Home » Blog »  අසිරිමත් නුවර ඇසළ පෙරහර

 අසිරිමත් නුවර ඇසළ පෙරහර

by thanushika
0 comments

ආදරණීය දුවේ පුතේ, ඇසළ මාසය ආරම්භයේදී අපේ මතකයට නැඟෙන්නේ මහනුවර ඇසළ පෙරහර පිළිබඳයි. දළදා මාලිගාව මුල් කරගෙන වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහර ඉතා අලංකාර පෙරහරකි. මෙම පෙරහර පිළිබඳ කතාව කියන්නයි අපේ මේ සූදානම.

ඇසළ පෙරහරේ ආරම්භය

ඇසළ පෙරහර ශ්‍රී ලංකාවේ මහනුවර නගරය කේන්ද්‍ර කරගෙන වාර්ෂිකව පවත්වනු ලබන සාම්ප්‍රදායික මහෝත්සවයකි. මෙම පෙරහර ශ්‍රී දළදා මාලිගාව හා සතර මහා දේවාල මඟින් සංවිධානය කර ඇත. වැලිවිට සරණංකර හිමි විසින් සෙංකඩගල දේවාල පෙරහර සහ දළදා පෙරහර එක්කර තනි පෙරහරක් සංවිධානය කිරීමෙන් මෙය ආරම්භ විය.

මේ වන විට ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සංකේතය බවට ඇසළ පෙරහර පත් වී ඇත. මෙම පෙරහරෙහි අලංකාර නර්තන හා අලංකාර හස්තීන් දක්නට ලැබේ.

ඇසළ පෙරහර හා සම්බන්ධ අනෙක් පෙරහරවල්

* ඇතුළු පෙරහර

මෙය දේවාල ඇතුළේ සිදු කරයි. සතර දේවාලවල කපුමහත්වරු දේවාලවලට අයත් ආයුධ, කප වටා වැඩම කරවන කුඩ, කොඩි, සේසත්, දවුල්, හොරණෑ ද සහිතව මෙම පෙරහර පවත්වනු ලබති. මේ සඳහා බැතිමතුන් සහභාගිකර නොගනී. දේවාල රාජකාරිය සිදු කරන ඇඳුම්වලින් සැරසී කපුමහත්වරු මෙයට සහභාගි වෙති.

* කුඹල් පෙරහර

කුඹල් පෙරහර හයවැනි දවසේ ආරම්භ වේ. මෙම පෙරහර දේවාල පෙරහරට වඩා අලංකාර ය. ගම් දහයේ විදානෙලා, බෙර වාදකයෝ, නැට්ටුවෝ මෙම පෙරහරට සහභාගි වෙති. මෙම පෙරහරට ධාතු කරඬුව වඩම්මන අතර, අලි ඇත්තු සහභාගි වෙති. පළමු දින පහේ දී දේවාලය වටා ගමන් ගන්නා දේවාල පෙරහර හතර, ඊළඟ දිනයේ මාලිගාවේ පෙරහරට එක් වී වීදි සංචාරය කිරීම කුඹල් පෙරහරේ ලක්ෂණයකි. කාරියකරවන රාල මාලිගාවේ තිබෙන මුරායුධ, පළිහ, සේසත්, රිදී, උඩැක්කි, පන්තේරු, රිදී අත්පන්දම්, වඩන තල අතු ආදිය පිළිසකර කර කුඹල් පෙරහර වීදි සංචාරය කරවයි. මෙම පෙරහර දවස් පහක් වීදි සංචාරය කරයි.

* රන්දෝලි පෙරහර

රන්දෝලි පෙරහර සඳහා මාලිගාවේ ප්‍රධාන දොරටු අබියසදී කරඬුව ගෙන යන ඇතා සරසනු ලබයි. නිලමේවරු තම තමන්ට නියමිත දේවාලවලදී හෝ මාලිගයේදී සූදානම් වෙති.

පළමු වෙඩි හඬත් සමඟ සිව් මහා දේවාල පෙරහර මාලිගාව අසලට ගමන් කරනු ලබයි. දළදා මාලිගයේ හේවිසි මණ්ඩපයට එකතුවන පනික්කයෝ දියවඩන නිලමේ කැඳවාගෙන ඒම සඳහා ඔහු සිටින කුටියට ගොස් වැඳ නමස්කාර කර ඔහුව කැඳවාගෙන එති. එවිට තූර්ය නාද පැවැත්වෙන අතර, දළදා කරඬුව ඇතු පිට තබනු ලබයි. මෙයට හේවිසි මණ්ඩපයේ සිට පාවඩ එළනු ලැබේ. හඳුන්කුඩම අසලදී කත්තියන රාලගෙන් වතුර කෙණ්ඩියක් ගෙන පිරිසුදු වූ බව දැනගන්නා දියවඩන නිලමේ විසින් නැකතට කරඬුව පාවඩ පිට වඩම්මනු ලබයි. ඔහු දෙපස අත්පන්දම් හා වඩන තල අතු අල්ලන පුද්ගලයෝ ඔවුන්ගේ රාජකාරිය කරමින් ගමන් කරති. අවසාන වෙඩි මුරයත් සමඟ පෙරහර ගමන් අරඹයි. ප්‍රධාන දොරටුව ඉදිරියේදී දියවඩන නිලමේට සමන්පිච්ච මල් මාලාවක් පලඳවයි. පෙරහර සඳහා කසකරුවෝ, ගිනිබෝලකරුවෝ කොඩිගෙන යන්නෝ, පෙරමුණේ රාල, හේවිසි වාදකයෝ, ගජනායක නිලමේ, ඇත්තු, නැට්ටුවෝ, බෙරවාදකයෝ, කාරිය කෝරාලලා, කවිකාර මඩුවේ ශිල්පීහු, දළදා කරඬුව රැගත් ඇතා, වෙස් නැට්ටුවෝ සහ දියවඩන නිලමේ සහභාගි වෙති.

* දවල් පෙරහර

රන්දෝලි පෙරහර අවසන් වී දිය කැපීම සිදු කරනු ලබයි. දේවාල පෙරහර එදින දහවල් පෙරහරේදී මාලිගාවට ගමන් කරයි. පසුව මාලිගාව වටා තෙවරක් පැදකුණු කොට පෙරහර අවසන් කරයි.

* සතර මහා දේවාල

ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇති පුරාණ දේවාල හතර “සතර මහා දේවාල” ලෙස හඳුන්වයි. නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන දෙවියන් හතරදෙනා වෙනුවෙන් මෙම දේවාල ඉදිකර ඇත. පත්තිනි දේවාලය හැර ඉතිරි දේවාල තුන සෙංකඩගල රාජකීය පරිශ්‍රයේ පිහිටා ඇත. ශ්‍රී දළදා මාලිගාවේ සතර මංගල්‍යයේදී මෙම සිව් මහා දේවාල වැදගත් වේ. 1753 වර්ෂයෙන් පසු කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවසේ සිට වර්තමානය දක්වා සෙංකඩගල පෙරහර මංගල්‍යය දළදා පෙරහර පෙරටු කොටගෙන මෙම දේවාල පෙරහරේ ගමන් ගනී.

* පෙරහරට එකතුවන අංග

කසකරුවන්

බෞද්ධ කොඩිකරුවෝ

පළාත් කොඩිකරුවෝ

අසිපත්ධාරීන්

ගිනිබෝලකරුවෝ

පෙරමුණේ රාල

පනික්කියන්

ගජනායක නිලමේ

කවිකාර මඩුව

දියවඩන නිලමේ

මඟුල් බෙරකරුවෝ

ඇත් පන්ති

පොල්මල් නැට්ටුවෝ

හොරණෑකරුවෝ

තම්මැට්ටම්කරුවෝ

උඩරට වෙස් නැටුම්

විවිධ නැටුම්

මංගල හස්තියා

දෑලේ ඇතුන්

සතර මහා දේවාලවල පෙරහරවල්

* කප් සිටුවීම

මෙය පළමු චාරිත්‍රයයි. දළදා මාලිගාවේ නැකැත් මොහොට්ටාල විසින් නියම කරන ලද සුබ මොහොතින් කප් සිටුවීමෙන් පෙරහර ආරම්භ වේ. කප් සිටුවීම සිදු කරන්නේ මෙසේ ය. සතර දේවාලයෙන් පිරිසක් ඇසළ මස අමාවක දිනට, දින කිහිපයකට පෙර අලුත්නුවර දේවාල භූමියෙන් හෝ ඊට තදාසන්න උචිත දේවාල බිමකින් වියත් තුනක වට ප්‍රමාණයකින් සමන්විත පල නොදැරී නෑඹුල් කොස් ගසක් තෝරාගනු ලබයි. එම කොස් ගසට පුද පූජා පවත්වනු ලබයි. එහි අරක්ගත් දෙවියෙක් වේ නම් ඉවත්ව යන ලෙස ආයාචනා කොට ගස කපනු ලබයි. එහි කඳෙන් රියන බැගින් දිගැති කොටස් හතරක් කපාගෙන දේවාල සතරට බෙදා පෙරහරෙන් ගෙන ගොස් දේවාල භූමියෙහි සිටුවයි.

* අවසන් මහා පෙරහර

ඇසළ පෙරහරේ අවසාන පෙරහර වන්නේ මහා රන්දෝලි පෙරහරයි. ඇසළ පෙරහරේ සියලුම පෙරහර අතරින් මෙය විශිෂ්ට වූ පෙරහරකි. මෙය මල්මාල සහ අලංකාර ඇඳුම්වලින් සැරසී සිටින බෙර වාදකයන් සහ නිලමේවරුන්ගෙන් සමන්විත වේ. මෙහි ප්‍රධාන අංගයක් වන්නේ දියවඩන නිලමේ ආභරණ සහිතව තේජාන්විත ඇඳුමකින් සැරසී සිටීමයි.

* දිය කැපීම

ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසාන චාරිත්‍රය වනුයේ දිය කැපීමයි. එහි පුරාණ චාරිත්‍රය සිදු වන්නේ ගැටඹේ දියකපන ගංතොට හිදී ය. අවසන් රන්දෝලි මහ පෙරහර වීදි සංචාරය කිරීමෙන් පසු සදාතනික කරඬුව පෙරහරින් අස්ගිරිය විහාරස්ථානයේ තැන්පත් කරනු ලබයි. අනතුරුව සිව් මහා දේවාල පෙරහර සිය දේවාල වෙත ගොස් දේව පූජා සිදු කිරීමෙන් පසු මහ පෙරහරින් ගැටඹේ දියකපන ගංතොට වෙත වැඩම කරවනු ලබයි.

චතුරි ලක්ෂිකා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department