Home විදෙස් පුවත් සිඩ්නි ඔපෙරා හවුස්

සිඩ්නි ඔපෙරා හවුස්

by thanushika
0 comment

සිඩ්නි ඔපෙරා හවුස් යනු ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි සිඩ්නිහි පිහිටි බහු ස්ථාන ප්‍රසංග කලා මධ්‍යස්ථානයකි. මෙම රඟහල සිඩ්නි වරායේ ඉදිරිපස වෙරළ තීරයේ පිහිටා ඇත. සිඩ්නි ඔපෙරා හවුස් ලොව වඩාත් ප්‍රසිද්ධ ගොඩනැඟිලිවලින් එකකි. 20 වැනි සියවසේ ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස සිඩ්නි ඔපෙරා හවුස් පෙන්වා දිය හැකි ය.මෙම ගොඩනැඟිල්ලේ ගෘහ නිර්මාණ ශිල්පය සිදු කරන ලද්දේ ඩෙන්මාර්ක් ජාතික ගෘහ නිර්මාණ ශිල්පී Jorn Utzon  විසින් ය. 1959 වර්ෂයේ මාර්තු මස 01 වැනි දින මෙම ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා මුල් ගල තබන ලදි. ඉතින් මේ සූදානම පුංචි දූලා පුතාලට සිඩ්නි ඔපෙරා ප්‍රසංග කලා මධ්‍යස්ථානය පිළිබඳ තොරතුරු රැගෙන එන්නයි.

සිඩ්නි ඔපෙරා හවුස් ගොඩනැඟිල්ල බහු කාර්ය ස්ථානවලින් සමන්විත වේ. වාර්ෂික ප්‍රසංග 1500කට වඩා වැඩි ප්‍රමාණයක් පවත්වනු ලබන අතර, මිලියන 1.2කට වැඩි පිරිසක් ඒ සඳහා සහභාගි වෙති. ඔපෙරා ඔස්ට්‍රේලියාව, සිඩ්නි රඟහල සමාගම සහ සිඩ්නි සිම්ෆනි වාද්‍ය වෘන්දය වැනි නේවාසික සමාගම් රැසක් සමඟින් ප්‍රසංග ඉදිරිපත් කරනු ලබන්නේ බොහෝ ප්‍රසංග ශිල්පීන් විසිනි. 2007 වර්ෂයේ ජූනි 28 වැනි දින සිඩ්නි ඔපෙරා හවුස් යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත්විය. මෙම ගොඩනැඟිල්ල හෙක්ටයාර් 1.8ක භූමි ප්‍රමාණයකින් යුක්ත වේ. සිඩ්නි ගොඩනැඟිල්ලේ පුළුල්ම ස්ථානයේ දිග මීටර් 183ක් පමණ වන අතර, පළල මීටර් 120ක් පමණි . මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 25ක ගැඹුරට ගිලී ඇති කොන්ක්‍රීට් කුලුනු 588ක් සහිත ආධාරකයක පිහිටා ඇත. සිඩ්නි ගොඩනැඟිල්ලේ උසම වහලය මුහුදු මට්ටමේ සිට මීටර් 67ක් පමණ උස වන අතර, එය මහල් 22ක ගොඩනැඟිල්ලක උසට සමාන වේ. මෙම ගොඩනැඟිල්ලේ වහලය ටොන් 15ක් පමණ බරකින් යුත් පූර්ව කොන්ක්‍රීට් කොටස් 2194කින් සාදා ඇත. සිඩ්නි ඔපෙරා රඟහලට ටයිල් තමන් විසින්ම නිෂ්පාදනය කරන ලද්දේ ස්වීඩ්න් සමාගමක් වන Hoganas Keramik  විසිනි. මෙම ටයිල් සිඩ්නි ටයිල් ලෙස හඳුන්වයි.

සිඩ්නි ඔපෙරා හවුස් වර්ෂ 1973 ඔක්තෝබර් 20 වැනි දින දෙවැනි එලිසබෙත් රැජන විසින් නිල වශයෙන් විවෘත කරන ලදි . විශාල පිරිසක් එයට සහභාගි වූහ. මෙම රඟහල විවෘත කිරීම රූපවාහිනියෙන් විකාශය වූ අතර, ගිනිකෙළි සන්දර්ශනයක් සහ බීතෝවන්ගේ සංධ්වනි ප්‍රසංගයක් ද මෙයට ඇතුළත් විය.

සිඩ්නි ඔපෙරා හවුස් හි ඉදිකිරීම් කටයුතු සැඟවීමට ට්‍රම්පට් ගිටාර් වාදකයකු සහ චිත්‍රශිල්පියකු වන රෙග් මොම්බස්සාගේ මීටර් 60ක් දිගැති කලා කෘතියක් භාවිතකර ඇත. වර්ෂ 1959 දී ස්විස්-ප්‍රංශ ජාතික ගෘහ නිර්මාණ ශිල්පී Le Corbusier  විසින් නිර්මාණය කරන ලද trapestry  නිර්මාණයක් (ගෙත්තම් තීරයක්) 2015 වසරේදී ප්‍රසිද්ධ වෙන්දේසියකදී මිලදී ගනු ලදුව එය සිඩ්නි ඔපෙරා හවුස් වෙත ගෙන එන ලදි. මෙම නිර්මාණය වර්ෂ 2016 මාර්තු 29 වැනි දින සිට සිඩ්නි ඔපෙරා හවුස්හි ප්‍රදර්ශනය කරනු ලැබේ. එය Le Des Sont Jetes ලෙස හඳුන්වයි.

මෙම රඟහලේ ප්‍රථම ඒකල පියානෝ ප්‍රසංගය වර්ෂ 1973දී අප්‍රේල් 10 වැනි දින ප්‍රසංග ශාලාවේදී රොමෝලා කොස්ටන්ටිනෝ විසින් ආරාධිත ප්‍රේක්ෂකයන් වෙත වාදනය කරන ලදි. මෙහි රඟදැක්වූ පළමු ඔපෙරා රංගනය වූයේ ලැරී සිට්ස්කිගේ Fall of the House of Usher  ය. එය 1973 ජූලි 28 දින රඟ දක්වන ලදි. වර්ෂ 1973 සැප්තැම්බර් 28 වැනිදා මෙහි රඟදක්වන ලද  Prokofiev’s epic War and Peace  ඔපෙරාව ද මුල්කාලීනව එහි රඟ දැක්වූ තවත් ඔපෙරාවකි.

චතුරි ලක්ෂිකා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department