Home » Blog » දරුවන්ට නිසි වෘත්තීය මඟ පෙන්වීමක් කිරීම ගුරුවරුන්ගේ වගකීමයි

දරුවන්ට නිසි වෘත්තීය මඟ පෙන්වීමක් කිරීම ගුරුවරුන්ගේ වගකීමයි

හ/නාකුළුගමුව ගාමිණී විද්‍යාලයේ විදුහල්පති එම්. රංග ප්‍රසන්න මහතා

by thanushika
0 comments

දරුවන්ට ඔවුන්ගේ අනාගතය පිළිබඳ අවබෝධයක් නැහැ. එම නිසාම ගුරුවරු ඒ පිළිබඳ උනන්දුවෙන් ඔවුන්ට මඟ පෙන්වීමක් කළ යුතුයි. වර්තමාන සමාජයේ සෑම කෙනකුටම දරුවන් පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ නිසා අප සෑම විටම අවබෝධයක් ලබා ගන්න උත්සාහ කළ යුතුයි. එක එක දරුවන්ගේ අදහස් සහ හැසිරීම් වෙනස්. සමහර හැසීරීම් ඔවුන්ගේ පරිසරය සමඟ බද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඒ හැසිරීම මඟහරවා ගන්න හරිම අපහසුයි. එනිසා අප ඉතාම ප්‍රඥාවන්ත විය යුතුයි. ඉතින් ඒ අයුරින් තමන්ගේ පාසල නිර්මාණය කරගත් විදුහල්පතිවරයකු ගැන සහ ඔහුගේ පාසල පිළිබඳ කතාවක් කියන්නයි අපේ මේ සූදානම. මේ පාසල හම්බන්තොට නාකුළුගම ගාමිණී මහා විද්‍යාලයයි. එහි විදුහල්පති එම්. රංග ප්‍රසන්න මහතා එතුමාගේ විදුහල පිළිබඳ පැවසූවේ මෙවැනි කතාවකි.

” මගේ පාසල පිහිටා තිබෙන්නේ ධීවර පරිසරයක. සාමාන්‍ය පරිසරයක අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන රටාවට වඩා මේ පරිසරයේ අධ්‍යාපනය ලබන දරුවන් අධ්‍යාපනය ලබන ආකාර සපුරාම වෙනස්. ඒ අයට නිරන්තරයෙන්ම පෙනෙන්නේ මහා සාගරය. බොහෝ දරුවන්ගේ පියවරු මුහුද සමඟ සබැඳී රැකියාවන් කරන අය. මහ මුහුදේ තිබෙන එක කොටසක් දෙස බලලා අප තීරණ ගන්න එක වැරැදියි. දරුවන්ට සාගරය පිළිබඳ නොපෙනෙන කොටස අපි පෙන්නලා දෙන්න අවශ්‍යයි. මේ නිසා තමයි මම තීරණය කළේ සාගර විශ්වවිද්‍යාලය සමඟ බද්ධ වූ වෘත්තීය පසුබිමක් පිළිබඳ ඔවුන්ට කියලා දෙන්න. සාගරය කිව්වහම බොහෝ දෙනා හිතන්නේ මාළු අල්ලනවා කියලා විතරයි. ඒත් මේ මහ මුහුද කියන්නේ ඉසුරු ගෙනෙන මහා සම්පතක්. මේ පිළිබඳ ගවේෂණය කරන්න දරුවන් යොමු කරන්න ඕනේ. බොහෝ දරුවන් මෙහි වටිනාකම දන්නේ නැහැ.”

” අපේ පාසලේ බොහෝ දක්ෂ දරුවන් ඉන්නවා. ඒත් ඒ අය දකින්නේ එකම පැතිකඩක් විතරයි. ඒ අය හැමදාම දකින සීමාව නිසාම ඔවුන්ගේ සිතිවිලිත් සීමා වෙලා. මම හිතන්නේ අපි ඒවා පෙන්වලා දෙන්න ඕනේ. එහෙම නැතිනම් ඒ අයට ඒ පිළිබඳ අවබෝධයක් නැහැ. බොහෝ දරුවන්ට විෂයන්වලට සීමා වෙන්න කියලා අපි කියන්නේ නැහැ. ඒ අයගේ විවිධ දක්ෂතා තියෙනවා. සමහර දේවල් ඉදිරියට ගෙනියන්න ඒ අය කැමැති වෙන්නේ නැහැ. ඒ නිසාම අපි ඒ අයට තමන්ගේ අනාගතය කුමන ආකාරයෙන් විසඳා ගත යුතු ද යන්න පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න අවශ්‍යයි. අපි කරන්නේ ඒ පරිශ්‍රමයයි.”

” මගේ පාසලේ දරුවන් පන්සිය හැත්තෑ අටක් ඉන්නවා. ඒ වගේම ගුරුවරු හතළිස් දෙකක් ඉන්නවා. ඒ අයගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. මගේ පාසලේ දරුවන් ඉන්නේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා. මගේ පාසලට දරුවන් පැමිණෙන්නේ නාකුළුගමුව ප්‍රාථමික විද්‍යාලයෙන්. එම විද්‍යාලය තිබෙන්නේ වෙනම විදුහල්පතිවරයකු යටතෙයි. මම මේ පාසලට පැමිණි දා සිටම මේ ප්‍රාථමික විද්‍යාලයේ බොහෝ සිසුන් පිරිසක් මගේ පාසලට පැමිණෙනවා. දරුවන්ගේ හැකියාවන් හඳුනාගෙන ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ඉහළ අධ්‍යාපනයට යොමු කිරීමේ වගකීම ඉතා උසස් ලෙසම ඉටු කරන්න අපි බැඳීලා ඉන්නවා. මම සහ මගේ පාසලේ ගුරුවරුත් එහෙමයි. ඒ වගේම මව්පියන්ගෙන් ලැබෙන සහයෝගයත් මම අගය කරනවා.”

අනාගතයේ හැකියාවෙන් පිරිපුන් දරු පරපුරක් බිහි කිරීමට ඔහුට හැකියාව ලැබේවා යැයි අපි මිහිර වෙතින් සුබ පතමු.

රූපාන්ති බුලත්සිංහල

ඡායාරූප – පාසලේ ඡායාරූප අංශය


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department