Home » Blog »  නිර්මාණශීලි අත්දැකීම් එකතුකර පුංචි අපිත් BLOG එකක් ලියමු

 නිර්මාණශීලි අත්දැකීම් එකතුකර පුංචි අපිත් BLOG එකක් ලියමු

by thanushika
0 comment

පුංචි ඔබේ නිර්මාණශීලිත්වය අවදි කරගැනීමට බ්ලොග් එකක් ලියුවොත් හොඳයි නේද? මේ වන විටත් පුංචි ඔබත් පරිගණක තාක්ෂණය ඔස්සේ නිර්මාණ ඉදිරිපත් කරනවා නම් මේ බ්ලොග් ලිවීමේ කලාව ඔබට වඩාත් හොඳයි. නැති නම් ඔබට උචිත ලෙස ජර්නල් එකක් ලියන්නත් පුළුවන්. මේ කුමන ක්‍රමය අනුගමනය කළත්, ඔබේ නිර්මාණශීලිත්වය පරිගණක දැනුම සමඟ එකතු වෙනවා නම් ඉතාමත් හොඳයි. ඉතින් දුවේ පුතේ, මේ නිසාම අද අපි එය කරන්නේ කොහොමද කියන එක පියවරෙන් පියවර ඉගෙන ගනිමු.

 

ජර්නලයේ විවිධ ශෛලීන් ගවේෂණය

එකිනෙකා ජර්නල් ලිවීමට භාවිතා කරන ශෛලීන් සහ ඔවුන්ගේ නිර්මාණ ශෛලීන් විවිධ ය. මේ නිසා එකිනෙකා යොදා ගනු ලබන ක්‍රමවේද ද විවිධ ය. මේ අනුව ඔබ බ්ලොග් එකක් හෝ ජර්නලයක් පරිහරණය කරන කෙනකු නම් එකිනෙකාගේ අදහස් රැගෙන තමන්ගේ ජර්නලය හෝ බ්ලොග් එක ලිවීමට යොදා ගත හැකි ය.

ජර්නලයක් හෝ බ්ලොග් එකක් සැලැසුම් කිරීම

* තමන් ලියන වැකි බුලට් ආධාරයෙන් දැක්වීම

* සුදුසු රූප සටහන් යොදාගෙන පරිහරණය කළ හැකි වීම‍

* වෙනත් කෙනකු කියූ විශේෂිත වැකියක් යොදා ගෙන ඒ හා සම්බන්ධව තමන්ගේ අදහස් ඉදිරිපත් කළ හැකි වීම.

* පුද්ගල අවධානය යොදා ගත හැකි ආකාරයෙන් වැකි යොදා ගත හැකි වීම

මනසේ නිදහස

බ්ලොග් එකක් නැතහොත් ජර්නල් එකක් ලිවීමට ඔබ හුරු පුරුදු වුණොත් ඔබට ඔබේ මනස නිදහස් කරගැනීමට හැකියාව ලැබේ. නැතිනම් මනස හිස් කරගැනීමට හැකි වේ. සෑම සිතිවිල්ලක්ම නිර්මාණයක් නම් එය මුදා හරින්නට අවශ්‍ය පසුබිමක් ඔබට අවශ්‍ය වේ. ඒ පසුබිම සලසා ගැනීමට බ්ලොග් එකක් හෝ ජර්නලයක් උපකාරී වේ.

ඔබේ අත්දැකීම් ජර්නල් ගත කිරීම හෝ බ්ලොග් එකක ලිවීමේ වාසිය

* නිර්මාණශීලී අදහස් නිරන්තර අවදිවීම මඟින් නිර්මාණශීලීත්වය වැඩි දියුණුවීම.

* එදිනෙදා සිතිවිලි අමතක වීම වළක්වා ගැනීම.

* මෙයින් අමතකවීමෙන් සිදුවන හානිය වළක්වා ගත හැකි ය.

* එක්කෙනකුගේ අත්දැකීමක් තවත් කෙනකුගේ අත්දැකීමක් ලෙස යොදා ගැනීමට හැකිවීම.

* නව අදහස් උපදවා ගැනීමට හෝ සංකීර්ණ ගැටලු විසඳා ගැනීමට හැකියාව ලැබේ.

* සිතේ ඇති වෙන මානසික පීඩනය අවම කරගැනීමට හැකියාව ලැබීම.

* එකිනෙක ජර්නල් හෝ බ්ලොග් මඟින් තවත් කෙනකුට ආදර්ශයක් ගත හැකිවීම.

ඔබට වෙනස් ආකාරයේ බ්ලොග් එකක් ලිවීමට නම් ඔබ කළ යුතු දේ

* වෙනත් අයගේ බ්ලොග් එකක් හොඳීන් අධ්‍යයනය කිරීම

* ඒ බ්ලොග් එකෙන් අවශ්‍ය දේවල් උපුටා ගත හැකි නම් මුල් නිර්මාණයට

හානියක් නොවන ලෙස ඒවා උපුටාගෙන, මුල් අයිතිකරුට එහි හිමිකම ලැබෙන අයුරින් නව නිර්මාණය කිරීම.

* සෑම විටම ඔබ පරිසර ගවේෂකයකු හෝ ඔබ ජීවත්වන සමාජයේ සමාජ ගවේෂකයකු වන්න.

* මුලින් තමන් නිර්මාණය කළ සරල කරුණු සරල ලෙස ඉදිරිපත් කරන්න.

* ඔබ ගවේෂණාත්මක කරුණු හඳුනාගෙන තිබේ නම් ඒවා තවත් කෙනකුට සනාථ වෙන ආකාරයට ඉදිරිපත් කරන්න.

නිර්මාණාත්මක බ්ලොග් සහ ගවේෂණාත්මක බ්ලොග්

නිර්මාණාත්මක බ්ලොග් එක නම්, ඒ සඳහා ඔබේ නිර්මාණශීලි අත්දැකීම් එකතු කරගැනීමට හැකියාව ලැබේ. මේ සඳහා ඔබට කවි සින්දු හෝ කතා යොදා ගැනීමට හැකියාව තිබේ. එය හුදෙක්ම ඔබේ හැකියාව ඔප්නැංවෙන ආකාරයෙන්ම නිර්මාණය කළ යුතු ය. මෙහිදී උපුටා ගැනීම් හෝ වෙනත් අයගේ කතා ඇතුළත් කිරීමෙන් එහි තිබෙන නිර්මාණශිලිත්වයට හානියක් ඇති වේ. බොහෝ අය මේ දේවල් අවබෝධ නොකර ගැනීම නිසාම ඔවුන් ලියන බ්ලොග් එක අසාර්ථක වේ. මේ නිසා සෑම විටම නිර්මාණශීලි බ්ලොග් එකක් නිර්මාණය කිරීමේදී ස්වතන්ත්‍ර නිර්මාණම ඉදිරිපත් කරන්න.

ගවේෂණාත්මක බ්ලොග් එකක් ඉදිරිපත් කිරීමේදී මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වේ. මේ සඳහා ඔබ කළ යුත්තේ තමන් ගවේෂණාත්මකව සොයාගත් දේවල් පමණක් එහි ඉදිරිපත් කිරීම ය. ගවේෂණාත්මක බ්ලොග් ලිවීම පර්යේෂණ කාර්යවල නියැළෙන්නන්ට ඉතාමත් වටිනා ක්‍රමවේදයකි. එහෙත් අනෙක් අයගේ අවධානය යොමු කරගැනීම සඳහා මෙය ලිවීමේදී සරල වාක්‍ය සහ නිරවුල් වචන යොදා ගැනීම ඉතා වැදගත් ය. මෙය ඉංග්‍රීසියෙන් හෝ සිංහලයෙන් යන කුමන භාෂාවෙන් කළත්, මේ නීතිය වැදගත් බව මතක තබා ගන්න.

වෘත්තිකයන් අනුව බ්ලොග් සහ ජර්නල් ලිවීම වෙනස් වීම

අප දන්නා අයුරින් වෘත්තිකයකු කිසියම් වෘත්තියක් උදෙසා බ්ලොග් එකක් නිර්මාණය කිරීමේදී ඒ වෘත්තියට අදාළ කිසියම් ක්‍රමවේදයක් ඇති බව මතක තබා ගත යුතුයි. ඒ ක්‍රමවේදය අනුව සිය බ්ලොග් එක ලිවීමේදී ඔබ වෘත්තීයවේදියකු නම් තමන්ට අදාළ වෘත්තිය පිළිබඳ ඉතා සැලකිලිමත් වීම වැදගත් වේ. තමන් බ්ලොග් එකක් හෝ ජර්නල් එකක් ලිවීමේදී තමන්ගේ වෘත්තියට කිසිදු හානියක් නොවන පරිදි එය කිරීමට මතක තබා ගත යුතුයි. බ්ලොග් එක ලිවීම ඉතා අපහසු වූ විට වුවත්, ඒ සඳහා අදාළ නොවන ඒවා යොදා නොගත යුතුයි. මෙය ජර්නල් ලිවීමට ද අදාළ වේ. ජර්නල් ලිවීමේදී ගණකාධිකාරීවරයෙක් අනුගමනය කරන පිළිවෙතක් කර්තෘවරයකුට අනුගමන කළ නොහැකි ය. වචන භාවිතයේදී වෘත්තීය භාවයට හානියක් නොවිය යුතුයි. බොහෝ වෘත්තිකයන් බ්ලොග් ලිවීමේදී මේ පිළිබඳ විමසන්නේ නැතිවීම ද කනගාටුවට කරුණකි. එහෙත් මේ පිළිබඳ අවධාරණය යොමුකරන අයට තමන්ගේ වෘත්තීය නිපුණත්වයේ වාසිය මේ සඳහා ලබා ගත හැකි ය.

අහඹු සිතිවිලි ග්‍රහණය කරගැනීම

අහඹු ලෙස දකින සිතිවිලි පිළිබඳ නොයෙක් විට විවිධාකාරයෙන් තර්ක විතර්කවලින් තොරව තීරණ ගැනීමට සිදු වේ. එවැනි අවස්ථාවල දුවේ පුතේ, අලංකාර ලෙස ඔබ ඒ සිතිවිලි ගොනු කරගැනීමට කටයුතු කළ යුතු ය. ඇති වන සියලු සිතිවිලි නිසි ලෙස පෙළ ගැස්සවීම බ්ලොග් එක ලිවීමට පෙර කළ යුතු දෙයකි. බ්ලොග් එකක් වුවත්, ජර්නලයක් වුවත්, මනා ක්‍රමවේදයකට අනුව පෙළ ගැස්විය යුතුයි. බොහෝ විට කිසියම් අහඹු දෙයක් දුටු විට එය බ්ලොග් එකට ඇතුළත් කිරීමට පෙර කිසියම් ක්‍රමවේදයකට අනුව ලියවිය යුතුයි.

කතන්දර ලියන කතුවරයකු බ්ලොග් එකක් ලිවීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය

මූලිකව කොටස් වශයෙන් පළ කරන කතාන්දරයක් නම් එය පිළිබඳ ඔබේ අවධානය යොමු කරන්න. අනිවාර්යෙන්ම පෙර කොටස පිළිබඳ සරල සැකිල්ලක් කතුවරයා විසින් සටහන් කරගත යුතුයි. මෙසේ සටහන් කිරීමට නොහැකි නම් අනුගමනය කරන ක්‍රමවේදය ගැටලු සහගත වේ. එක් මොහොතකින් අවසන් කරන කතාවක් නම්, මේ ආකාරයේ පිළිවෙතක් අවශ්‍ය නොවේ. එක දිගට කතාව ලියාගෙන යෑම මෙහිදී පහසු වේ. පසුව වෙනස් කිරීමට හෝ නැවත කොටසක් එකතු කිරීමට කරන ආකාරයෙන් කතාවක් ලිවීම මෙහිදී උචිත නොවේ. එලෙස ලිවීම අසාර්ථක වේ. මේ නිසා පළමුව සැකිල්ලක් ගසාගෙන බ්ලොග් එකක් ලිවීම මෙහිදී ඉතා සුදුසු වේ.

සාමිස අබේසිංහ

වෘත්තීය සංවර්ධන උපදේශක

Bsc Engineering

Msc in Advanced Computing


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department