එකමත් එක රටක හිටියා කටුස්සෙකුයි. තලගොයෙකුයි. මේ දෙන්නා හරිම යාළුයි. දෙන්නා කෑවෙ බිව්වේ ගමන් ගියේ, හැමදේම කළේ එකට. දවසක් දා මේ දෙන්නා කැලේ කෙළවරේදී මුණ ගැහුණා.
”යාළුවේ අද අපි මොකද කරන්නේ”? කටුස්සා ඇහුවා.
” අපි දෙන්නා , මුව රාළගෙ ගෙදර යමු.”
තලගොයා කිව්වා.
” ඒ ඇයි?”
කටුස්සා දිහා පුදුමයෙන් බලමින් තලගොයා ඇහුවා.
” අපි එයාව ගොඩක් කාලෙකින් දැක්කේ නැහැනේ.”
තලගොයාගේ ප්‍රශ්නයට උත්තර දෙන ගමන් කටුස්සා බෙල්ල එහාට මෙහාට වැනුවා.
කොහොම වුණත් යාළුවෝ දෙන්නා ගමන යන්න පටන් ගත්තා.
” අපි හුඟක් කාලෙකින් නේ මේ වගේ දුර ගමනක් යන්නේ”
කටුසු හාමි කිවුවා.
” ඇත්ත නේන්නම්, ගඟ ගැලුවට පස්සේ අපි මේ වගේ දුර ගමනක් යන්න කොහොමවත් උත්සාහ කළේ නැහැනේ,”
තලගොයි හාමි කිව්වා.
හැබැයි මේ යාළුවෝ දෙන්නා කොච්චර යාළු වුණත්, නරක පුරුද්දකුත් තිබුණා. ඒ මොකද්ද දන්නවද? කවදාවත් එක යාළුවෙක් අනෙක් යාළුවා කියන දේට ගරු කළේ නැහැ. මෙහෙම ටික දුරක් යන කොට, මේ දෙන්නා අතර බහින්බස් වීමක් ඇති වුණා. අවසානයේදී දෙන්නා හොඳටම තරහ වෙලා වෙන් වෙලා යන්න ලෑස්ති වුණා. ඒ අතර තමන් මොන කාරණයට ද මෙච්චර දුරක් ආවේ? කියන එකත් දෙන්නාට අමතක වුණා.
” මං ආයෙත් ඔයත් එක්ක ගමන් යන්න එන්නේ නැහැ.” තලගොයා එහෙම කියලා අසල තිබුණු මැටි ගුහාවකට රිංගුවා. මේ අතරතුර මෙතැනින් යන්න ආවා, මිනිහෙක්.
” මොකද මේ තුවක්කුවකුත් අරගෙන හිස් අතින්ම? දඩයමක් එහෙම හම්බුවුණේ නැද්ද?”
” අනේ නැහැනේ.”
” මං මේ හිස් අතින්ම ආපහු ගෙදර යනවා.”
මිනිහා කිව්වා.
” ඇයි උන්නැහේ එහෙම වෙන්නේ?”
” අර ගුහාවේ හොඳ තරුණ තලගොයෙක් ඉඳිද්දි”
කටුස්සා කිව්ව දේ නිසා මිනිහා ගෙදර තිබු උදැල්ලක් අරගෙන ඇවිත්, තලගොයා ගිය ගුහාව හාරගෙන ගියා. ඒත් තලගොයා කළේ, තව තවත් යටට හරාගෙන යෑමයි. කොහොම වුණත්, මේ නිසා මිනිහා වෙහෙසට පත් වුණා. මිනිහාට හොඳටම කේන්ති ගියා. කටුස්සා තමන්ට බොරු කිව්වා කියලා හිතාගෙන ඔහු උදැල්ලෙන් කටුස්සාට කෙටුවා. කටුස්සා එතැනම මැරුණා. දැක්කා නේද දුවේ, පුතේ, තමන්ගේ මිතුරා කරදරේ දාන්න ගිය කටුස්සාට සිදු වුණු දේ. මේ නිසා හැම මොහොතේම තමන්ගේ යාළුවාට අවංක වෙන්න. එහෙම වුණොත් කවදාවත් වරදින්නේ නැහැ.
සිතුමිණී රාජපක්ෂ