්ට විජ්ජාවන් කිරීමට කැමැතියි.
පොම්පි
පොම්පි යනු සුදුමැලි අළු වලිගයක් සහ දිලිසෙන කළු ඇස් ඇති ප්‍රයෝජනවත් ලේනෙකි. ඔහු සෑම විටම ශීත ඍතුව සඳහා ගෙඩි සහ පලතුරු එකතු කිරීමට කාර්යබහුල වී සිටියි.
ඉංග්‍රීසි ළමා කතාවක් ඇසුරෙන්
හර්ෂණී ගමගේ