Home උරුමයක වගතුග පනාවිටිය අම්බලම

පනාවිටිය අම්බලම

by thanushika
0 comment

ආදරණීය දුවේ පුතේ, ඔන්න අදත් උරුමයක වගතුගවලින් ඔයාලට ශ්‍රී ලංකාවේ පිහිටි තවත් විශේෂ ස්ථානයක් පිළිබඳ තොරතුරු කියාදෙන්නයි මේ සූදානම. ඒ තමයි ක්‍රිස්තු වර්ෂ 18 වැනි සියවසේ හෙවත් මහනුවර රාජධානි සමයේ ඉදි කරන ලදැයි සැලකෙන අපේ රටේ පුරාණ අම්බලම් අතරින් දැකගත හැකි විශිෂ්ටතම දැව කැටයම් සහිත පනාවිටිය අම්බලම. මෙම අම්බලම කුරුණෑගල – මීගමුව මාර්ගයේ පිහිටා ඇති මැටියගනේ පාසල් මාර්ගයේ පිහිටා ඇත. එම මාර්ගයේ කිලෝමීටර් හතරක් පමණ ගිය පසු මෙම අම්බලම අපට හමුවන අතර, ශ්‍රී ලංකා තිලකාරාම විහාරස්ථානය එයට නුදුරින් පිහිටා තිබේ. එය දේවමැදි හත්පත්තුවේ මයුරාවතී කෝරළයට අයත් ය.

පුරාණයේ විසූ ජනතාව විවිධ කටයුතු සඳහා ගමන් බිමන් ගියේ පා ගමනින් වන අතර, ඔවුන්ගේ පහසුව උදෙසා තැනින් තැන අම්බලම් ඉදිකිරීම සිදුවිය. එසේ ඉදිකරන ලද අම්බලම් අතරින් ප්‍රධාන අම්බලම් වර්ග දෙකක් අපට හඳුනාගත හැකි වේ. එනම් සිටු අම්බලම් හා මැටි අම්බලම් වශයෙනි. මෙහිදී සිටු අම්බලම් ප්‍රභූ පිරිස්වලට නවාතැන් ගැනීම උදෙසා ඉදිකරන ලද අතර, මැටි අම්බලම් සාමාන්‍ය ජනතාවගේ සුව පහසුව උදෙසා ඉදිකර ඇත. ඒ අනුව මෙම පනාවිටිය අම්බලම කුඩා වර්ගයේ සිටු අම්බලම් විශේෂයට අයත් වූවකි. අඩියක් පමණ උසට තැනූ වේදිකාවක් මත ඉදිකර ඇති එය අඩියක් පමණ උසට ගල් පිට දැමූ දැව කඳන් මත ටැම්පිට ක්‍රමයට බාල්ක දමා ගොඩනඟා තිබේ.

මෙම ගොඩනැඟිල්ලේ ගෙපල දිගින් අඩි දොළහයි අඟල් හතරක් ද පළලින් අඩි නවයයි අඟල් හයක් ද වේ. දැව අඩියේ පටන් අඟල් හය දක්වා ගනකමින් යුක්ත මෙම අම්බලමේ දකින්න ලැබෙන විශේෂත්වයක් වන්නේ එහි වහලයයි. එය තල් අත්තක හැඩයට නිර්මාණය කළ කැණිමඬලකින් යුක්ත වන අතර, දැනට ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන කිසිදු අම්බලමක එවැනි කැණිමඬලක් දක්නට නොලැබේ. හතරැස් ස්වරූපයෙන් යුක්ත අම්බලමේ පාදම මත සවි කරන ලද කුලුනු හතරක් මත වහල සාදා ඇති අතර, අම්බලමේ ඇති සම්පූර්ණ කුලුනු ගණන විසි හයකි. ප්‍රධාන කුලුනු ද්විත්වය මැදි කොට ගෙන දෙපේළියට යෙදූ කුලුනු 12 බැගින් දෙපසට කුලුනු යොදා ඇත. මෙහි ඇතුළු වටයේ තවත් කුලුනු නවයකි. එම කුලුනුවල උස අඩි හතකි. ඒවා විසිතුරු කැටයම්වලින් අලංකාරකර තිබීම ද මෙහි ඇති තවත් විශේෂත්වයකි. එහි ඇති මුළු පරාල සංඛ්‍යාව තිස් දෙකකි. වහලේ හරහට විශාල බාල්ක දෙකක් යොදා ඇති අතර, ඒවා ද අලංකාර කැටයමින් සරසා ඇත.


මෙහි ඇති කැටයම්වල දක්නට ලැබෙන විශේෂත්වයක් වන්නේ ඒවා සම්පූර්ණයෙන්ම සමකාලීන සමාජය, පිරිස පිළිබිඹු කරන ආකාරයට නිර්මාණයකර තිබීමයි. ආචාර සමාචාර දැක්වීම, නැට්ටුවා, පෙරහර, නළඟන, මල්ලවපොර ශිල්පීන් දෙදෙනා, බෙරකරුවා ආදී නිර්මාණ ඒ අතර කැපී පෙනෙයි. නාග කැටයම් ද රාශියකි. ඇතුළත ඇති දැව කණු නවයෙහි පේකඩවලට පහළින් සෑම කණුවකම නයි පෙන හතරක් බැගින් නයි පෙන තිස් හයක් කැටයම් කොට තිබේ. ඊට අමතරව තවත් එක කණුවක ඉහළ කොටසේ සම්පූර්ණයෙන් නාග දරණය කැටයමට නඟා ඇත. ලියවැල් මෝස්තර ආදියෙන් ද දැව කණු අලංකාරකර තිබේ. මිනිස් රූප, සත්ත්ව රූප, මල්, කොළ ආදිය ද ඒ කැටයම් අතර අපට දැක ගත හැකි ය.

ශ්‍රී ලංකාව පුරාම තැනින් තැන ඉදිකරනු ලැබූ අම්බලම් දක්නට ලැබුණත් අලංකාරය අතින් බෙහෙවින් වැදගත් නිර්මාණයක් ලෙස පනාවිටිය අම්බලම විශේෂයෙන් හැඳීන්විය හැකි ය.

 

ලක්නා නිරෝෂිමාලා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department