ආදරණීය දුවේ පුතේ, බඹරගල කන්දේ පැරැණි සෙල් ලිපි සහිත කටාරම් කෙටූ ලෙන් දහතුනක් පිහිටා ඇති අතර, එම අලංකාර ගල් පර්වත හා ගල්ලෙන් බහුල බඹරගල ගල්පාය ආරණ්‍ය සේනාසනයේ විස්තර අරගෙනයි ඔන්න අදත් මම උරුමයක වගතුගවලින් ආවේ.
රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ පල්ලෙබැද්ද නගරයෙන් වමට හැරී කිලෝමීටර් පහක් පමණ ගිය පසු මුත්තෙට්ටුපොළ ග්‍රාමයේ මෙම ගල්පාය නමින් හැඳීන්වෙන ඓතිහාසික ජනාවාසය පිහිටා තිබේ. විශාල වශයෙන් බඹර වද බැඳ තිබූ හෙයින් මෙම ප්‍රදේශයට බඹරගල යන නාමය ව්‍යවහාර වී ඇත. කන්ද පාමුලින් ගලා බසිනා කුඩා ඔයත් අක්කර 800ක් පුරා විසිරුණු වන දහනත් නිසා මෙම භූමියට ඓතිහාසික වටිනාකමට අමතරව සුන්දරත්වයක් ද එකතු වී තිබේ.
අතීතයේ මෙම ගල්ලෙන්වල භික්ෂූන් වහන්සේලා භාවනා කරමින් වැඩ සිටි බවට සාධක හමු වී ඇති අතර, ප්රාග් ඓතිහාසික යුගයට අයත් මානවයා ද මෙහි ජීවත් වූ බවට සාධක ද තැනින් තැන හමු වී තිබේ. ඒ මෙම ගල් ලෙන්වලින් හමුවන මධ්‍ය ශිලා යුගයට අයත් තිරුවාණා පතුරු නිරීක්ෂණය කිරීමෙනි. මෙම ජනපදය මහානාග රජ සමයේ පිහිටුවන්නට ඇතැයි විශ්වාස කරන අතර, එයින් අනතුරුව දුටුගැමුණු රජු සමයේ ඵුස්සදේව යෝධයා විසින් නින්දගමක් ලෙස සංවර්ධනය කළ බව ජනප්රවාදයේ සඳහන් වේ.
මෙහි නටබුන් කොටස් දෙකකි. එනම් කන්ද පාමුල නටබුන් හා කන්දේ ඉහළ පිහිටි නටබුන් වශයෙනි. කන්ද පාමුල පිහිටි නටබුන් අතර විශේෂ වන්නේ පුරාණ පිළිම ගෙයි නටබුන් ය. වර්තමානයේ දක්නට ලැබෙන පරිදි මෙහි පැරැණි ගල් කණු 21කි. එයින් 13ක් මට්ටම්කර ඇති ඒවා ය. අවට භූමියේ ද තැනින් තැන ගල් කණු රාශියකි. මෙම විහාර ගෙය මීටර් 30ක් දිග වන අතර මීටර් 23ක් පළල ය. එය ඉදිකර ඇත්තේ උස් වේදිකාවක් මත වීම ද විශේෂත්වයකි. එහි නටබුන්ව ගිය කළු ගල් පිළිම දෙකකි. හිටි පිළිමයේ අත් හා හිස කැඩී ගොස් ඇති අතර, අනෙක බෝධිසත්ව ප්රතිමාවකි. එහි ඉණෙන් පහළ කොටස පමණක් දැකිය හැකි ය.
අතීතයේ මෙම ස්ථානය හඳුන්වා ඇත්තේ වෙහෙරගොඩැල්ල වශයෙනි. මෙහි කළුගල් ප්රතිමාවලට අමතරව කොරවක් ගල් දෙකක් හා පියගැට පෙළක් ද දක්නට හැකි ය. එයට මඳක් ඉදිරියෙන් තවත් කොරවක් ගල් දෙකකි. ඒවා හුණුගල් වර්ගයකින් නිමවා ඇති බව පෙනෙයි. මෙම විහාරයට නුදුරින් තවත් ගොඩනැඟිල්ලකි. කණු සහිත එය බෝධිඝරයක් වශයෙන් හඳුනාගත හැකි ය. එයින් අනතුරුව පුරාණ දාගැබ අපිට හමු වේ. එහි විෂ්කම්භය දළ වශයෙන් මීටර 50ක් පමණ වේ.
බඹරගල ඇති තවත් විශේෂත්වයක් නම් කටාරම් කෙටූ ලෙන් 13ක් දක්නට ලැබීමයි. එයින් 07ක සෙල්ලිපි කොටා තිබේ. එසේම ක්‍රි.ව. 10 – 11 සියවස්වලට අයත් ගිරි ලිපි 2ක් ද දක්නට හැකි ය. එසේම තවත් ලෙන් ලිපි රාශියක් මෙහි දක්නට ලැබෙන අතර, ලෙන්වල විසූ අය පිළිබඳ ද ලෙන් පූජා කරන ලද අය පිළිබඳ ද තොරතුරු එහි අඩංගු වේ.
කඳු මුදුනේ පිහිටි නටබුන් දෙස බැලීමේදී පොකුණු කිහිපයක් දක්නට ලැබේ. කොඩිගල නම් ස්ථානය කන්දේ පිහිටි උසම ස්ථානය වන අතර, එයින් ඊසාන දිගින් පිහිටා ඇති කණබිසෝගල ද තවත් වැදගත් ස්ථානයකි. එම ස්ථානයට ඒ නම ලැබී ඇත්තේ කණ බිසව එහි පිහිටි පොකුණකින් ස්නානය කළ නිසා බව ජනප්රවාදයේ සඳහන් වේ. මෙහි සඳහන් කණ බිසව නම් මංගර රජුගේ බිසව බවට හඳුනාගෙන ඇත. මෙහි හමුවන ලෙන් අතර, කණබිසෝ ලෙනට හිමිවන්නේ ද විශේෂ ස්ථානයකි. දිගින් අඩි 100ක් හා පළලින් අඩි 24ක් ද වන මෙම ලෙන් පියස්සේ අඩි 24ක් දිගට කටාරම් කොටා ඇති අතර, කුටි ලෙස මැටියෙන් බිත්ති බැඳ වෙන්කර සාදා ඇත. කුටිවලට ඇතුළු වීමට උළුවහු හා ජනේල ද සාදා තිබේ. එහෙත් අද වන විට මෙම ස්ථාන බොහොමයක් නිදන් හොරුන්ගේ ග්‍රහණයට නතු වීම නිසා විනාශ වී ඇත.
ලක්නා නිරෝෂිමාලා