Home » Blog »  සෑම දරුවකුටම අපි ආදරය බෙදමු

 සෑම දරුවකුටම අපි ආදරය බෙදමු

වා/ කිරි/මුතුගල කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති සංජීව විතානගේ

by thanushika
0 comment

දරුවා සුන්දරයි. ඒ සුන්දර වස්තුව රැක ගැනීම අපේ යුතුකමයි. මලක් පිපෙන විට ලෝකයට සුවඳ හමනවා. ඒ සුවඳ නිසා මුළු ලෝකයම පිපෙනවා. දරුවකු කියන්නෙත් අන්න ඒ වගේ කෙනෙක්. අද අපට වා/ කිරි/මුතුගල කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති සංජීව විතානගේ මහතා කියන්න යන කාර්යය පිළිබඳ අපි විමසා බලමු.

දරුවා ප්‍රාථමික අධ්‍යාපනයේ සිටම මනා ලෙස හැඩ ගැස්විය යුතුයි. එසේ නොකළහොත් මුළු සමාජයටම ඇති වන්නේ ප්‍රශ්නයක්. බොහෝ දරුවන් සමාජ පිළිල බවට පත්වෙන්නේ ඒ දරුවන් මූලික අවධියේදී ගොඩ නොනැඟූ නිසායි. ක්‍රියාකාරී දරුවකු නිර්මාණය කිරීම සෑම පාසලක වගකීමක්. ක්‍රියාකාරී දරුවකු නිර්මාණය කිරීමට නම් ඒ දරුවාට නිදහසේ වැඩ කිරීමට ඉඩ සැලසිය යුතුයි. මම නම් දරුවන්ට දඬුවම් කිරීමට කැමැති නැහැ. බොහෝවිට දරුවන්ට මම ආදරයෙන් කරුණාවෙන් තමයි බොහෝ දේවල් කියලා දෙන්නේ. එහෙම කියලා දුන්නාම ඒ අයගේ මනසේ බොහෝ දේවල් රැඳීලා තියෙනවා. ඒ වගේම ඒ අයගේ හිතේ ගුරුවරු පිළිබඳ ආදරයක් ගෞරවයක් ඇති වෙනවා. ඒක ඉතාමත් වැදගත් වෙනවා. දරුවන්ගෙන් ආදරය කරුණාව බලෙන් ලබා ගන්න බැහැ. ඒ නිසා දරුවන් අපට ආදරය, කරුණාව ලබා දෙන ආකාරයට අප ක්‍රියා කළ යුතුයි. මම ඒ නිසාම වේවැල ඉවත් කරලා දරුවන්ට ආදරයෙන් කරුණාවෙන් කතා කරලා වැඩ කරන්න පටන් ගත්තා. ඒ වගේම පුළුවන් ආකාරයට ඒ අයගේ දක්ෂතා එළියට අරගන්න වැඩ කරන වැඩපිළිවෙළක් අප සූදානම් කළා. ඒ තත්ත්වය පාදක කරගෙන මේ වන විටත් පාසලේ දරුවන්ගේ ගීත ගායන හැකියා එළි දක්වන අයුරින් වැඩපිළිවෙළක් සකස් කරලායි තියෙන්නේ. ඒ ගැන මව්පියන් මෙන්ම ගුරුවරුන් ද සතුටට පත් වෙනවා”

” ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ලබා දෙන්නත් අප වැඩ පිළිවෙළක් සකස් කරලායි තියෙන්නේ. ඒ අනුව එළිමහනේ ඇති ගස් කොළන් හඳුනාගනිමින් විෂය කරුණු කියා දීමේ වැඩ පිළිවෙළක් ද මේ වනවිට ක්‍රියාත්මක වෙනවා. එයින් දරුවන් විශාල පුහුණුවක් ලබනවා. අපේ පාසලේ මේ වන විටත් සෙල්ලම් මිදුලක් හදමින් යනවා. ඒක දරුවන්ගේ ප්‍රායෝගික අධ්‍යාපනයට ගොඩක් වටිනවා.”

” වර්තමානයේ මම දකින තවත් දෙයක් තමයි අම්මලා තාත්තලා ළමයින්ට වගකීම් දරන්න නොදීම. ඒ කියන්නේ පාසලට එනවිට දරුවන්ගේ බෝතලය, බෑගය, සෑම දෙයක්ම අරගෙන එන්නේ මව්පියන්. ඒ අය දරුවන්ට වගකීම් දරන්න දෙන්නේ නැහැ. ඒ නිසා දරුවන් කම්මැළි වෙනවා. ඒක දරුවන්ට කරන විශාල හානියක්. ඇත්තටම මම ඉල්ලා සිටිනවා. මේ වගේ දේවල් කරන්න එපා කියලා. අපි කුඩා කාලයේ ඉඳලාම වගකීම් දරන්න දරුවන්ට හුරු කරන්න අවශ්‍යයි. මේ නිසා දරුවන්ට පොඩි පොඩි වැඩ කරන්න දීලා වගකීම් පවරන්න. එතකොට දරුවා අනාගතයේ වගකීම් ගන්න සූදානම් වෙනවා.”

” බොහෝ තරුණ තරුණියන් යුතුකම් ඉටු කරන තුරු බලාගෙන ඉන්නවා. එහෙත් කුඩා කාලයේ සිටම තමන්ගේ වගකීම තමන්ම හිතා බලා ඉටු කරන්න සූදානම් වෙනවා නම් ඒ දරුවන් අනාගතයේදී සාර්ථක වෙනවා. මේ නිසා හිතන පතන දරුවකු නිර්මාණය කිරීම පාසලක වගකීමක්. මම හිතන්නේ අපි ඒ වගකීම නොපිරිහෙළා ඉටු කළ යුතුයි කියලා. සීමිත සම්පත් ප්‍රමාණයක් තමයි අපේ පාසලට තිබෙන්නේ. අපි සීමිත සම්පත් ප්‍රමාණය උපරිම කාර්යක්ෂම අයුරින් යොදාගෙන අපි අපේ පාසල ඉදිරියට ගෙන යා යුතුයි.”

එතුමා අනාගත පරපුර වෙනුවෙන් කිරීමට යන කාර්යය ඒ අයුරින්ම සාර්ථ වේවා යැයි මිහිර වෙතින් අපි සුබ පතමු.

රූපාන්ති බුලත්සිංහල

ඡායාරූප – පාසලේ ඡායාරූප අංශය


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department