Home » Blog » කොළ වර්ග කෑවත් ජන ජීවිතයට හානිදායක සත්තු

කොළ වර්ග කෑවත් ජන ජීවිතයට හානිදායක සත්තු

by thanushika
0 comments

පුංචි දූලා පුතාලා පරිසරයට ආදරය කරනවා වගේම ශාකවලටත් ආදරය කරනවා නේද ? පරිසරය අලංකාර වන්නේ විවිධ ශාක වර්ගවලින් නේ. පරිසරය අලංකාර කරන මේ ශාක විවිධ සතුන් විසින් විනාශකර දමනවා. ඔවුන්ගේ ආහාර සපයා ගැනීමට, වාසස්ථාන සඳහා මෙම ශාක ලබා ගන්නවා. ඒ වගේම ඇතැම් සතුන්ගෙන් මිනිසාට හානි ඇති වෙනවා. එනිසාම මෙවර මිහිර පෝස්ටරය සැකසෙන්නේ කොළ වර්ග කන එහෙත් මිනිසාට අනතුරු ඇති සතුන්ගෙනි.

ගෝරිල්ලා

ගෝරිල්ලා ශාක භක්ෂක සතෙකි. මෙම සත්ත්වයා ගොඩබිමේ වාසය කරන වානරයෙකි. ඔවුහු සමකය අසාන්න ප්‍රදේශවල සහ අප්‍රිකාවේ නිවර්තන වනාන්තරවල වාසය කරති. ගෝරිල්ලන් වර්ග දෙකකින් සමන්විත ය. එනම් නැඟෙනහිර ප්‍රදේශයේ ගෝරිල්ලන් සහ බටහිර ප්‍රදේශයේ ගෝරිල්ලන් ලෙසිනි. මෙම වර්ග දෙකම මීටර් 5 සිට 1.8ක් පමණ උසින් යුක්ත වේ. ගෝරිල්ලා කොළ වර්ග සහ පලතුරු වර්ග ආහාරයට ගනියි. ඔවුන්ගේ මූලික ආහාරයක් වන්නේ උණ ශාකයයි. පෙඳ, පාසි, ලයිකන වැනි ශාක මෙන්ම අපූරු හැඩයකින් යුත් සෙනෙකා ශාක ද, ලොබිලියා ශාකය ද ආහාරයට ගනියි. මිනිස්සු මොවුන්ගේ සමීපයට ගියවිට ඇතැම් අවස්ථාවල හානි කිරීමට ද මොවුහු පෙලඹෙති.

හිපපොටේමස්

හිපපොටේමස් දිවා කාලය ගත කරනු ලබන්නේ ගංගාවක, විලක හෝ වැවක පතුලේ ගිලී සිටීමෙන් ය. හිපපොටේමස් සවස් කාලයේ අඳුර වැටීමත් සමඟ ආහාර සොයමින් ගොඩබිම වෙත පැමිණෙයි. හිපපොටේමස්ගේ ප්‍රධාන ආහාරය වන්නේ තණ කොළ වර්ගයි. මෙම හිපෝ පවුලේ සාමාජිකයන් දෙදෙනෙක් සිටිති. එනම් හිපෝ සහ ප්‍රමාණයෙන් කුඩා පිග්මි හිපෝ යන වර්ග දෙකයි. මේ හිපෝ විශේෂයන් දෙකම දකින්න ලැබෙන්නේ සමකයට ආසන්නයේ අප්‍රි‍කානු රටවලයි. මෙම සත්තු කෑමට කෑදර වේ. විශාල වශයෙන් තණකොළ බුදීමේ හැකියාව මෙම සතාට තිබේ. මෙම සතුන් රංචු වශයෙන් කෑම සොයා යනවිට තණබිම මෙන්ම වගා බිම් ද විනාශ වේ. හිපපොටේමස් නිසා ඇතැම් අවස්ථාවල මිනිස් ජීවිතවලට ද හානි සිදු වේ.

රිළවා

රිළවා සර්ව භක්ෂක සතෙකි. මෙම සත්ත්වයා රංචු වශයෙන් වාසය කරයි. සමහර රිළවුන් වෘක්ෂ මත ජීවත්වන අතර, තවත් සමහරු සැවානා මත ජීවත් වෙති. රිළවු පලතුරු, කොළ, බීජ, ගෙඩි, මල්, බිත්තර සහ කුඩා සත්තු ආහාරයට ගනිති. මොවුහු ශාකවල කොළ කඩා දැමීම සහ මල්, ගෙඩි වර්ග ආදිය කඩා දමමින් විනාශ කරති. රිළවා මිනිසුන් සමඟ වාසය කිරීමට පුරුදු වීමත් සමඟම මිනිසා සමඟ සටන්කර ඔවුන් සතුව තිබෙන ආහාර උදුරා කන තත්ත්වයට පත් වී ඇත. ගෙවතුවලට පැමිණෙන රිළවුන් එහි තිබෙන පලතුරු, පොල්, ළපටි ශාක විනාශකර දැමීමට පුරුදු වී තිබේ. රිළවුන් වැඩිම හානියක් සිදු කරන්නේ පොල්වලට ය.

වල් ඌරා

වෙරළබඩ තැනිතලා බිම්වල, කඳුකර ප්‍රදේශයේ, වියළි කලාපයේ ලඳු කැලෑවල සහ තෙත් කලාපීය වනාන්තරවල වල් ඌරා ජීවත් වේ. වල් ඌරා ක්ෂීරපායි සතෙකි. බොහෝ විට වල් ඌරා රංචු ලෙස ජීවත් වේ. මෙම සත්ත්වයා මළකුණු, සර්පයන්, පණුවන්, ශාක වර්ග ආහාරයට ගන්නා සර්වභක්ෂක සත්ත්වයෙකි. ගස්වලින් බිමට පතිත වූ පලතුරු සහ පොළොව හාරා සොයා ගන්නා අල වර්ග ද වල් ඌරාගේ ආහාර අතර ප්‍රධාන තැනක් ගනියි. රාත්‍රියේදී ආහාර සොයා යන විට මිනිසාගේ හේන් වගාවන්, කුඹුරු, වෙනත් වගාවන් සහ ගෙවතුවලට විශාල ලෙස හානි කරන සත්ත්වයකු ලෙස වල් ඌරා සැලකෙයි. මොවුහු ශාකවලට විශාල ලෙස හානි කරති. ඇතැම් අවස්ථාවලදී මිනිස් ජීවිතවලට වල් ඌරෝ හානි කරති.

මොනරා

මොනරා පක්ෂි ලොවේ අලංකාර කුරුල්ලෙකි. මොනරා ලෙස පිරිමි සත්ත්වයා හඳුන්වන අතර, සෙබඩ ලෙස ගැහැනු මොනරා හඳුන්වයි. මොනරා සර්වභක්ෂක සත්ත්වයෙකි. ශාක, මල්පෙති, ධාන්‍ය වර්ග, කෘමීන් සහ උරගයන් වැනි සතුන් ආහාරයට ගනු ලබයි. එමෙන්ම මොනරා වගා හානි ද සිදු කරයි. ශාක පත්‍ර කා දැමීම, පලතුරු සහ එළවළු වැනි දෑ විනාශ කිරීම ද මොනරාගේ ක්‍රියාවකි. කෑම හොයාගෙන උදේ වරුවේත්, ඉර බැසගෙන යන සැන්දෑවටත් පිටත්වෙයි. කුස හොඳීන් පුරවාගත් පසු මොවුන්ගේ ඉතිරි කාලය වැය කරන්නේ පිහාටු පීරිම, වැලි නෑම වැනි කටයුතු වෙනුවෙනි.

දඬු ලේනා

වනාන්තරවල, තෙත් කලාපීය ප්‍රදේශවල සහ වයඹ පළාත්වල දඬු ලේනා වැඩි වශයෙන් ජීවත් වේ. වැඩුණු දඬු ලේනකුගේ ශරීර ප්‍රමාණය සෙන්ටිමීටර් 25ත් සෙන්ටිමීටර් 45ත් අතර වේ. ගැහැනු දඬු ලේනා පිරිමි දඬුලේනාට වඩා තරමක් විශාල වේ. ලෝම තට්ටුවකින් වැසුණු සම සීත කාලයේදී දඬු ලේනාට කාලගුණයට ඔරොත්තු දීමට උදවු වෙයි. ගස් නැඟීමට සහ ගසින් ගසට පැනීමට ශූරයකු වූ දඬුලේනාට උදවු වන ප්‍රධානතම දෙය වන්නේ දිගු, ශක්තිමත් වලිගයයි. පලතුරු, පොල්, ධාන්‍ය වර්ග, ඇතැම් ගස්වල පොතු ආහාරයට ගනු ලබයි. බොහෝවිට දඬු ලේනා පොල් වගාව විනාශ කරයි.

ගොළුබෙල්ලා

ගොළුබෙල්ලා යනු කටු සහිත ගැස්ට්‍රොපොඩ් වර්ගයට අයත් මෙම සත්ත්වයා කම්මැළිකමේ සංකේතය ලෙස ද හඳුන්වයි. ගොළුබෙල්ලාගේ ආරක්ෂාව සඳහා කටුව පිහිටා ඇත. කශේරුකාවක් නොමැති සත්ත්වයෙකි. මෙම සත්ත්වයා ශාක පත්‍ර ආහාරයට ගනු ලබයි. රාත්‍රි කාලයේ ආහාර සෙවීමට පැමිණෙයි. ගොළුබෙල්ලා පත්‍ර කා දමමින් ශාකය දුර්වල කරයි.

දළඹුවා

දළඹුවා යනු ඹ්ඥනඪඤධනබඥපච ගණයේ සාමාජිකයන්ගේ කීට අවධියයි. දළඹුවන්ට මෘදු ශරීරයක් ඇති අතර, වේගයෙන් වර්ධනය විය හැකි ය. දළඹුවන්ට කටු වැනි ශාක කොටස්වලට සමාන කශේරුකා හෝ වර්ධනයන් තිබිය හැකි ය. දළඹුවා ශාක භක්ෂක සතෙකි. දළඹුවෝ පත්‍ර ‘කන යන්ත්‍ර’ ලෙස හඳුන්වනු ලබති. ප්‍රධාන වශයෙන් කොළ ආහාරයට ගැනීමෙන් විශාල හානියක් කිරීමට දළඹුවන්ට හැකියාව තිබේ. එමෙන් දළඹුවෝ ශාක පත්‍රවල යුෂ ද ඌරා බොති.

ඇන්ටිලොප්

 

මෙම සත්ත්ව වර්ගය අප්‍රිකාවේ තැනිතලා හා සැවානා බිම්වල ජීවත් වේ. ඇන්ටිලොප් සත්ත්වයාට වේගයෙන් දිවීමේ

හැකියාව ඇත. බොහෝ සතුන්ට ඉහළට විහිදුණු, පසුපසට ඇඹරී ගිය අං තිබේ. සාමාන්‍යයෙන් ඔවුන්ගේ සම රන්වන්, රතු මිශ්‍ර දුඹුරු, අළු පැහැ ගනියි. හොම්බ පසුපස සුදු හෝ ළා පැහැයකින් යුක්ත වේ. සමහර සතුන්ගේ සිරුරෙහි අලංකාර ඉරි වැටී තිබේ. මෙම සතුන් තණකොළ සහ විවිධ පැළෑටි ආහාරයට ගනියි. රංචු වශයෙන් සිටියදී තණකොළ සහ ශාක පෑගී විනාශ වී යයි.

අලියා

අලියා ගොඩබිම වෙසෙන විශාලතම සත්ත්වයා ය. අලියාගේ කැපී පෙනෙන ශරීරාංගයක් වන්නේ හොඬවැල ය. අලියාගේ ශරීරයේ ඇති අනෙක් විශේෂි අංගයක් වන්නේ කන් යුවළයි. මේ කන් සැකසී ඇත්තේ අවට ඇති ශබ්ද තරංග හැකිතාක් කන් ඇතුළට යොමුවන ලෙසට ය. එනිසා අලියන්ට ඉතා සුළු ශබ්දයක් පවා ඉතා හොඳීන් ඇසීමේ හැකියාව ඇත. එමෙන්ම ශරීර උෂ්ණත්වය පිටකිරීමේදී මෙම කන් වැදගත් කාර්යයක් ඉටු කරයි. අලි නිතරම තම දෙකන්වලින් පවන් සලයි. අලියන් ශාක භක්ෂක වේ. තණකොළ, ගස්වල පොතු, ඉදී වැටුණු පලතුරු වර්ග හා තාල වර්ගයේ ශාක පත්‍ර මොවුන්ගේ ප්‍රියතම ආහාර වේ. හේන් වගා පාළු කරනු ලබයි. වට්ටක්කා, පුහුල්, පැණිකොමඩු වැනි ශාක වර්ග විනාශ කරනු ලබයි.

පැන්ඩා

පැන්ඩා චීනයේ ජීවත් වන වලස් විශේෂයකි. ඇස්, කන්, කකුල් සහ උරහිස් වටා කළු පැල්ලම් සහිත ය. සුදු පැහැති කබායක කළු පැල්ලම් ඇති ලෙසින් පැන්ඩාගේ සිරුර පෙනෙයි. පැන්ඩාගේ සිරුර වටකුරු ය. පැන්ඩා ශාක භක්ෂක සතෙකි. පැන්ඩා උණ සහ උණ රිකිලි ආහාරයට ගනියි. යෝධ පැන්ඩකු උණ රිකිලි කිලෝග්‍රෑම් 9 සිට කිලෝග්‍රෑම් 14 දක්වා ආහාරයට ගනියි. වගා කටයුතුවලට පැන්ඩාගෙන් හානි සිදු වෙයි.

සැකූසුම – චතුරි ලක්ෂිකා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department