හ/ කහවත්ත මහා විද්‍යාලයේ විදුහල්පතිනිය
සන්ධ්‍යා හේමමාලි මහත්මිය
දරුවන්ගේ දක්ෂතා හඳුනාගෙන ඒ අය නිසි මාර්ගයට යොමු කිරීම ගුරුවරුන්ගේ යුතුකමක්. සමහර දරුවන් ගණිතයට කැමැතියි. තවත් අය කැමැති සෞන්දර්ය විෂයයන්ටයි. ගණිතයට කැමැති නැති දරුවකු අමාරුවෙන් ගණිතයට කැමැති කිරීම අපහසුයි. ඒ සඳහා ගුරුවරයා උපායශීලි විය යුතුයි. එලෙස දරුවා දිනා ගැනීමට අපොහොසත් වුවහොත්, දරුවාට අනාගතයක් සාදා දීමට නොහැකි වේ. වර්තමානයේ බොහෝ දරුවෝ අධ්‍යාපනය සමඟ තරගයක නියැලෙමින් සිටිති. මේ තරගය නිසාම ඇතැම් දරුවෝ පසුබට වෙති. සෑම දරුවකුටම එකසේ සතුටින් අධ්‍යාපනය ලැබිය හැකි අයුරින් පාසලෙන් අධ්‍යාපනය ලබාදීමට නම් දරුවන්ව අවබෝධ කරගත යුතුයි. එලෙස දරුවන් අවබෝධ කරගෙන අධ්‍යාපන ලබාදීමෙන් දරුවාට මෙන්ම සමාජයට ද යහපතක් ඇති වේ. හම්බන්තොට කහවත්ත මහා විදුහලේ විදුහල්පතිනිය සන්ධ්‍යා හේමමාලි මහත්මිය එවැනි ක්‍රමවේදයකට දරුවන් හුරුකරවන්නියකි. පුංචි ඔබ වෙනුවෙන් ඇගේ පාසලේ කතාව ඔබට කියන්නෙමු.
” මගේ පාසලේ ප්‍රාථමික අංශයක් මෙන්ම ද්විතීයික අංශක් තිබෙන පාසලක්. මම පාසලට පැමිණෙන විට ද්විතීයික අංශයේ එතරම් ළමයින් හිටියේ නැහැ. බොහෝ දරුවන් ද්විතීයික අංශයේ අධ්‍යාපනය හැදෑරීම සඳහා වෙනත් පාසල්වලට ගිහිල්ලා. එහෙත් මගේ පැමිණීමත් සමඟ ඒ සියල්ල වෙනස් වුණා. බොහෝ දරුවන් පාසල අත්හැර යෑම වැළක්වීමට මට හැකියාව ලැබුණා. ඒක මට සතුටට කාරණාවක්. පාසලේ දරුවන් රඳවා තබා ගැනීමටත්, ඔවුන් සතුටින් පාසලේ රඳවා තබා ගැනීමටත් කුමන හෝ හේතුවක් තිබිය යුතුයි. මේ නිසා දරුවන්ගේ සතුට වෙනුවෙන් සෑම දෙයක්ම පිළිවෙළට සූදානම් කරන්න මට හැකි වුණා. බොහෝ දරුවන් ගණිතයට, විද්‍යාවට ඉංග්‍රීසි වගේ විෂයයන්ට කැමැති නැහැ. මම එවැනි දරුවන් හඳුනාගෙන ඔවුන් කැමැති මොනවගේ විෂයයන්ට ද කියන දේ හඳුනා ගත්තා. ඒ අනුව ඒ කැමැති විෂයයන්ට විශේෂ ස්ථානයක් ලබාදීමට මම කටයුතු කළා.”
” අපේ පාසලේ දරුවන් දාහක් පමණ සිටිනවා. ඒ වගේම ගුරුවරු තිස්පහක් ඉන්නවා. ඒ සෑම ගුරුවරයකුගෙන්ම හොඳ සහයෝගයක් ලැබෙනවා. විෂයානුබද්ධ දෙයින් බැහැරව විෂය බාහිර ක්‍රියාකාරකම්වලත් දරුවන් යොදවන්න මම අදහස් කළා. මේ අනුව සංගීතය, නැටුම්, කථික තරග, වාදන තරගවලට දැඩි රුචියක් තිබෙන දරුවන් ඒ සඳහා යොමු කළා. ඒ විතරක් නෙවෙයි නිවේදන තරග සඳහාත් දක්ෂ දරුවන් අපේ පාසලේ සිටිනවා. ඒ හැමෝටම පුළුවන් අයුරින් වේදිකාවක් හදලා දෙන්න මම ඇතුළු මගේ ගුරු මණ්ඩලය ඇපකැප වී සේවය කරනවා. මේ අනුව මේ වන විට අපේ දරුවන් සංගීතය සහ නැටුම් තරගාවලියට ඉදිරිපත් වෙනවා. ඒවායින් ජය ලබනවා. ඒක මට ලොකු සතුටක්. සමහර දරුවන් පාසල් එන්න ගොඩක් කම්මැළියි. ඒ අය දඬුවම් කරලා පාසලට ගෙන්වා ගන්න බැහැ. ඒ නිසාම මම මුලින්ම කරන්නේ ඒ අය කැමැති විෂය සොයා ගෙන ඒ සඳහා දැඩි නැඹුරුවක් ලබා දෙනවා. එහෙම කරන ගමන්ම අනෙක් විෂයයන්වලට යොමු කරනවා. ඒ සඳහා මට උපකාරී කරන දක්ෂ ගුරු මණ්ඩලයකුත් මට ඉන්නවා. ඒ අය මට ලබා දෙන සේවය මම ඉතා අගය කරනවා.”
” මිතුරු පාසල් ක්‍රමය යටතේ අනෙකුත් පාසලුත් දියුණු වෙනවා නම් මම කැමැතියි. බොහෝ විට පාසල් අතරත් අන්‍යොන්‍ය සහයෝගිතාවක් තියෙන්න ඕනෑ. ඒ දෙයට මම හරිම කැමැතියි. මෙවර පළාත් තරගවලට සහභාගි වෙන්න සංගීත භාණ්ඩ ගැනීම සඳහා පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා අපට රුපියල් ලක්ෂ දෙකක් ලබා දුන්නා. ඒ පරිත්‍යාගය පිළිබඳ එතුමාට අපි ස්තූතිවන්ත වෙනවා. ගුරුවරු, මව්පියන් , දරුවන් මෙන්ම රජයේ ඉහළ නිලධාරීන් ද අපේ පාසල වෙනුවෙන් ලබා දෙන සහයෝගය මම ඉතා අගය කරනවා. ඉතින් මගේ අපේක්ෂාව තාක්ෂණය, විද්‍යාව මෙන්ම මිනිසත්කමින් හෙබි දරු පරපුරක් දැයට දායාද කිරීමයි.
ඇගේ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉටු වේවා යැයි මිහිර වෙතින් අපි සුබ පතමු.
රූපාන්ති බුලත්සිංහල
ඡායාරූප- පාසලේ ඡායාරූප සංගමය