Home » Blog » ආපසු එද්දී

ආපසු එද්දී

by thanushika
0 comment

අප උඩහටම නො යාම ගැන කිහිප දෙනෙක් අප සමඟ වැඩි කතා බහකට එක් වුණා නොවේ. කෙසේ වුවද බඩවැටිවල රිංගමින් කජු පුහුලන් කා ඇට ටික ද එකතු කරගෙන එන්නට මම අමතක නොකළෙමි. අප එමින් ගමනේදී රඹුටන් කැඩූ ඉසව්ව ආත්තම්මාගේ නිවෙස සොයා ගෙන යෑමටත් අමතක නොකෙළෙමු.

අප දුටු ඇය, “මේ පුතාල නේද? රඹුටන් කඩල දුන්නේ” යැයි කීවේ ලොඹු කට පුරා සිනාසෙමිනි.

“ආනේ අයියලා අදත් ආව ද? දැන්නම් රඹුටන් ඉවරයි” කීවා ය.

“පුතාලා කොහොමද කෑවෙ? අදත් කාල ද ඔය ඉන්නෙ?”

“කෑවෙ නම් නෑ ආත්තම්මෙ. ඒත් කරදර වෙන්න එපා ආත්තම්මෙ.” අපි කීවෙමු.

“කරදරයක් නෑ පුතා. මායි මේ කෙල්ලයි විතරයි ඉන්නෙ. අපි හෙරලි කැඩුවා. තැම්බුවා. ඇගිටි බත් ටිකකුත් ඇති.

විනාකිරි දැමුව රතු සම්බෝලෙකුත් තියෙනවා. හිටිල්ල පුතුනේ මං ඇරං එඤ්ඤා. එතකම් ඕං වරක තියෙනවා. කාපල්ලා දරුවනේ.”

“හොඳයි ආත්තම්මා” කී අපි නඟා ගෙන ආ වරකා පලුවෙන් කෑල්ලක්ම කා දමන්නට පටන් ගතිමු.

හොඳට රඹ පැහැ ගැන්වී ඉදී තිබුණා. එය රසයෙන් ද අනූන ය.

“පුතේ උඹලා ගෙදර යන ගමන හින්දා මේ හෙරලි පීරිසිය කාපල්ලා.”

ඇය අපට කීවාය. මදි පාඩු වුණාද අපි ඒවා ගිල දැමීමු. අප ගෙදරට ගෙනයෑමට කඩා ගත් බැදි පේර හා කටු අනෝදා ද එහි සිටි නංගීට ද කිහිපයක් දුනිමු. ඉන් අනතුරුව ඇයගෙන් සමුගෙන අපි ගෙවල් බලා ඒමට පිටත් වුණෙමු.

ඒ එන අතරමඟදී විමලේ ගං ඉවුරේ ගහකට නැඟී අංකෙන්ද ගෙඩි කැඩුවේ ය. ඒවා රසවත් මෙන්ම සුවඳින් ද යුක්ත වූවාය. එක් වයසක මනුස්සයෙක් අපට හදි ගැහුණේ ගං ඉවුරේදී ය.

“මා පුතා උඹලා මේ කොහා?”

“මුත්තණ්ඩි අපි ගඟ ඉහත්තාව බලන්න ගියා. මේ ගෙදර යන ගමන්.” සුගතේ කීවේ ය.

“මේ හරිය නම් පුතා ඒ තරම් ගැවසීමට හොඳ ප්‍රදේශයක් නොවේ. ඔය දරුවෝ බඩ වැටිවල රිංගන්න යන්න එපා. නුගේආන කියන්නේ මේ ඉසව්ව තමයි.

ඈත ගම්වල මිනිසුනුත් මේ නුගේආනට එනවා. ඒ එන්නේ බාරහාර වීමටයි. මේකෙ තියෙනවා පත නුග ගස්. උඩ ඉඳලාම පහළට ලොකු මුල්. රෑසින්ගේ හඬ. කන්බීරි කරවනවා. බොහොම පේ වෙලා ඕන මහනුගේ ළඟට යන්න නම්.

පලතුරු, කොස්, දෙල් එමටයි. කවුරුවත් කඩන්නේවත් කන්නෙවත් නෑ” හෙතෙම කීවේය. “පුතාල ගෙවල්වලට යන්න පරිස්සමෙන්. මේකෙ තියෙනවා හොල්මන් කන්දක්. ගඟ දිගේම යන්න දරුවෝ. මෙහෙ හරිම හාස්කම්”

“ඉතිං මුත්තා මේකෙද පදිංචිය?” “නෑ……….නෑ……..අපෝ නෑ. මං මේ මගේ අවනඩුවක් දේව සභාවට කියන්න ආපු දුප්පත් මිනිහෙක් දරුවා.”

“අපි තව විස්තර ටිකක් දැනගමු” කරුණෙ කීවේ ය.

“ඔව් ඒක හොඳයි.” අපි අනුමත කළෙමු.

“අපි ආසයි මුත්තණ්ඩි මේ පළාත ගැන දැන ගන්න. අපට ඒ ගැන කියා දෙන්න පුළුවන්ද? ……..ඉතිං” සුගතේ ඉදිරිපත් විය.

“උඹලට පරමාදයක් නැත්නම් කියන්න ඇහැකි. මේ හරිය දෙවියන්ගේත් යක්ෂයින්ගේත් අඩවිය. ඔය ළමෝ දවල්ට කෑම කටක් කාල ද?”

“ඔව්………ඔව්” අපි එකවරම කීවෙමු. “ඔය උඩහ ගමක ආත්තම්මා කෙනෙක් අපට කන්න දුන්නා.”

“එහෙනම් කාරි නෑ. නැතිනම් මේ බය හිතෙන කතා අහන්න හොඳ නෑ. කලන්තෙ දාල වැටුණොත් ආයෙ නැගිට්ටනවා බොරු.”

“එහෙමද මුත්තණ්ඩී?” . මද්දුවා ඇසීය.

“නැතුං. උඹලට මං බොරු පූචානම් දොඩනවා නොවෙයි ” හෙතෙම කීවේ ය.

“අපි එහෙම හිතුවෙ නෑ…”

“මේ ………බොරු කයිවාරු කාරයෙක් ද කොහෙද”

“කරුණේ හෙමිහිට කණට කෙඳිරුවේය.

දැන් දේව සභාවට ඔබගේ ඇති අවනඩුව ගැන කීවද ඉතිං?” සුගතේ ඇසුවේ ය.

“කියෙව්වා………. කියෙව්වා…. තඹ කාසි දෙකකුත් පඬුරුත් ගැට ගැහුවා. යාතිකා කෙරුවා. පැපොල් පලුවේ පහනකුත් පත්තු කරලා මහනුගේ දේවතාවුන් වහන්සේට නමස්කාර කොළා. ආයෙ ඉතිං දෙකක් නෑ. මගේ වැස්සී ගැන හෝඩුවාවක් ගෙදර යනකොට ලැබිලා තියේවි.” හෙතෙම කීවේය.

“දැන් මුත්තා අපි දැකලද මේ ඉසව්වට ගෑටුවෙ?”

“අනේ ඔව්. නැතිනම් මං ආපු වැඩේ කොරලා ආපහු යනවා. නුඹලා නිසා තමයි ආවේ?”

ටික වේලාවකින් ඒ කැලේ අස්සෙන් දිඩිං……….දිඩිං… යන හඬින් මොනවාදෝ වැටෙනවා වගේ හඬක් ඇසුණි. ඔහුගේ අවධානයට ඒ හඬ අසුව ඇති බව අපට වැටහුණි.

හේ එයට ඇහුම්කන් දුන්නේ ය.

“පුතා මේකෙ හරියට හොල්මන්. රැයක් දවාලක් නෑ

ඉස්සර මේවයෙ මිනිරන් වළවල් හාරලා තියෙනවා. ඒවයෙ හිරවෙලා හුඟ දෙනෙක් මැරිල තියෙනවා. ඒ මැරිච්ච අයගෙ අවතාර තමා හැම තනැකම පේන්නෙ.

මට විටක් කන්න ඕන. කහට කොළයක් ඇන්න එන්නම්.” කියා හෙතෙම ඇතුළට ගියේ ය.

“උඹලා එන්න එපා. හොල්මන් හැම තැනම මං විජහින් එන්නම්…….”කියා ඔහු ගිය ද ආයේ එළියට ආවේ නැත.

“අපි දෙල් කැඩූ ගහ නේද මේ?” මම ඇසීමි.

“හැබෑ නේන්නම්.” විමලේ එය සනාථ කළේය.

“කෝ……….අපි ඒව කැඩුවනේ. කෑව නේ. අපට මොනවත් වුණේ නෑ.”

“කරුණෙ කීවා වගේ බොරුකාරයෙක්ම තමා. මිනිහ හැදුවේ අපි බය කරලා බොරු කියලා තියෙන දේවල් කඩා වඩා ගෙන යන්න. නැතුව ඔය කියන තරම් ඒවා නැතුව ඇති.

මිනිහ අපි දැකලා නෙවෙයි එන්න ඇත්තෙ ඔය දෙල්ගහ බලන්න. අපි හිටපු නිසා වැඩේ කරගන්න බැරිවුණා. අපට බොරු කියලා මිනිහ මාරුවෙලා ගියා නේද? හොඳින් බැරිනම් නරකින් කියලා මිනිහට හිතෙන්න ඇති.

අපිත් ඒ තරම්ම මෝඩයෝ නෙවෙයි නේ. අර දඩි බිඩි ගාලා වැටෙන්න ඇත්තෙක් මේ කැලේ තියෙන කොස්, පොල්, දෙල් කඩනවා වෙන්නැති. මිනිහ විතරක් නොවෙයි තවත් කණ්ඩායමක් එන්න ඇති.”

රත්නා කහඳගමගේ

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department