පුතේ දුවේ, අපේ සංස්කෘතියට ආවේණික වූ කෙම් ක්‍රම තියෙනවා. ජනතාව අතර මේ පවතින කෙම් ක්‍රම පිළිබඳ කුඩා කාලයේ සිට ඔබ හඳුනා ගැනීම වැදගත් වෙනවා. ඉතින් දුවේ පුතේ, ඔබ පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවකු නම්, මේ කෙම් ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඉතින් දුවේ පුතේ, මේ කෙම් ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබා ගන්න මේ ලිපිය ඔබට ප්‍රයෝජනවත් වේවි.
කෙම් ක්‍රම සිදු කරනු ලබන විශේෂිත දින ද පවතිනවා. දේවාකර්ෂණය බහුලව ලැබෙන කෙම්මුර දවස් සේ සලකන බදාදා සහ සෙනසුරාදා දින මේ සඳහා යෝග්‍ය බව අතීතයේ සිට විශ්වාස කරනවා. කෙම් ක්‍රම සඳහා භාවිත කරනු ලබන්නේ 3, 5, 7, 9 වැනි ඔත්තේ සංඛ්‍යාවන් ය. කුඩා දරුවන් සඳහා සිදු කරනු ලබන කෙම් ක්‍රම, කෘෂි කර්මාන්තය හා බැඳී කෙම් ක්‍රම, එදිනෙදා ජීවිතයේදී භාවිත කරනු ලබන කෙම් ක්‍රම, විවිධ රෝග සඳහා භාවිත කෙම් ක්‍රම වශයෙන් කෙම් ක්‍රම බොහොමයක් ජන සමාජයේ පවතිනවා.
කුඩා දරුවන් සඳහා භාවිත කෙම් ක්‍රම කීපයක් විමසීමේදී අලුත උපන් බිලිඳකු සිටින නිවෙසක “බාලගිරි දෝෂය අද නොවේ හෙට” ලෙස දොරෙහි හෝ නිවෙසෙහි දරුවා සිටින කිනම් හෝ ස්ථානයක ලියා තිබෙනවා ඔබ දැක තිබේ ද? එයින් අපේක්ෂා කරනුයේ නිවෙසට පැමිණෙන පිරිසගේ අවධානය ඒ වෙත යොමු කිරීමයි. එසේම කුඩා දරුවාගේ නළලෙහි මැද දරුවාගේ ඇසෙහි කළු බෝලයට වඩා විශාල කළු පාටින් තිලකයක් තැබීමෙන් දරුවාගේ ඇස්වහ, කටවහ දුරු කිරීම අපේක්ෂා කරයි. කිරි දරුවන් හඬන විට දකුණු අතෙහි වෙදැඟිල්ලෙන් දරුවාගේ නළලෙහි කළු තිලකයක් තැබීම සිදු කරනු ලබනවා. එමගින් දරුවාගේ හැඬීම නතර වන බව ජන විශ්වාසයයි.
කෘෂි කර්මාන්තය හා බැඳී කෙම් ක්‍රම විමසීමේදී වී වගාව ආශ්‍රිතව කුඹුරෙහි කුරුලු ආසන සිටවනු ඔබ දැක තිබෙනවා ද? ගොයම කිරි වදින කාලයට දළඹුවන්ගෙන් හා මැස්සන්ගෙන් බොහෝ කරදර සිදු වෙනවා. එවැනි අවස්ථාවලදී කුඹුරට කුරුල්ලන් ගෙන්වා ගැනීම සඳහා අතීත ජනයා විවිධ කෙම් ක්‍රම භාවිත කළා. පොල් ලෙලි සිටවීම, පොල් පිටි ගැසීම, කුඹුරට අළු ගැසීම, මීවද කෙම් ක්‍රම, කුඹුරෙහි බත් ගුළි තැබීම ඉන් කිහිපයකි. මෙමඟින් කුරුල්ලන් කුඹුරට පැමිණ එහි සිටින මැස්සන් හා දළඹුවන් ආහාරයට ගනු ලබනවා.
එදිනෙදා ජීවිතයේදී භාවිත කෙම් ක්‍රම අතර විවාහයකදී පෝරුව
වටා සහල් අතුරා ඇති අයුරු ඔබ දැක තිබේද? ඉන් විවාහයට ආරක්ෂාවක් ලැබෙන බව ජනයා විශ්වාස කරනවා. ඔබ මෙරුවන් දැක තිබෙනවා නේද? රාත්‍රී කාලයට ආලෝකය සොයා ඔවුන් විශාල ප්‍රමාණයක් ගෙට ඇතුළු වෙනවා. එවැනි අවස්ථාවලදී ඔබ ඔවුන්ගේ නම කිවහොත් එම මෙරුවන් ප්‍රමාණය තවදුරටත් වැඩි වන බව පැරැණි මතයකි. මෙනිසා ඔවුන් මීට කෙම් ක්‍රමයක් ලෙස කතා නොකර ගොස් කොළ අත්තක් කඩා පිටි අතට ගෙන නිවසෙහි එල්ලීම සිදු කරනවා. එයින් මෙරුවන් ගෙට නොයන බව පැවසෙයි. මැසි කරදරයට ද කතා නොකර මැසි තෙල් ඉසීම මඟින් මැස්සන් ඉවත් වන බව ජනයා පිළිගනු ලබනවා.
අපට එදිනෙදා ජීවිතයේදී විවිධ රෝගවලට මුහුණ පෑමට සිදු වෙනවා. ඇසෙහි නගනයක් ආ විට කතා නොකර කළයකට ලුණු කැටයක් දැමීම මඟින් හෝ තුත්තිරි ගසේ ඉස්ම ද කතා නොකර එහි ගෑමෙන් එය සුව වන බව විශ්වාස කරයි. එසේම ඉක්කාවක් සෑදුණු විටදී එම පුද්ගලයා එකවරටම බියට පත් කළ විට එම ඉක්කාව නතර වන බව ද පිළිගනියි. දත් පණුවන් කෑම සඳහා කතා නොකර ගම්මිරිස් ඇට තුනකට උණු වතුර බින්දු තුනක් දමා තළා අදාළ දත මුල තැබීමෙන් එය සුව වන බව විශ්වාස කරයි.
නිර්මාණි ගුණසේන