නියං කොබෙයියන්ගේත්, උලමුන්ගේත් හඬ අවටින් බෙරිහන් තලද්දී අපි ඇඳිරියත් පොරෝගෙන නිවෙසට ආවෙමු. කරුණෙත් මාත් එක මඟ ආවත් අනෙක් අය සපත්තු කානුව ළඟදී වෙන්වී තම තමන්ගේ ගෙවලට ගියහ.
අප ගෙට ගොඩවන විට මල්ලී මිදුලේ ගසා ඇති ලෑලි බංකුව උඩට වී කල්පනා කරමින් සිටිනු දක්නට ලැබී ය.
“මොකද මල්ලී එළියට බැහැලා” කරුණෙ ඇසුවේ ය.
ඒවාට පිළිතුරක් නොදී ඔහු ඇසුවේ “කෝ අපේ අයියා ?”
“අම්මෝ……ඔන්න එක්කගෙන ආවා. ඔහු කීවේය.
“මල්ලි අපි ආවනේ. ඔයා අපිත් එක්ක තරහින්ද ඉන්නේ.” මම ඇසුවෙමි.
“මගේ එහෙම තරහක් නෑ අයියා. මට ඒ ගමන යන්න බැරි වුණාට දුක හිතුණා.”
“කංචු එහෙනම් මං යන්නම්.” කියා කරුණේ යන්නට සූදානම් වන විටම පිළට ආ අප්පච්චී “ඔය යන්නද හදන්නෙ” කියා කරුණෙගෙන් ඇසුවේ ය.
“ඔව්, අපි උඩහටම ගියේ නෑ.”
අපි කීවෙමු.
“කංචු හොඳයි ද ගමන.” අප්පච්චි ඇසුවේ ය.
“අම්මෝ කියල වැඩක් නෑ. මේ හරියෙ ගඟේ පළල බැලුවම උඩහට යද්දිං හරි පටුයි අප්පච්චි.”
“හැබැයි ඉතින් ලොකු ගල්පරත් වැලි පාරකුත් තියෙනවා. හරිම ලස්සනයි.” මම කීමි.
“ආ පුතා ආව ද මගෙ කොල්ලා? මං මේ කටහඬ ඇහිලයි එළියට ආවෙ.” ආත්තම්මාත් අම්මාත් ආලින්දයට ආහ.
මම අම්මාටත් ආත්තම්මාටත් වැන්දෙමි.
කරුණෙ තම බෑගය කරේ දමා ගන්නාව දුටු අප්පච්චි “මොකද……දරුවො ආපයින්ම යන්නෙ….?” ඇසුවේ ය.
“ එපා. එහෙම යන්න එපා. දරුවො. දෙන්න එක්ක ගෙහුං ඇඟපත හෝදගෙන තේ කහට ඇබින්දක් බීලා වෙහෙස නිවාගෙන බත් ඩිංගක් කාලා යමු පුතා. මං ගෙදරට ගෙහුං ඇරදාන්නම් තාත්තණ්ඩි නම් ඊයෙත් ඇවිදින් ගියා.”
මුත්තණ්ඩි ද කීවේ ය.
“ඔය දරුවන්ට ඇඟපත හෝද ගන්න ඉඩ දීපල්ලකෝ…..” ආත්තම්මා මුළුතැන්ගෙය දෙසින් හඬ දෙන්නට විය.
“දැක්ක නේද මං කතා කරනවට තියන ඉරිසියාව.” මුත්තණ්ඩි ආත්තම්මා කේන්ති ගස්සන්නට කීවත් ඇය එය ගණන් ගත්තේ නැත.
කරුණෙත් මමත් ළිඳ ළඟට ගොස් නා ගතිමු. හොඳටම සිසිලක් දැනුණි. මෙතෙක් තිබූ විඩාව තෙහෙට්ටුව නැති විය.
“මේ දෙනියෙ ළිඳේ කවදාවත්ම වතුර හිඳෙන්නෙ නෑ. අපේ අප්පච්චිලා පුංචි කාලෙත් මේ ළිඳ මේ වගේමලු. හැමදාම වතුර උතුරා යනවලු.”
මම කීවෙමි.
“හරි සනීපයි ඒ වතුර ටික නම්.” අපි නාගෙන එන විට ආත්තම්මා කෑම බෙදා තිබුණි.
“මල්ලි එන්න අපි කෑම කමු.” මම මල්ලීට ද කතා කරගතිමි. මා නොකා යනවට විදානෙ මාමා කැමැති නැත. ඒ නිසා හොඳ කෑම වේලක් කෑවෙමි.
“ඉතින් කංචු ගෙනා ගඩා ගෙඩි ටික ගත්ත නේද? මං ගෙදර යන්නම්.” හීන් තෙත් සුළඟක් හමා ගියේ වැස්සක පෙරනිමිති ලෙසිනි.
“කෝ………..පුතා යමුකො. මාත් එඤ්ඤා.”
අප්පච්චී ඉස්සර විය.
“කොහොමද පුතා ගමන…..? හිතට පිරියක්. තේරුමක් අවබෝධයක් ගත්ත ද? දැක්ක නේද නියඟයක් ආවම මිනිසුන්ට ඇතිවෙන අපහසුව.“ විදානෙ මාමා අසයි.
“මාමා අපි ඇස් දෙකෙන් දකින දේට වඩා හිතට දැනුණ, දේ අපමණයි.” අපට එක ආත්තම්ම කෙනෙක් හෙරලි තම්බා දුන්නා. ඒ ගැන කංචු කියාවි.
“හෙරලි කියන්නෙ කොස්වලට බව අප දැන ගත්තේ එදා. ඒ පැත්තෙ අය ගෙවන්නෙ හරිම දුක්බර ජීවිතයක් මාමා.
මේ කාලෙ එහෙම වුණාට මම හිතනවා වැහි කාලෙ එයාලට මීටත් වඩා අමාරු වේවි. ඇයි ගංවතුරක් ආවොත්……………? මුළු පදාසයක්ම යටවෙනව ඇති.” මට හිතුණේ එහෙමයි.
“ආ…………..ඕං කතාවෙන් කතාවෙන් ගේ ළඟටම ආවා.”
“ඒක නොවෙන්නම් මාමා.”
“මං මේ බැලුවෙ කතා කරන සද්දෙට කවුද කියලා.”
“දරුව ඇවිල්ලා. මේ………..ඇහුණ ද විදානෙ මහත්තයත් ඇවිල්ලා.”
කරුණෙගෙ අප්පච්චි අප පැමිණ ඇති බව අම්මාට කීවා ය.
“අනෙ මගෙ සන්තෝ මේ මහ රෑත්තිරියෙ. මයෙ දරුවා එහෙ ගියාවෙද විදානෙ මහත්තයා.”
“ගියා තමා අපෙ ළමයත් කැටුං ගමන් විඩාව හොඳටම පෙනුණ නිසා මං කීවා ඇඟ පත හෝදගෙන කාල බීලා යමු. මාත් එන්නම් කියලා.”
“අපෝ ඒකට මක් වෙනවද?” කරුණෙගෙ මව කීවා ය.
අප්පච්චී ගෙදර එනතුරු මම නොනිදා සිටියෙමි.
“ ආ……………මා පුතා උඹ එකහෙලා තීන්දුවටම නොගොහින් ආපහු ආපු එක හොඳයි. ඔන්න ගඟේ වතුර එනවා. ඉහළ වැහැලා වෙන්ට ඇති.”
“ තව දොහක් දෙකක් පහු වුණානම් එන්න වෙන්නෙ. ඔය ගොඩකරය මැද්දෙන්. ආපු එක හොඳා.
“ඉතින් අයියා මේ බැදි දෙල් ඇට කොහෙන් ද?”
“මල්ලි ඔය මඟින් මඟ තියෙන ඒවා තමයි මල්ලෙ රොක්කර ගෙන ආවෙ.”
“චූටි පුතේ දැන් ඉතින් අයියට නිදා ගන්න දෙන්න.” අම්මා කියනු ඇසුණි.
“එහෙනම් අපි උදේ කතා කරමු.” කී මල්ලීද නිදන්නට විය.
පසුවදා ඉර පායා හෝරා දෙක තුනක් ගතවන තුරු මට නින්ද ගොස් තිබුණෙත් කිසිවකු මා අවදි කළේ ද නැත.
“තාම දරුව නිදි.” කියන ආත්තම්මාගේ කටහඬ මට ඇසුණේ සිහිනයෙන් මෙනි. මා නිදි අවදිම එසේම සිටියෙමි. පසුව පියවි කල්පනාවට පැමිණි පසු මා අවදි වී කුස්සියට ගියෙමි. ආත්තම්මා පැදුර වියමින් සිටී. අම්මා දහවල් කෑම සූදානම් කරමින් “අම්මේ………..කෝ ගෙදර අනෙක් අය. අම්මාගෙන් මම විමසීමි.
“අප්පච්චි ගියා කළවිටේ. මල්ලිටත් අද නිවාඩු නේ. එයත් ගියා අප්පච්චිත් එක්ක.
“කළවිටේ මොනාද කරන්නෙ?”
“අර ඉන්නල පාත්ති වගයක් තියෙනව කියල ජේමිස් ඇවිත් ඒක කොටල දාන්නම් කීව. ඒකයි අප්පච්චියි, මල්ලියි දෙන්නම ගියේ.
දැන් නැද්ද ජේමිසාගෙ හැටි. අප්පච්චි රවට ගන්න. ලේසි නැහැනේ චූටි පුතා හිටියම. නැත්නම් අලකන්ද භාගෙට කොටල ඒ ටික විතරක් ගෙනත් දාලා යමින් ගමන අනෙක් ටිකක් හූරගෙන යන මිනිහ නොවැ.
“අනේ අම්මෙ නැති කමටනේ. ඔහෙ ගත්තාවෙ.”
“ඒකට කාරි නෑ වංචාවෙන් නේ ඒක කරන්නෙ. ඒකයි හරි නැත්තෙ.” අම්මා කීවාය.
“ මං යන්න ඕන නැද්ද…………?”
ඕන නෑ. උඹැහෙ ගෙදර හිටිං.” ආත්තම්මා කීවා ය.
රත්නා කහඳගම