Home » Blog » ජපානයේ සංස්කෘතිය පිළිබඳ කතා පුවත

ජපානයේ සංස්කෘතිය පිළිබඳ කතා පුවත

by thanushika
0 comment

ක්‍රි.පූ. 1000ත් 300ත් අතර කාලයේ ජපානයේ පදිංචි වූ යයොයි ජනයාගෙන් ජපන් දේශීය සංස්කෘතිය ආරම්භ වී ඇත. යයොයි සංස්කෘතිය ස්වදේශික ජෝමොන් සංස්කෘතියත් සමඟ මුසු වී ප්‍රධාන දූපත වන හොන්ෂූ වෙත ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. නූතන ජපන් ජනයාගෙන් 80%ක් යයොයි පරම්පරානුගත වන අතර, 20%ක් ජෝමොන් පරම්පරානුගත වේ. ජපන් සංස්කෘතියට පුරාතනයේ සිට මධ්‍යතන යුගය දක්වා බහු චීන රාජවංශයන්ගේ හා සුළු වශයෙන් අනෙකුත් ආසියාතික රටවල ආභාසය ද ලැබිණි. අද ජපන් සංස්කෘතිය ගෝලීය ප්‍රවේශය හේතුවෙන් ලෝකයේ ප්‍රමුඛ සහ වඩාත් කැපීපෙනෙන සංස්කෘතියක් බවට පත්ව ඇත. මෙවර මිහිර පෝස්ටරය සැකසෙන්නේ ජපානයේ සංස්කෘතිය ඇසුරෙන් ය.

භාෂාව

ජපන් භාෂාව ජපානයේ රාජ්‍ය භාෂාව මෙන්ම ප්‍රධාන භාෂාව වේ. ජපන් භාෂාව ශබ්දය අතින් වෙනස් වූ ස්වර උච්චාරණ පද්ධතියකින් සමන්විත ය. ජපන් භාෂාව පිළිබඳ පැරැණිතම සහතිකය ක්‍රි.ව. 252දී ලියැවුණු චීන ලේඛනයේ දැක්වේ. ජපන් භාෂාවට චීන භාෂාව සමඟ එහි උපත හා සම්බන්ධතාවක් නොමැත. එය අයත් වන්නේ ”ජැපොනික්” භාෂා නමැති වෙනස් වූ භාෂා පවුලකට ය. ජපන් භාෂාව හිරගන සහ කතකන යන අක්ෂර මාලා දෙකක එකතුවෙන් ලියනු ලැබේ. මෙය පස් වැනි සියවසේ චීන ‘මන්යෝගනාවලින්’ උපත ලැබී ය. ජපන් භාෂාව

මුලින්ම හිරගන සහ කතකන කන්ජිවලින් සරල කරනු ලැබී ය. නව වැනි සියවස වනවිට හිරගන අක්ෂර බිහි විය. මෙම අක්ෂර කාන්තාවන් විසින් අවිධිමත් භාෂාවේදී භාවිත කරන ලදි. කතකන අක්ෂර ප්‍රධාන වශයෙන් පිරිමින් විසින් විධිමත් භාෂාව සඳහා භාවිත කරන ලදි. දස වැනි සියවස වන විට, එය සාමාන්‍ය වූ අතර, සියල්ලන් විසින් භාවිතයට ගනු ලැබී ය. ක්‍රි.ව. 50 පමණ කාලයේදී චීන අක්ෂර හඳුන්වා දෙන තෙක් ජපානයට ලිඛිත ව්‍යවහාරයක් නොමැති විය. එබැවින් චීනයෙන් ආනයනය කරන ලද චීන අක්ෂර ‘කන්ජි’ යනුවෙන් හැඳීන් වේ. එය ප්‍රධාන වශයෙන් නාම පද, නාම විශේෂණ ප්‍රකෘති හා ක්‍රියා ප්‍රකෘති සඳහා භාවිත වෙයි.

ආගම

ෂින්ටෝ ආගම සහ බුදුදහම ජපානයේ ප්‍රමුඛ ආගම් වේ. ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් අදහන සුළු පිරිසක් ද සිටිති. 2021 වර්ෂයේ ආගම පිළිබඳ වාර්ෂික සංඛ්‍යාලේඛන පර්යේෂණයට අනුව, ජනගහනයෙන් සියයට 48.6ක් ෂින්ටෝ දහම ද, සියයට 46.4ක් බුද්ධාගම ද, 1.1ක් ක්‍රිස්තියානි දහම ද සියයට 4ක් වෙනත් ආගම් ද අදහති.

ෂින්ටෝ ආගම

ෂින්ටෝ යනු උත්සව හා චාරිත්‍ර වාරිත්‍ර ඉලක්ක කරගත් ජනවාර්ගික ආගමකි. ෂින්ටෝ දෙවියා හෝ ආත්මය, ගස් ගල් සහ කඳු ඇතුළු ස්වභාවධර්මය තුළින් මෙම ආගම ඉස්මතු වේයැයි ෂින්ටෝ ආගමිකයෝ විශ්වාස කරති. මිනිසුන් ද දෙවියන් සේ සැලකිය හැකි ය. මිනිසුන් සහ දෙවියා අතර සබඳතාවක් පවත්වා ගැනීම මෙම ආගමේ එක් අරමුණකි.

බුදුදහම

බුදුදහම ක්‍රි.පූ. 6 වැනි සියවසේ හා ක්‍රි.පූ. 4 වැනි සියවස අවට කාලයේදී ඉන්දියාව ආසන්නයේ ගොඩනැඟුණු අතර, අවසානයේ චීනය හා කොරියාව පුරා ව්‍යාප්ත විය. එය ක්‍රි. පූ. 6 වැනි සියවසේදී ජපානයට ව්‍යාප්ත වූ අතර, ආරම්භයේදී බුදුදහම ජනප්‍රිය නොවිණි. බොහෝ ජපන් ජනයාට බුදුදහමෙහි ඇති ගැඹුරු කරුණු තේරුම් ගැනීමට අපහසු විය. බුදුදහම මරණින් මතු ආත්මය හා ජීවිතය සමඟ බැ¼දී පවතී. බුදුදහමට අනුව සෑම පුද්ගලයකුම රෝගී වීම, වයස්ගත වීම, මරණය හා අවසන් පුනර්භවයෙන් නව ජීවයක් ලැබීම නමැති සංසාර චක්‍රයක ගමන් කරන බැවින් පුද්ගලයකුගේ තරාතිරම වැදගත් නොවේ. මෙහි පරම අරමුණ වන්නේ සියල්ලෙහි අභ්‍යන්තරය පිළිබඳ සත්‍යාවබෝධය ලැබීමෙන් මරණයෙන් සහ පුනර්භවයෙන් මිදීමයි.

සාහිත්‍යය

ජපන් සාහිත්‍යයේ මුල් කෘතීන්ට චීනය සමඟ සංස්කෘතික සබඳතා හා සම්භාව්‍ය චීන භාෂාවෙන් ලියා ඇති චීන සාහිත්‍ය දැඩි ලෙස බලපෑවේය. ජපන් ලේඛකයන් ජපානය පිළිබද තමන්ගේම කෘති ලිවීමට පටන් ගත්විට ජපන් සාහිත්‍ය වෙනම ශෛලියක් දක්වා වර්ධනය විය. Heian යුගයේ Murasaki Shikibu  විසින් ලියන ලද Genji  කතාව ලොව පුරා අද්විතීය ජපන් සාහිත්‍යය කෘතියක් ලෙස හැඳීන් වේ.

රංගකලාව

ජපානයේ සාම්ප්‍රදායික රංග කලා සතර වන්නේ Noh, Kyogen, Kabuki  හා Bunraku වේ. හාස්‍යජනක චරිතයක් ඇති kyogen පැරැණි සම්භවයක් ඇත. Kyogenහි වෙස් මූණු භාවිත කරනුයේ කලාතුරකින් ය. බුන්රකු රූකඩ කලාවේ මූලාරම්භය පැරැණි, හීයන් යුගයේ ආරම්භ වේ. වර්ෂ 1914 දී Takarazuka Revue  ආරම්භ කරන ලදි.

ක්‍රීඩාව

ජපානයේ ජාතික ක්‍රීඩාව වන්නේ සුමෝ ය. දෙවියන්ව සතුටු කිරීම සඳහා පවත්වන ලද උත්සවයක් ලෙස ආරම්භ වූ මෙය වර්තමානය වන විට ක්‍රීඩාවක් බවට පත්ව වී තිබේ. ෂින්තෝ ආගමට අනුව කෑම, අස්වැන්න ලබා දෙනු ලබන්නේ දෙවියන් යැයි ඔවුන්ගේ මතයයි. එම නිසා දෙවියන් සතුටට පත් කිරිම සඳහා මෙම ක්‍රීඩාව පවත්වනු ලැබී ය. මුල් කාලයේ සුමෝ ක්‍රීඩකයන්ගේ ශරීර ශක්තිය දෙවියන්ට ප්‍රදර්ශනය කිරීම සඳහා මෙය පැවැත්වූ අතර, පසු කාලීනව මෙය ක්‍රීඩාවක් බවට පත් විය. මෙම ක්‍රීඩාවේ අදියර 16ක් ඇති අතර, අවසාන අදියරේ දිනන පුද්ගලයා ශූරයා බවට පත් වේ. ප්‍රබල ක්‍රීඩකයන් දිනීමෙන් දෙවියන්ගේ හිත සතුටට පත් වන බවත්, එවිට අස්වැන්න වැඩියෙන් ලැබෙන බවත් ජපන් ජතිකයන්ගේ විශ්වාසයයි.

සංගීතය

ජපන් සංගීතය බටහිර සංගීතයට වඩා වෙනස් වේ. මෙම සංගීතය ගණිතමය වේලාවට වඩා මිනිසාගේ හුස්ම ගැනීමේ කාල අන්තරයන් මත පදනම් වේ. ජපන් ප්‍රාසාංගික කලාවේ වෙනත් ආකාරයකින් පැහැදිලි කළ නොහැකි අංගයන් පැහැදිලි කිරීම සඳහා අද්විතීය සෞන්දර්යයක් ලෙස සැලකෙන්නේ මෙම කාල නිර්ණයයි. ජපන් සංගීතය ශබ්දයේ ගුණාත්මක බව අවධාරණය කරන අතර, එක් එක් උපකරණයේ ශබ්ද වර්ණාවලියේ පොහොසත්කම සහ සංකීර්ණත්වය අගය කරයි. ජපන් සංගීතය ණචලල, නධන, සහ අධජඬ සංගීත ප්‍රභේදවල තවදුරටත් පරිණාමය වී අද දක්වාම පවතී. 20-21 සියවස්වල ජනපි‍්‍රය කලාකරුවන් වන්නේ යෝකෝ ඔනෝ, සුසුකා නකමෝටෝ, කොජි ටමාකි සහ කෙන්ෂි යොනෙසු වේ.

ආහාර

ආහාර වේල ජපන් භාෂාවෙන් ගොහන් යනුවෙන් හඳුන්වයි. සාමාන්‍යයෙන් ජපන් කෑම වේලකටම තැම්බූ සුදු බත්, මස් හෝ මාළු, එළවළු හා මිසො, සුප් හා අච්චාරුමෙන් සැකසූ එළවළු අඩංගු වේ. බත් ඇලෙනසුලු හෙයින් “හෂි” නම් ලී කෝටුවලින් කෑමට පහසු ය. කෑමට පෙර ජපන් ජනයා “ඉතදකිමසු” යැයි කියනු ලැබේ.”මේ කෑම පිළිගන්නවා” යන තේරුම ඇති මෙය, කෑම වේල සකස් කිරීමට එක් වූ සැමට ස්තූති කිරීමකි. කෑමෙන් පසුවත් ඉතා හොඳ කෑම වේලක් යන තේරුම ඇති “ගොචිසෝ සමාදෙශිතා” කියා නැවත ස්තූති කරයි. වර්තමාන ජපන් ජනයා බත්වලට අමතරව පාන්, නූඩ්ල්ස්, පැස්ටා, මස්, මාළු හා පලතුරු ආදිය ආහාරයට ගනියි. සුෂි, තෙම්පුරා, සුකියකි, සෂිමි වැනි ජපන් ආහාර වර්ග ද ජපානයේ ඉතා ජනප්‍රිය වේ.

ඇඳුම්

ජපානයේ ජාතික ඇඳුම වන්නේ කිමෝනාවයි. සාමාන්‍යයෙන් සේදවලින් සාදන ලද කිමෝනෝවට විශාල අත් ඇති අතර, උරහිස සිට දෙපතුල් දක්වා දික් වේ. බඳ වටා ඔබි නමැති පළල් පටියක් බඳිනු ලැබේ. කිමොනෝ අඳිනු ලබන්නේ උත්සවවලදී පමණි. එම උත්සව නම් ෂිචි ගො සාන්, විවාහෝත්සව හා උපාධි උත්සව ආදියයි. උෂ්ණ කාලයේදී යුකතා නම් වූ සැහැල්ලු, පහසු, කිමෝනෝ ද ළමයින් හා තරුණ අය උත්සව අවස්ථාවලදී අඳිනු ලබයි. එදිනෙදා ඇඳුම් සඳහා ළමයින් හා තරුණ අය ටී ෂර්ට්, කලිසම් හා කමිස අඳීනු ලැබේ.

චාරිත්‍ර

තේ පානෝත්සවය ජපන් ජාතිකයන්ගේ චාරිත්‍රයකි. මෙය ජපන් භාෂාවෙන් ච නොයු ලෙසින් හඳුන්වයි. මෙය සෙන් බුදු දහම ඇසුරින් වර්ධනය වූ චාරිත්‍ර‍යකි. මෙම චාරිත්‍ර‍ය වැඩි දියුණු කරන ලද්දේ 16 වැනි සියවසේදී රික් යු නමැති සෙන් පූජකවරයා විසින් බව කියනු ලැබේ.

මේ සඳහා නිවෙසේම කාමරයක් හෝ නිවෙසින් පිටත පිහිටි විශේෂ කාමරයක් භාවිත කරයි. මෙම කුටියේ එක් කොටසක් තේ පානය සඳහා පැමිණෙන අමුත්තන් සඳහා වෙන්කර තිබෙන අතර, අනෙක් කොටස තේ උණු කිරීම, වත් කිරීම, බඳුන් සේදීම සඳහා වෙන්කර තිබේ. ජපන් කිමෝනාවලින් සැරසී බිම තතමි පැදුරු එළා ඒ මත වාඩි වී මෙම චාරිත්‍ර‍ය සිදු කරයි.

කලාව

ඉකෙබානා මල් සැකසුම් කලාව ජපන් සංස්කෘතියේ තවත් විශේෂ අංගයකි. මෙම කලාව ජපානයට ආවේණික වූවකි. බුදුරජාණවහන්සේට මල් පූජා කිරීමේ සිරිත මුල් කරගෙන ඉකෙබානා ආරම්භ වූ බව ද පැවසේ. පසුව විවිධ හේතු මුල්කරගෙන මෙම සිරිත කලාවක් බවට පත්වී තිබේ. ඉකෙබානා සඳහා උපයෝගී කරගනු ලබන්නේ ස්වාභාවික පැළෑටි, මල් වර්ග, අතු කැබලි ආදියයි. මෙම අමුද්‍රව්‍ය විවිධ හැඩවලට සරසනු ලබයි. ඉකෙබානා මල් කලාව ප‍‍්‍රධාන සම්ප්‍ර‍දායන් තුනකට වෙන්වී තිබේ. ඒ ‘ඉකෙනොබො’ ‘ඔහාරා’ සහ ‘සොගෙත්සු’ සම්ප්‍ර‍දාය වශයෙනි. ඈත අතීතයේ සිට අද දක්වා ජපන් ජාතිකයන්ගේ අනන්‍යතාවයේ ප්‍රබල සලකුණක් ලෙස ‘ඔරිගාමී’ කලාව පෙන්වාදිය හැකි ය. ‘ඔරිගාමී’ යන්නෙහි තේරුම ‘කඩදාසි නැවීම’ යන්නයි. ‘ඔරි’ යනු ජපන් භාෂාවෙන් නැවීම යන තේරුම දෙන වචනයක් වන අතර, ‘ගමි’ යනු ‘කඩදාසි’ යන තේරුම දෙන ජපන් වචනයකි. ‘ඔරිගාමී සඳහා ගම් අවශ්‍ය වන අවස්ථා ද තිබේ. ජපන් ‘ඔරිගාමී’ කලාව වර්ග දෙකක් වේ. ඒ චාරිත්‍ර‍යක් ලෙස තෑගි එතීම සඳහා භාවිත කරන ‘ඔරිගාමී’ කලාව සහ කුරුල්ලන්, සතුන්, මාළුවන්, කෘමිසතුන්, මිනිස්රූප, ගෘහභාණ්ඩ සහ වෙනත් ද්‍රව්‍ය සැකසීමට භාවිත කරන ‘ඔරිගාමී’කලාව වශයෙනි. ‘ඔරිගාමී’ කලාවේ ජනප්‍රි‍යම නිර්මාණය වන්නේ කොකා ය.

සැකූසුම – චතුරි ලක්ෂිකා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department