Home » Blog » වැරඳුණු දඩයම

වැරඳුණු දඩයම

by thanushika
0 comment

ඔන්න එකමත් එක කාලෙක ලොකු කැලෑවක් තිබුණා. ඒ කැලෑවේ සත්තු ගොඩාක් ජීවත් වුණා. එයාලා හරිම එකතුයි. හැමෝම සමගියෙන් හිටියා. කවුරුවත් කාටවත් කරදරයක් කළේ නෑ. හැමෝම හැමෝටම උදව් කළා. එ නිසා මේ කැලෑවේ හැමෝම සතුටෙන් ජීවත් වුණා. ඒ කැලෑවේ නායකයා තමයි සිංහ රාල. කැලෑවේ හැමෝම ආරක්ෂා කළේ අලි රාල හාමි. පණිවිඩ එහාට මෙහාට අරගෙන ගියේ මයිනා හාමි. හා හාමි වගේම මුව රාලත් හැමෝගේම සුව දුක් හොයා බැලුවා. එළුරාලත් හැමෝටම උදව් කළා.

කැලෑවේ ඉන්න හැමෝම එකට එකතු වෙලා මෙහෙම සතුටෙන් ජීවත් වෙන අතරතුර කොටි රාල විතරක් වෙනම ගල්ගුහාවක තනියම ජීවත් වුණා. එයා හරිම නපුරුයි. එයා ගාවට එන ඕනෑම සතෙක් මරලා කන්න ඕනෙ කියන එක දෙපාරක් හිතුවේ නෑ. එනිසාම එයාගේ ගල්ගුහාව තිබෙන පැත්තට කිසිම සතෙක් ගියේ නෑ. ඒකටත් එයා හුඟක් තරහින් හිටියා. එයාගේ ගල්ගුහාව වටේ එයා මරල දාපු සත්තුන්ගේ ඇටකටු විසිරිලා තිබුණා. හැමදාම උදේට නැඟිටලා එයා ඒ ඇටකටු අතර හරි උජාරුවෙන් එහාට මෙහාට ඇවිද්දා.

“මම තමයි මේ කැලේ ඉන්න ශක්තිමත්ම පුද්ගලයා.”

“මම දඩයක්කාරයා. කාටවත් මම වගේ දඩයම් කරන්න බෑ. මේ කැලේ නායකයා වෙන්න ඕනෙ මම.” එයා තනියම කියා ගත්තා.

ටික දවසක් යනකොට මේ කැලෑවට දැඩි නියඟයක් ආවා. සතුන්ට එන්න එන්න ම කෑම මදි වුණා. එයාලා එයාලා ගාව එකතු කරගෙන තිබුණු කෑම බෙදා හදාගෙන කන්න පටන් ගත්තා. අපේ කොටි රාල හාමිටත් දැන් කෑම හිඟයි. එයා එන්න එන්නම දුර්වල වුණා. වෙනදා වගේ දඩයම් කරන්නත් බැරි වුණා.

“මෙහෙම ගියොත් මට බඩගින්නෙ මැරෙන්නයි වෙන්නේ. මට දැන් දඩයම් කරන්නත් හයියක් නෑ. කොහොම හරි උපායක් යොදලා කෑම ටිකක් එකතු කරගන්න ඕනෙ.” කොටි රාල කල්පනා කරන්න පටන් ගත්තා.

එහෙම කල්පනා කර කර ඉන්න කොට එයාට හොඳ උපායක් මතක් වුණා. එයා ගල් ගුහාවෙන් පිටතට ඇවිල්ලා කෙඳීරිගාන්න පටන් ගත්තා. හරියට ලොකු අසනීපයක් හැදිච්ච කෙනෙක් වගේ. එයාගේ ගල්ගුහාව උඩින් පියාඹා ගෙන ගිය මයින හාමි මේක දැක්කා.

“අපොයි අර කෙඳීරි ගගා ඉන්නේ නපුරු කොටි හාමි නේද? කරදරයක් වෙලා වගේ.චුට්ටක් බලන්න ඕනෙ විපරම් කරලා.” මයින හාමි බයෙන් බයෙන් කොටි රාලහාමි කිට්ටුවට ගියා.

මයිනහාමිව දැකපු කොටි රාල තව හයියෙන් කෙඳීරි ගාන්න පටන් ගත්තා.

“අනේ මට හරිම අමාරුයි මට උදව් කරන්න. මං මැරෙන්නයි යන්නේ.” කොටි රාල අමාරුවෙන් කිව්වා.

“ඇයි මොකද කොටි රාල වෙලා තියෙන්නේ? මොකක්ද ඔයාට තියෙන අසනීපෙ?” මයින හාමි බයෙන් ඇහුවා.

“අනේ මගේ බඩ හොඳට ම රිදෙනවා. මට හරි ම අමාරුයි.” කොටිරාල කෙඳීරි ගගා උත්තර දුන්නා.

මේක අහල මයින හාමිට හුඟක් දුක හිතුණා.

” කොටිරාල හාමි බය වෙන්න එපා. ඉන්න මම ගිහිල්ලා අනිත් අයට පණිවිඩය කියන්නම්. අපි ආපහු ඉක්මනින් බෙහෙත් අරගෙන එන්නම්.” එහෙම කියලා මයින හාමි වේගයෙන් කැලේ ඇතුළට පියාඹාගෙන ගියා. එයාට ඉස්සෙල්ලාම හම්බවුණේ හා හාමිව.

“මොකද මොකද මයින හාමි මේ හති දාගෙන? කාටට හරි කරදරයක්වත්ද?” හා හාමි ඇහුවා.

“අනේ බලන්න හා හාමි අපේ කොටි රාල හාමිට හුඟාක් අමාරුයි. බඩේ අමාරුවක් හැදිලා. අපි කට්ටිය එකතුවෙලා බෙහෙත් ටිකක් අරගෙන එයාව බලන්න යමුද?” මයින හාමි යෝජනා කළා.

“හරි හරි මයින හාමි කලබල නැතුව ඉන්නකෝ. අපි අනෙක් අයටත් කියලා සේරම එකතු වෙලා කොටි රාලහාමි බලන්න යමු.” මයින හාමි, හා හාමි සහ අනෙක් අය හොයාගෙන ගියා.

“යාළුවනේ යාළුවනේ මේ අහන්නකෝ. අපේ කොටිරාල හාමිට හොඳටම අමාරුයිලු. අපි වලස් මාමාට කියලා බෙහෙත් ටිකක් හදාගෙන එයාව බලන්න යමුද?” හා හාමි අනෙක් අයට යෝජනා කළා.

හැමෝම ඒ යෝජනාවට කැමැති වුණා. එයාලා සේරම එකතුවෙලා වලස් හාමි හොයාගෙන ගියා. ඒ කොටි රාල හාමිගේ බඩේ අමාරුවට බෙහෙතක් හදාගන්න. කට්ටියම තමන්ගේ ගුහාව දිහාට එනවා වලස් රාළ දැක්කා.

“මොකද මේ කවදාවත් නැතුව කට්ටියම අද මාව බලන්න ඇවිල්ලා? ” වළස් රාල ඇහුවා.

“අනේ වෙද මාමේ අපට බඩේ අමාරුවට බෙහෙතක් හදලා දෙන්න.” මුවරාල ඉල්ලුවා.

“බඩේ අමාරුවට බෙහෙතක් …. කාටද පැංචෝ බෙහෙත්. කෝ ලෙඩා එක්ක ආවනම් බලන්න මෙහාට.” වලස් රාල කිව්වා.

“අනේ වලස් රාල ලෙඩා නං අපිත් එක්ක ආවේ නෑ. අපි මේ ලෙඩාව බලන්න යන්නයි හදන්නේ.” හා හාමි උත්තර දුන්නා.

“ලෙඩා එක්ක ආවේ නෑ? ඇයි ලෙඩාට එච්චරම අමාරුද? කවුද දැන් ඔය කියන ලෙඩා?” වලස් හාමි සැකෙන් ඇහුවා.

“අපේ මේ කොටි රාල හාමි තමයි ලෙඩා. එයාට හුඟක් අමාරුයි. අපි මේ බෙහෙත් ටිකක් හදාගෙන එයාව බලන්න යන්න කියලයි සූදානම් වුණෙ” එළු රාල උත්තර දුන්නා.

ඒක අහපු වලස්හාමි කල්පනා කරන්න පටන් ගත්තා.

“මේ කොටි රාල කියන්නේ විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් නම් නෙවෙයි. මේ අහිංසක සත්තු රවට්ටලා මරාගෙන කන්න යොදා ගත්තු උපායක් වෙන්නත් පුළුවන්. කෝකටත් අපි බලමුකෝ”

“හා හොඳයි. ඉන්න බලන්න මම ඉක්මනින් බෙහෙතක් හදලා දෙන්නම්. හැබැයි මේ බෙහෙත අරගෙන ඔයාලත් තනියම කොටි රාලහාමි බලන්න යන්න එපා. මායි සිංහරාලයි දෙන්නත් එනවා ඔයාලත් එක්ක යන්න. දන්නවනේ කොටිරාල හාමිගේ හැටි. ඒ නිසා පරිස්සම් වෙන එක අපි හැමෝටම හොඳයි.” වලස් රාල උපදෙස් දුන්නා.

ඒ උපදෙස් පිළිගත් සත්තු හැමෝම වලස් රාල හාමි හදලා දීපු බෙහෙතුත් අරගෙන සිංහ රාලයි වලස් රාලයි එක්ක කොටි හාමි ජීවත් වෙන ගල් ගුහාවට යන්න පටන් ගත්තා. ගල් ගුහාව කිට්ටුවට ගියපු සිංහ රාලයි වලස් හාමියි කැලේ ඇතුලේ හැංගුණා.

“ඔයාලා බෙහෙත් ටිකත් අරගෙන කොටි රාලහාමි ගාවට යන්න. අපි හැංගිලා බලන් ඉන්නම්. කවුරුවත් බය වෙන්න එපා. අපි ඇවිත් ඉන්නවා කියලා කොටි රාලහාමිට කියන්නත් එපා.” සිංහ රාල උපදෙස් දුන්නා.

ඔන්න ඉතින් හැමෝම කෙඳීරි ගගා අමාරුවෙන් හිටපු කොටිරාල හාමි ගාවට කිට්ටු වුණා. කැලේ ඉන්න සත්තු ගොඩක් තමන්ව බලන්න එනවා දැකපු කොටි රාල හාමිට හරිම සතුටුයි. “මට මාස ගානකට ඇතිවෙන්න ඔන්න කෑම ළඟටම ලැබිලා. දැන් ඉතින් තියෙන්නෙ මේ සේරම මරාගෙන කන්න. ආයේ බඩගින්නේ ඉන්න ඕනෙ නෑ” එහෙම හිතපු කොටි රාල හාමි එකපාරටම හා හාමිගේ ඇඟට පැන්නා. දවස් ගානක් බඩගින්නේ දුර්වල වෙලා හිටපු හින්දා එක පාරටම කොටි රාල හාමිට හා හාමිව අල්ලගන්න බැරි වුණා. කට්ටියට හිතාගන්න බැරි වුණා වුණේ මොකක්ද කියලා. හැමෝම කලබල වෙලා කෑ ගහන්න පටන් ගත්තා. මේ අතර හැංගිලා හිටපු වලස් රාලයි සිංහ රාලයි ඇවිත් කොටි රාලව අල්ල ගත්තා.

“ඈ බොල කපටි කොටි රාල හැදුවේ බොරු ලෙඩ පෙන්නලා මේ අහිංසක සත්තු ටික මරාගෙන කන්න නේද? තමන්ට අනුකම්පා කරලා උදව් කරන්න ආපු අයට කරන්න හදපු මේ විනාශයට කවදාවත් සමාවක් නම් දෙන්නේ නෑ. ආයේ කවදාවත් මේ ගුහාවෙන් එළියට එන්න බෑ. කිසිම සතෙක් එක්ක කතා කරන්නත් බෑ. ඒක තමයි දෙන දඬුවම.” එහෙම කියපු සිංහරාල අනෙක් අයත් එක්ක කැලෑව ඇතුළට ගියා.

එදා ඉඳලා කවදාවත් කිසිම කෙනෙක් කොටි රාල හාමිත් එක්ක කතාවත් කළේ නෑ. එයා තනියම ජීවත් වෙලා දුක් විඳලා මැරිලා ගියා. බලන්න පුංචි යාළුවනේ අනෙක් අය රවට්ටලා නපුරු වැඩ කරන්න ගියාම අවසානේ අමාරුවේ වැටෙන්නේ අපිමයි. එනිසා අපි හැමෝම අනෙක් අයත් එක්ක සුහදශීලිව සහෝදරත්වයෙන් ඉන්න පුරුදු වෙමු.

ටී.ඩබ්ලිව් මෙතුලි උමල්ජා

5 ශ්‍රේණිය

මො/මල්වත්තාවල ප්‍රාථමික විදුහල


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department