Home » Blog » ලී පදක්කම් පුහුණු පාඨමාලාවේ ඉතිහාසය – 2

ලී පදක්කම් පුහුණු පාඨමාලාවේ ඉතිහාසය – 2

by thanushika
0 comment

වර්ෂ 1907දී බ්‍රවුන්සි දූපතේදී පවත්වනු ලැබූ පරීක්ෂණාත්මක කඳවුරෙන් අනතුරුව බාලදක්ෂ කටයුතු එක්සත් රාජධානිය පුරා විශාල වේගයෙන් ව්‍යාප්ත වූ අතර, බාලදක්ෂ කණ්ඩායම්වල නායකයන් හෙවත් ආචාර්යවරුන් තම කණ්ඩායම්වල කටයුතුකර තිබුණේ කිසිදු විධිමත් ආකාරයට නොවේ. මන්ද ඒ සඳහා ඔවුන්ට පුහුණු කිරීමේ ක්‍රමවේදයක් හෝ වැඩසටහනක් මෙන්ම නීති මාලාවක් ඉදිරිපත් නොවූ බැවිනි.

එවැනි පසුබිමකදී තුළ තවදුරටත් බාලදක්ෂයන් සඳහා යම් ආකාරයේ පුහුණුවක් නොමැතිව ව්‍යාපාරය ඉදිරියට යා නොහැකි බව පැහැදිලි විය. මේ කරුණ ඔස්සේ බේඩ්න් පවෙල් සාමිවරයා විසින් ප්‍රාදේශීය කමිටු පිහිටුවීමත් වැඩිහිටි නායකයන් සඳහා කෙටි විෂය මාලාවක් සකස් කිරීමත් සිදුකරන ලදි. එමෙන්ම ඔවුන් සඳහා යම් ආකාරයේ පරීක්ෂණයක් යෝග්‍ය බව බී. පීට වැටහුණි.

“බාලදක්ෂයන් ” යන ශීර්ෂ පාඨය ඔස්සේ ප්‍රාදේශීය කමිටු රාජකාරී සම්පූර්ණයෙන් විස්තර සහිතව බී.පී. විසින් ලිපියක් සකස් කළ අතර, බාලදක්ෂ ආචාර්යවරුන් සඳහා වන පරීක්ෂණ ලිපියේ අඩංගු කරුණු මෙසේ ය .

1) ඉජධභබඪදඨ ටධප ඕධරඵ අත්පොත, විශේෂයෙන් බාලදක්ෂ නීතිය පිළිබඳ සාමාන්‍ය දැනීම.

2) බාලදක්ෂ ක්‍රමය හරහා ප්‍රායෝගික උපදෙස්වලට යටින් පවතින සදාචාරාත්මක අරමුණ පිළිබඳ පූර්ණ ඇගයීමක් .

3) පිරිමි ළමයින් කෙරෙහි හොඳ සදාචාරාත්මක බලපෑමක් ඇති බව සහතික කිරීම වැනි පෞද්ගලික චරිත සහතිකයක් .

4) බාලදක්ෂ ආචාර්යවරුන්ගේ වයස අවුරුදු 18 ට අඩු නොවීම.

5) බාලදක්ෂ රැස්වීම් සඳහා යම් ආකාරයේ ශාලාවක්

හෝ ස්ථානයක් සැපයීමේ හැකියාව.

මහත්මයකුට බාලදක්ෂ ආචාර්යවරයකු ලෙස පරීක්ෂණය සමත් විය හැකි ක්‍රම තුනක් ඇති බව බී.පී. විසින් සඳහන් කරන ලදි.

එනම් සංචාරක පරීක්ෂකවරයකු හරහා හෝ කමිටු සාමාජිකයන් තිදෙනකු හරහා හෝ සුදුසුකම් ලත් බාලදක්ෂ ආචාර්යවරුන් දෙදෙනකු හරහා ය. බාලදක්ෂ ආචාර්යවරුන් හට කිරීමට තිබුණේ ඔවුන්ගේ කාර්ය පිළිබඳ ඇගැයුම් සටහනක් සහිත ලිපියක් බී.පී. වෙත යොමු කිරීම ය. බේඩ්න් පවෙල් විසින් ඔවුන් සඳහා සහතික පත්‍රයක් ප්‍රදානය කළ අතර, එය වර්තමානයේ නිකුත් කරන අධිකාරි බලපත්‍රය විය.

වර්ෂ 1909 අප්‍රේල් 10 සිට බාලදක්ෂ සඟරාවේ බාලදක්ෂ ආචාර්යවරුන් සඳහා බී.පී. විසින් ලියන ලද ලිපි මාලාවක් පළකර ඇති අතර, ඒවායෙහි බාලදක්ෂ ව්‍යාපාරයේ ප්‍රතිපත්ති පරමාර්ථය හා එහි ව්‍යුහය පිළිබඳ අඩංගු කරුණු විය. එය 1909 ජූනි වන විට වෙනම ප්‍රකාශනයක් බවට පත් වූ අතර, එය බාලදක්ෂ ව්‍යාපාරය විමධ්‍යගත කිරීම හා නව ප්‍රතිපත්ති ප්‍රසිද්ධියට පත් කිරීමට යොදා ගත් ප්‍රකාශනයක් විය. එයින් බාලදක්ෂ ව්‍යාපාරය යම් ස්ථාවරත්වයකට පත්ව ඇති බවට පිළිගැනීමක් විය.

1909 සැප්තැම්බර් අග මූලස්ථාන කමිටුව පිහිටුවා ගත් අතර, එය මේ දක්වා බ්‍රිතාන්‍ය බාලදක්ෂ සංගමයේ පරිපාලන කටයුතු හා කළමනාකරණය අඛණ්ඩව සිදුකර ඇත. එම වසරේ ශීත ඍතුවේ ” බාලදක්ෂ පුහුණු බලකාය ” නමින් විශේෂ කණ්ඩායමක් ලන්ඩනයේ රිච්මන්ඩ්හි පිහිටුවා ගත්තත් එය වැඩි කල් නොපැවතිණි.

වර්ෂ 1911 දී බී.පී. විසින් බාලදක්ෂ ආචාර්යවරුන් සඳහා පුහුණු කඳවුරු දෙකක් සංවිධානය කළ අතර, ඒවා ලන්ඩනයේ හා යෝක්ෂයර්හි පැවැත්වූහ. ලන්ඩනයේ බාලදක්ෂ ආචාර්යවරුන් සඳහා සවස් කාලයේදී දේශන මාලාවක් ද බේඩ්න් පවෙල් සාමිවරයා විසින් පවත්වනු ලැබීය.

වර්තමාන ලී පදක්කම් පාඨමාලාව හෙවත් බාලදක්ෂ ආචාර්යවරුන් සඳහා වන පාඨමාලාවේ පළමු කොටස නමින් තැපැල් මාර්ගික පාඨමාලාවක් 1914දී මූලස්ථාන කමිටුව විසින් ආරම්භ කළ අතර, ඒ සඳහා විශාල පිරිසක් අයදුම්කර තිබිණි .

මීළඟ කොටසින්- තැපෑලෙන් පැවැත්වූ ලී පදක්කම් පාඨමාලාවට සිදුවූයේ කුමක්ද ?

ධර්මලාල් ගුණවර්ධන

බාලදක්ෂ ආචාර්ය

නාලන්දා විද්‍යාලය

කොළඹ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department