Home විශේෂාංග ගිල්වෙල් සුහද හමුව Gillwell Reunion

ගිල්වෙල් සුහද හමුව Gillwell Reunion

by thanushika
0 comment

ලී පදක්කම (Wood Badge) යනු බාලදක්ෂ ආචාර්යවරයකුට හෝ ආචාර්යවරියකට ලබාගත හැකි උසස් ඉහළම ප්‍රදානයයි.

ශ්‍රී ලංකාවේ ලී පදක්කම්ධාරීන් මෙන්ම ලොව පුරා විසිරී සිටින දහස් සංඛ්‍යාත ලී පදක්කම්ධාරීන් හෙවත් “”පළමු වැනි ගිල්වෙල් උද්‍යාන බාලදක්ෂ සමූහයට ” අයත් සාමාජික සාමාජිකාවන් වසරකට වරක් එක්වන සුහද හමුව Gillwell Reunion නමින් හඳුන්වනු ලබන අතර, එම සමූහයේ මූලස්ථානය වන එංගලන්තයේ ගිල්වෙල් උද්‍යානයේදී සෑම වසරකට වරක් සැප්තැම්බර් මස පළමු සති අන්තයේ මෙම ” ගිල්වෙල් නැවත හමුවීම ” සිදු කරනු ලබයි.

පළමුවැනි ගිල්වෙල් උද්‍යාන බාලදක්ෂ සමූහයේ නිත්‍ය සමූහ බාලදක්ෂ නායකයා ලෙස සැලකෙනුයේ බේඩ්න් පවෙල් සාමිවරයා වන අතර, මෙම සමූහයේ ආදර්ශ පාඨය වනුයේ “පක්ෂපාතිත්වය, එකමුතුව හා ප්‍රමාණවත් තරම් කාර්යක්ෂමතාව” යන්න හෙවත් ” Loyalty ,Unity & Quite Efficiency ” යන්නයි.

ලී පදක්කම් පුහුණුව යනු බාලදක්ෂ ආචාර්යවරුන් හා ආචාර්යවරියන් සඳහා වන අදියර කිහිපයකින් පැවැත්වෙන පුහුණු පාඨමාලාවකි. එය බාලදක්ෂ , පෝතක හා මානවක අංශයන් සඳහා වෙන වෙනම පවත්වනු ලබයි. ශ්‍රී ලංකාවේ මෙම පාඨමාලාව අදියර පහකින් යුතුව පැවැත්වෙන අතර, 4 වැනි අදියර උසස් පාඨමාලාව ලෙස නම් කරයි.

ලී පදක්කම් පාඨමාලාවක ප්‍රධාන අරමුණු වන්නේ

*බාලදක්ෂ සාරධර්මවලට අදාළ ආයතනික ලෝකයේ සහ ප්‍රමුඛ පෙළේ ආයතනවල භාවිත කරන සමකාලීන නායකත්ව සංකල්ප හඳුනා ගැනීම.

*සාර්ථක වැඩ කරන කණ්ඩායමක සාමාජිකයකු ලෙස සහභාගිත්වය හා කුසලතා ඉගෙනුම .

*තරුණ වයසට ගැළපෙන ක්‍රියාකාරකම් සපයන අන්තර් සම්බන්ධිත, සාරධර්ම මත පදනම් වූ වැඩසටහන් පවුලක් ලෙස ගෝලීය වශයෙන් බාලදක්ෂ කටයුතු කිරීම.

*බාලදක්ෂයාට එහි මෙහෙවර කිරීමට අවශ්‍ය නායකත්වය සැපයීමට උපකාරී වන ආස්වාදජනක අත්දැකීම් බෙදාගැනීම.

එමෙන්ම ලී පදක්කම්ධාරියකුගෙන් අපේක්ෂිත අරමුණ වන්නේ උසස් නායකත්වය , පූර්ණ දක්ෂතා සහිත ව්‍යාපාරය කෙරෙහි දැඩි බැඳීමකින් හා භක්තිමත් අයකු ලෙසින් කටයුතු කිරීමයි.

ලී පදක්කම් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ පසුව ලී පදක්කම් සහතිකය , ලී පදක්කම සමඟ පළමු වැනි ගිල්වෙල් උද්‍යාන කරලේන්සුව හා වොගලය හිමි වේ.

ලොව මුල්ම බාලදක්ෂ නායකයන් සඳහා වූ පාඨමාලාව 1919 සැප්තැම්බර් මස 8 වැනිදා දා සිට 19 වැනිදා දක්වා බාලදක්ෂ නායකයන් 19 දෙනකුගේ සහභාගිත්වයෙන් එංගලන්තයේ ගිල්වෙල් උද්‍යානයේදී පවත්වන ලදි.‍ මෙම පාඨමාලාව ගිල්වෙල්හි ප්‍රථම කඳවුරු නායකයා වූ කපිතාන් ෆ්‍රැන්සිස් ගිඩ්නි මහතාගේ පාඨමාලා සංවිධානත්වයෙන් යුතුව බේඩ්න් පවෙල් සාමිවරයාගේ සැලැස්ම මත පවත්වනු ලැබීය .

පාඨමාලාව අවසානයේ රාත්‍රී භෝජනයේදී බේඩ්න් පවෙල් සාමිවරයා විසින් පවත්වනු ලැබූ කතාවෙන් කියවූයේ ” මෙම පුහුණුව ඔබගේ අවසන් පුහුණුව යැයි නොසිතන්න .දැන් ඔබ පැමිණ සිටින්නේ රන් මුතු මිණි මැණික් සපිරි මන්දිරයක අබියසට ය. ඔබ එහි දොරකඩ අබියස සිට ගත්තා පමණි . එහි දොර හැර එතුළට යෑමේ යතුර ඇත්තේ ඔබලා අතේ ය. එම යතුර නම් ඔබලා විසින් ළමයා වෙනුවෙන් කටයුතු කිරීමයි. එහි ඇති වටිනා ධනය නම් ළමයා ය. එම වටිනා ධනය සමඟ කටයුතු කිරීම සඳහා අන් අයට නොලැබුණු විශේෂ වරප්‍රසාදයක් ඔබට ලැබී තිබේ. එම වරප්‍රසාදය නම් ඔබ බාලදක්ෂ නායකයකු වීම ය.”

ලොව ප්‍රථම ලී පදක්කම සඳහා වූ ද්විතීයික පුහුණුව ප්‍රථමයෙන් සම්පූර්ණ කළ තැනැත්තා වන්නේ විල්කි විල්සන් ය. එමෙන්ම ප්‍රථම ලී පදක්කම් පාඨමාලාවට සහභාගි වූ මෙලොව විසූ අවසන් පුද්ගලයා වනුයේ දොන් පෝටර් ය.

බාලදක්ෂ ලී පදක්කම බාලදක්ෂ උපාධිය ලෙස බේඩ්න් පවෙල් සාමිතුමා කිසි කලෙක නිර්දේශ නොකළ අතර, ලී පදක්කම් පාඨමාලාවේ ජාත්‍යන්තර පුහුණු මධ්‍යස්ථානය වන ගිල්වෙල් උද්‍යානය විසින් ලී පදක්කම බාලදක්ෂ උපාධිය ලෙස මේවන තුරු පිළිගැනීමක් සිදුකර නොමැත . එමෙන්ම බ්‍රිතාන්‍ය බාලදක්ෂ සංගමය ඇතුළු ලොව බාලදක්ෂ සංගම් විසින් එලෙස පිළිගැනීමක් හෝ එවැන්නකට ඉඟියක් හෝ පළකර නොමැත .

එමෙන්ම ශ්‍රීලංකා බාලදක්ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් ද එවැන්නක් පිළිබඳ කිසිදු ප්‍රකාශයක් හෝ එවැන්නකට ඉඟියක් හෝ පළකර නැත.

වසරකට වරක් පමණක් රැස්වන අරුම පුදුම 1 වැනි ගිල්වෙල් උද්‍යාන බාලදක්ෂ සමූහයේ නිත්‍ය සාමාජිකයන් ලෙස ලොව පුරා වෙසෙන දහස් ගණනින් වූ ලී පදක්කම්ධාරීන්ගෙන් ඇතැමුන් තම සමූහයට කිසිදාක ගොස් නැත. එමෙන්ම තම සමූහයේ රැස්වීම්වලට කිසිදාක සහභාගි නොවූ අය ඉන් ඉවත් නොකරන අතර, එහි නීති රීති නොමැත. එහි ඇත්තේ එකම කොන්දේසියක් පමණි . එනම් ලී පදක්කම්ධාරියකු වීම පමණි .

එංගලන්තයේ 1 වැනි ගිල්වෙල් උද්‍යාන බාලදක්ෂ සමූහයේ වාර්ෂික සුහද හමුව හුදෙක් සතුට හා ප්‍රීතිය ගෙන දෙන විනෝදාත්මක ක්‍රියාකාරකම් ඇතුළත්වූ වැඩසටහනක් වන අතර, එහි දේශන හෝ සම්මන්ත්‍රණ නොමැත. බේඩ්න් පවෙල් සාමිවරයා එංගලන්තයේ ජීවත්ව සිටියදී හෙතෙම පැමිණ ඇත්තේ ස්වකීය රෝල්ස් රොයිස් හෙවත් ජෑම් රෝල් සමඟ ඇමිණූ කැරවෑන් රථයෙනි.

ධර්මලාල් ගුණවර්ධන

බාලදක්ෂ ආචාර්ය

නාලන්දා විද්‍යාලය

කොළඹ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department