තැනට හෙවත් අවස්ථාවට ගැළපෙන ආකාරයට විශාල අර්ථයක් ප්‍රකාශ කිරීම වෙනුවට කෙටි වැකියක් යොදාගැනීම සිංහල භාෂාවේ බහුලව සිදුකරනු ලැබේ. මෙය ප්‍රස්තාව පිරුළු ලෙස හඳුන්වයි. ”සුදුසු අවස්ථාවට ප්‍රයෝජන ලබාගැනීම සඳහා අනුන්ගෙන් ලබාගත් වැකි” යන තේරුම ද ප්‍රස්තාව පිරුළු හැඳීන්වීමට යෙදිය හැකි ය . මෙම පිරුළු ඇතැම්විට උපහාසාත්මක ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ද යොදා ගනී. මෙම ප්‍රස්තාව පිරුළු බොහොමයක් බිහිවීමට පසුබිම් වූ ජන කතන්දර ද තිබේ. අද අපි ‘පුහුල් හොරා කරෙන් දැනේ ‘යන ප්‍රස්තාව පිරුළට පසුබිම් වූ ජන කතන්දරය හඳුනා ගනිමු.
එක් මිනිසෙක් එළවළු කොරටුවක් කළා. එහි අළු පුහුල් වැලකුත් තිබුණා. එක දවසක් ඔහු කොරටුවට ගොස් බලනවිට එහි පුහුල් ගෙඩියක් හටගෙන තිබුණා. පුහුල් ගෙඩිය හොඳීන් පැසුණු පසු අනෙක් එළවළු ද සමඟ එය ද විකුණන්නට හැකියි සිතා
ඒ මිනිසා සතුටු වුණා. ඔහු දිනපතාම තම එළවළු කොරටුවට ගොස් පුහුල් ගෙඩිය පැහිලා දැයි බැලුවා. එක දවසක් උදේ ඔහු බලනවිට පුහුල් වැලේ පුහුල් ගෙඩිය තිබුණේ නැහැ. හොරෙක් ඒ ගෙඩිය කඩාගෙන ගිහින්. ඔහු වහාම ගමේ රාලහාමිට ඒ ගැන පැමිණිලි කළා. ඉන්පසු ගමේ රාලහාමි එය බලන්න කොරටුවට ගියා. ඔහු ඒ ගමනට ගමේ මිනිස්සුන්ට ද කතා කළා. මේ ගම්වාසීන් අතර පුහුල් හොරාත් සිටියා. හේනට ගිය රාලහාමි පුහුල් වැලට හොඳීන් ළං වී බැලුවා. පුහුල් වැල හොඳීන් නිරීක්ෂණය කළ රාලහාමි “පුහුල් ගෙඩිය ගොඩක් ලොකු ගෙඩියක් ද?” කියා ඇසුවා.
“ඔව් රාලහාමි ඒක ගොඩාක් ලොකු පුහුල් ගෙඩියක්” කොරටුවේ අයිතිකරුවා පැවසුවා.
“ඒක ඒ තරම් ලොකු ගෙඩියක් නම් ඒ පුහුල් ගෙඩිය කඩාගත්ත හොරා ඒක අරන් යන්න ඇත්තේ කරේ තියාගෙනයි. අනිවාර්යයෙන්ම ඒ පුහුලේ අළු හොරාගේ කරේ ගෑවෙන්න ඇති” රාලහාමි කිව්වා. එවිට එතැන සිටි පුහුල් හොරා කලබල වුණා. ඔහු හණිකට තමන්ගේ කර පිස දැම්මා. එය රාලහාමි සහ ගම්වැසියන් දුටුවා.
“අන්න දැක්කද පුහුල් හොරා කරෙන් දැනුණා” රාලහාමි කිව්වා. හොඳටම බිය වූ හොරා පුහුල් ගෙඩිය ආපසු ගෙනත් දෙන්නම් කියලා සමාව ඉල්ලුවා.
කෙනෙක් හොරකමක් හෝ වැරැදි වැඩක් කළවිට එම පුද්ගලයාගේ නොසන්සුන් බාහිර ඉරියව්වලින් එය හෙළිදරව් වන අවස්ථාවලදී ගැමියන් “පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් පැවසීමට පුරුදු වී සිටිනවා.