Home » Blog » ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ රංග ශාලා

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ රංග ශාලා

by thanushika
0 comment

ශ්‍රී ලංකාවේ රංග ශාලාවල විවිධ සම්ප්‍රදායන් ඇතුළත් වේ. අතීතයේ කලාව කුඩා ගම්මානවල බිහි විය. විවිධ ඇඳුම් නිර්මාණය කරගනිමින් තමන් එදිනෙදා ජීවිතයේ ලැබූ අත්දැකීම් පාදක කරගනිමින් අනෙකාට රංගනයෙන් ඉදිරිපත්කර ඇත. එසේ ඇරැඹුණු මෙරට නාට්‍ය කලාව එයින් පසු ක්‍රමයෙන් දියුණු විය. එම නාට්‍ය රඟ දැක්වීම සඳහා අගනුවර ආශ්‍රිතව සහ මෙරට ප්‍රධාන නගරවල රංග ශාලා ගණනාවක් බිහි විය. මෙවර මිහිර පෝස්ටරය සැකසෙන්නේ එම ප්‍රසිද්ධ රංග ශාලා ඇසුරෙනි.

ලයනල් වෙන්ඩ්ට් කලා කේන්ද්‍රය

ලයනල් වෙන්ඩ්ට් කලා කේන්ද්‍රය යනු ලයනල් වෙන්ඩ්ට් නමැති ශ්‍රී ලාංකිකයා සිහි ගැන්වීම සඳහා ඉදිකරන ලද කලා කේන්ද්‍රයකි. මෙම රඟහල කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. මෙම රඟහලේ ආසන 600ක් පමණ තිබේ. ලයනල් වෙන්ඩ්ට් කලා කේන්ද්‍රය කලා මධ්‍යස්ථානයක් සහ රංග ශාලාවක් වේ. මෙහි ප්‍රදර්ශන ගැලරි දෙකක් සහ සිනමාහල් දෙකක් සමඟ සජීවී රංග ශාලාව සහ චිත්‍ර ප්‍රදර්ශනය ඒකාබද්ධ කරයි. ලයනල් වෙන්ඩ්ට් කලා කේන්ද්‍රය වර්ෂ 1953 දෙසැම්බර් 12 වැනි දින විවෘත කරන ලදි. වර්ෂ 1956 එදිරීවීර සරච්චන්ද්‍ර මහතාගේ මනමේ නාට්‍යයත් වර්ෂ 1961දී චිත්‍රසේන මහතාගේ කරදිය නාට්‍යයත් රඟදක්වන ලදි.

නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල

නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල යනු ශ්‍රී ලංකාවේ විශාලතම ප්‍රාසාංගික කලා රඟහලයි. කොළඹ පැරැණි නොමෑන්ඩ්ස් ක්‍රීඩාපිටිය පිහිටි භූමියේ මෙම රඟහල ඉදිකර තිබේ. ප්‍රධාන ප්‍රේක්‍ෂකාගාරයේ ආසන 1288කි. ප්‍රධාන වේදිකාව විදුලි බලයෙන් ක්‍රියාත්මක වෙයි. කොටස් 4කින් යුතුව ඉහළට හා පහළට චලනය කළ හැකි ආකාරයට මෙය නිම වී ඇත. මෙහි එකවර ප්‍රසංග හෝ නාට්‍ය 3ක රඟ දැක්විය හැකිවන පරිදි ප්‍රධාන ප්‍රේක්‍ෂකාගාරයට අමතර තවත් ප්‍රේක්‍ෂකාගාර 2ක් පවතී. මෙහි උස මීටර් 29ක් පමණ වේ.

නෙළුම් කලා මධ්‍යස්ථානය

මෙම මධ්‍යස්ථාන කොළඹ පිහිටා ඇත. නෙළුම් කලා මධ්‍යස්ථානය වර්ෂ 2010 දී විවෘතකර තිබේ. මෙහි නර්තන පාසලක්, රංග ශාලාවක් සහ කලාගාරයක් ඇත. හිටපු ශ්‍රී ලාංකික නර්තන ශිල්පිනියක වන නිලූෆර් පීරිස් විසින් ආරම්භ කරන ලද නෙළුම් කලා පදනම විසින් පිහිටුවන ලද මෙම මධ්‍යස්ථානය රාජකීය විද්‍යාල සංගමයේ පෙර දසුන යටතේ රාජකීය නෙළුම් පදනම විසින් කළමනාකරණය කරනු ලැබේ.

එල්ෆින්ස්ටන් රඟහල

වර්ෂ 1925 ඔක්තෝබර් 10 වැනි දින මෙහි මුල්ගල තබන ලදි. මෙම රඟහල පැවිලියන් ලෙස හඳුන්වා ඇත. ඉංග්‍රීසි ජාතික එච්. ඊ. නිවුන්හැම් මහතා විසින් මෙම රංග ශාලාවට මුල්ගල තබන ලදි. මෙම රංග ශාලාවේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා ලෙසින් කටයුතු කරන ලද්දේ එම්. එෆ්. බිල්ටෝරියා මහතා ය. මුල් කාලයේ පැවිලියන් ලෙස හැඳින් වූ මෙය පසුකලෙක පැලස් ලෙස හඳුන්වනු ලැබී ය.

එවකට ඉන්දියාවේ සිටි කලාවට ලැදි එල්ෆින්ස්ටන් නම් ආණ්ඩුකාරවරයාට කරනු ලබන ගෞරවයක් ලෙසින් පසුකාලයේදී මෙම රංග ශාලාව “එල්ෆින්ස්ටන්” යනුවෙන් නම් කරනු ලැබී ය. සිංහල සිනමාවේ ප්‍රථම චිත්‍රපටය වූ රේඛාව චිත්‍රපටය ප්‍රථම වරට තිරගත කරන ලද්දේ මෙම රඟහලේ ය.

ටවර් හෝල් රඟහල

මෙය කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන ප්‍රදේශයේ පිහිටා ඇත. අනගාරික ධර්මපාල තුමා, පියදාස සිරිසේන, ඕල්කට් තුමා ආදි පුරෝගාමින් ලෙස සැළකෙන ප්‍රමුඛ පෙළේ ජාතික නායකයෝ මෙම ඓතිහාසික රඟහල සිය සංවර්ධන කටයුතු සඳහා යොදා ගත්හ. අශ්ව ඉස්තාලයක් වශයෙන් පැවතුණු මෙම ස්ථානය වර්ෂ 1911දී සංවර්ධනය

කරන ලදි. මෙය ටවර් හෝල් නමින් ප්‍රථම ස්ථාවර රංග ශාලාව බවට පත් විය. මෙම රඟහල නවීකරණයකර, නවීන විදුලි උපකරණ සවිකරන ලදි. ටවර් හෝල් රඟහල උත්සවාකාරයෙන් නැවත විවෘතකර ඇත්තේ වර්ෂ 2000 අගෝස්තු 16 වැනි දින ය. මෙම රඟහල ප්‍රතිසංස්කරණය කිරීමත් සමඟ ආසන 856ක් දක්වා වැඩි විය.

ජෝන් ද සිල්වා රඟහල

ජෝන් ද සිල්වා නාට්‍ය රචකයාට උපහාරයක් වශයෙන් 1974දී වර්ෂයේ කොළඹ මෙම රඟහල ගොඩනඟන ලදි. මෙම ආයතනය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන අතර, රජය හෝ වෙනත් බාහිර පාර්ශ්වයක් විසින් පවත්වනු ලබන සිදුවීම්, ප්‍රදර්ශන හෝ විවිධ උත්සව සඳහා කුලියට ගත හැකි ය. ජාතික කලාභවන සහ ජාතික පිළිගැනීමක් ඇති ජෝන් ද සිල්වා සමරු රඟහල කලාකරුවන් සඳහා කදිම නිවහනකි.

නව රඟහල

නව රඟහල කොළඹ පිහිටා ඇති ජාතික නාට්‍ය ශාලාවක් වේ. වර්ෂ 1966 හා වර්ෂ 1969 අතර කාලයේදී ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ 4 ෆීල්ඩ් ඉංජිනේරු රෙජිමේන්තුව විසින් රාජකීය ප්‍රාථමික විදුහල් ශාලාව ලෙස මෙය ඉදි කරන ලදි. නාට්‍ය ශාස්ත්‍රයට අනුකූලව විවෘත ශබ්දාගාර ආකෘතියට අනුව දේශීය නාට්‍ය හා සංගීතය එළි දැක්වීම උදෙසාම එය නිමැවිණි. මේ සඳහා ආධාර රජයෙන් මෙන්ම හිතවත් ජනතාවගෙන් ද ලැබිණි. විවෘත රඟමඬල කිහිපයක් හැර, දේශීය කලාව උදෙසා සැකසූ ගෘහස්ථ රඟහලක් මෙය නිමවන්නට පෙර නොතිබිණී. රාජකීය මූලික පාසල සමඟ රාජකීය විද්‍යාලයේ සංකලනයත් සමඟ වර්ෂ 1977දී උඳුවප් මස සිට නව රඟහල රාජකීය විද්‍යාලයේ කොටසක් බවට පත් විය.

සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය

සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගලහ හන්දියේ සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටා ඇත. මෙය විශ්වවිද්‍යාල සිසුන් සහ නාට්‍යලෝලීන් අතර ප්‍රචලිතව ඇත්තේ ‘වළ’ ලෙසිනි. ශ්‍රී ලාංකේය නාට්‍ය රචකයකු වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා සිහිවීම පිණිස රංග ශාලාව ඔහුගේ නමින් නම්කර ඇත. වර්ෂ 1950 මුල් භාගයේදී ඉදිකරන ලද මෙය පැරැණි ග්‍රීක රංග ශාලාවල වාස්තුවිද්‍යාත්මක ශෛලියට අනුව ඉදිකරන ලද ශ්‍රී ලංකාවේ ඇති එකම එළිමහන් රංග ශාලාව ලෙස සැළකෙයි. සරච්චන්ද්‍රයන්ගේ මනමේ සිංහල නාට්‍යය මුලින්ම ඉදිරිපත් කළේ මේ රඟහලේ ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රදර්ශනය කෙරෙන බොහෝ නාට්‍ය සරච්චන්ද්‍ර එළිමහන් රංග භූමියේ ඉදිරිපත් කරනු ලබයි. මෙම රංග භූමිය සරල අර්ධ වෘත්තාකාර එකක් වේ. නරඹන්නෝ ස්වාභාවික රංග ශාලාවේ ගල් පඩිපෙළ මත වාඩී වී නාට්‍ය නරඹති.

ලුම්බිණි රඟහල

වර්ෂ 1929දී ඇරැඹෙන කොළඹ, තිඹිරිගස්යාය, ‘හැව්ලොක් ටවුමේ ජ්‍යෙෂ්ඨ පාඨශාලාව’ පසුකාලයකදී ලුම්බිණි මහා විද්‍යාලය බවටත්, ලුම්බිණි මහා විද්‍යාලයේ ගොඩනඟන ලද රැස්වීම් ශාලාව, ‘ලුම්බිණි රඟහල’ බවටත් පත් විය. එය ලුම්බිණිය ලෙස ද හඳුන්වයි. වර්ෂ 1959 ජනවාරි 30 වැනි දින ලුම්බිණි රඟහලේ පළමු වරට රඟ දැක්වූ නාට්‍යය වූයේ සඳකිඳුරු නාට්‍යයයි. වික්ටර් රත්නායක මහතාගේ

‘ස’ ප්‍රසංගයේ මංගල දර්ශනය ද මෙම රඟහලේ ඉදිරිපත්කර ඇත. නරි උගුල, රතු හැට්ටකාරී ආදී නාට්‍ය මෙම රඟහලේ වේදිකාගතකර තිබේ.

විහාරමහාදේවි එළිමහන් රංග පීඨය

මෙම රංග පීඨය කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. සිනමා හා ටෙලි නාට්‍ය රූගත කිරීම්, නර්තන හා නාට්‍ය පුහුණුවීම් හා ප්‍රසංග පැවැත්වීම සඳහා යෝග්‍ය වන පරිදි නිර්මාණයකර ඇති මෙම එළිමහන් රංග පීඨය දර්ශනීය පරිසරයකින් සමන්විත ය. කවාකාර කොටසක හිඳගෙන ප්‍රේක්ෂකයෝ නාට්‍ය නරඹති.

සැකූසුම – චතුරි ලක්ෂිකා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department