එකමත් එක රටක පුතෙකුයි, අම්මා කෙනෙකුයි හිටියා. නිසි කාලය පැමිණියාට පස්සේ පුතාට විවාහයක් කරගන්න කියලා අම්මා කිව්වා. ඒ නිසාම පුතා විවාහයක් කරගත්තා. ඒත් මේ ලේලි අම්මාට සැලකුවේ නැහැ. පුතා මේ බව දැක්කා. පුතා අම්මාට කතා කරලා මෙහෙම කිව්වා.
” අම්මේ, අම්මාට සලකන්නේ නැති බව මට පේනවා. ඒ නිසා අම්මා ළඟ ලොකු වස්තුවක් තියෙනවා කියලා මගේ බිරියට අඟවන්න.”
මෙහෙම කියලා ගමේ ඇවිදලා පිඟන් කටු කැබැලි ටිකක් හොයා ගෙන, ඒ පිඟන් කටු කැබලි ටික හම් මල්ලකට දාලා, අම්මට ගෙනැල්ලා දුන්නා. එහෙම දීලා මෙහෙම කිව්වා.
” අම්මේ, මගේ බිරිය එනකොට අම්මා මේ මල්ල, පෙට්ටගමට දානවා ගන්නවා කරන්න. මේ මල්ලේ තියෙන්නේ අම්මා හම්බු කරපු මසුරන් කාසි කියන එක එයාට අඟවන්න.”
පුතාගේ කතාවට අම්මා එකඟ වුණා. ඔහොම කාලයක් ඉන්නකොට අම්මාට ලාදුරු හැදුණා. ඊට පස්සේ අම්මාට සලකන එක ලේලි නතර කළා. පුතා එවරත් අම්මාට මෙහෙම කිව්වා.
” අම්මේ, අම්මා කියන්න, මේ මල්ලේ තියෙන වස්තුව කවදා හරි අම්මාට සලකන කෙනාට දෙනවා කියලා.” අම්මාත් පුතා කිව්ව විදිහටම කළා. ඒත් දරුවනේ, මේ අම්මාට සනීප වුණේ නැහැ. අම්මා මිය ගියා. ලේලිය විලාප තියමින් ඇඬුවා.
”අනේ මගේ අම්මා ”
ඇය මහා හඬින් කෑගසා ඇඬුවා. ඒ වෙලාවේ ඇගේ අම්මා ඇවිත් මෙහෙම කිව්වා.
” දුවේ දැන් ඉතින් අඬලා වැඩක් නැහැ. ඔයා හොයලා බලන්න ඕනේ දෙයක් තියෙනවා.”
” ඒ මොකද්ද අම්මේ?” ලේලිය ඇහුවා.
” ඒ තමයි මේ අම්මා කොච්චර වස්තුව එකතු කරලා තියෙනවාද කියන එක. ඇයි ඉතින් දුවට මතක නැද්ද? තමාට සැලකූ කෙනාට තමාගේ වස්තුව දෙනවා කියලා මේ අම්මා කිව්වා.
ඒ හින්දා දැන් අඬ අඬා ඉඳලා වැඩක් නැහැ. මේ අම්මා ඉතිරිකර ගිය වස්තුව මොනවාද කියලා බලන එක තමයි වඩාත් යහපත්.”
ලේලිය අඬන එක නවත්තලා, තමන්ගේ නැන්දා අම්මා ඉතිරිකර ගිය වස්තුව හොයන්න පටන් ගත්තා. ගේ හැම අස්සක් මුල්ලක්ම පීරමින් සෙව්වා. ඒත් ඇයට දැක ගන්න තරම් ලොකු වස්තුවක් තිබුණේ නැහැ. අන්තිමට අම්මාගේ පෙට්ටගම ඇරලා බැලුවා.
” මේ මොනවාද දෙයියනේ ? ”
ලේලියගේ ඇස් උඩ ගියා.”
පෙට්ටගමේ තිබුණ පිඟන් කටු ගොඩ දැකලා ඇය පුදුම වුණා.
” අනේ මං මෝඩ වුණා.”
ඇය ඇයටම කියා ගත්තා. අවසානයේ ඇයට නැන්දම්මා කිසිදු වස්තුවක් එකතුකර තිබුණු බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. ඉතින් දුවේ පුතේ, අපට මේ කතාවෙන් ගන්න ආදර්ශයක් තියෙනවා. ඒ මොකක්ද දන්නවා ද? කිසිම උදව්වක් බලාපොරොත්තුවෙන් කාටවත් උදව් කරන්න එපා, කරන උදව්ව මුළු හදවතින්ම කරන්න. එතකොට තමයි දුවේ පුතේ, එහි ආශීර්වාදය ලැබෙන්නේ.
වන්දනා අබේසේකර