සෑම දරුවකුගේම අභ්‍යන්තරයේ සැඟවුණු දක්ෂතාවක් ඇති බව අපට පසක්වනුයේ කාලයක් ගත වීමෙන් පසු ය. මේ දක්ෂතාව කුඩා කාලයේදී සිටම මව්පියන් සහ ගුරුවරුන් හඳුනාගත හොත් එය ජයග්‍රහණයකි. ලොවේ එකෙක් එක් දෙයකට වෙයි සමත යනුවෙන් කියමනක් තිබුණත් ඇතැම් දරුවන් දක්ෂතා දක්වන අංශ කිහිපයක් ඇති බව ඔවුන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලින් මනාව පැහැදිලි වේ. එවැනි දක්ෂ දරුවන් ගැන අත්දැකීම් බහුල විදුහල්පතිනියක් සමඟ කතාබහක් ඇති කරගන්නයි අපේ මේ සූදානම. ඇය කළුතර මියුසියස් විද්‍යාලයේ විදුහල්පති නදීෂා ප්‍රියංගිකා ය. ඉතින් ඇය දරුවන් ගැන කියන කතාව කෙබඳු ද යන්න පිළිබඳ අපි විමසා බලමු.
මම දරුවන් දකින්නේ නොයෙක් ආකාරයේ මල් ලෙසයි. මගේ පාසලෙත් නොයෙක් ආකාරයේ මල් පිපිලා තියෙනවා. මේ මල් පිපෙන්න පටන් ගන්නේ සෑම උදෑසනකමයි. මම ඒ වෙලාවට පාසලේ ගේට්ටුව ළඟට ගිහිල්ලා සෑම මලක්ම පිළිගන්නවා. මම දරුවන්ට ඒ වෙලාවෙදී කියනවා. ආ හරිම ලස්ස පුතෙක්, හරිම ලස්සන දුවෙක්. ඔයාලාට සුබ දවසක් වේවා කියලා. ඒ ගොල්ලොත් මට ඒ වෙලාවට කියනවා. මැඩම් හරිම ලස්සනයි කියලා. සමහර අය මට මල් ගේනවා. තවත් සමහර අය මට ගේට්ටුව ළඟදිම දණ ගහලා වඳීනවා. මම හිතන්නේ විදුහල්පතිනියකගෙයි දරුවන්ගෙයි ඇති දුරස් බව එයින් අයින් වෙනවා කියලා. දරුවකු තේරුම් ගන්න නම් ඒ දරුවාට ගොඩක් සමීප වෙන්න අවශ්‍යයි. ”
” මම උදෙන්ම පාසලට එනවා. මම උදෙන්ම පාසලට පැමිණියාම දරුවන්ටත් උදෙන්ම එන්න වෙනවා. මම හිතන්නේ ක්‍රියාවෙන් ලබා දෙන ආදර්ශය වචනයෙන් කියන කතාවට වඩා බලවත් කියලා. මම හැම දෙයක්ම ප්‍රායෝගිකව කරලා පෙන්වන්න උත්සාහ කරන්නේ ඒ නිසාමයි. අර සුභාෂිතයේ කවියක් තියෙනවා නේ. එක පුන් සඳීන් දුරුවෙයි ලොව ඝන අඳුරු කියලා. ඒත් මම එක දවසක් පුතාලා දුවලාට මෙහෙම කිව්වා. පුතේ දුවේ ඒ කවියා එහෙම කිව්වාට කමක් නැහැ. ඔයා හැමෝම තරු කැට. තරුවලටත් පුළුවන් ලස්සනට දිලිසෙන්න. ඔයගොල්ලො හැම කෙනෙක්ම තරුවක්. ඒ විදිහට සෑම දරුවකුම ශක්තිමත් කරන්න මට ආසයි. මම මේ පාසලට ආව මුල්ම කාලෙ කිව්වේ සෑම දරුවකුම නායකයෙක් කියලා. ඒ කියන්නේ සෑම දරුවකුගේ අභ්‍යන්තරයේ කුමන හෝ දක්ෂතාවක් ඇති පුද්ගලයකු ජීවත් වෙනවා. ගුරුවරු වශයෙන් අපි එය අවබෝධ කරගන්න අවශ්‍යයි. පාසලක් සාර්ථක වන්නේ දරුවාගේ නිපුණතාව හඳුනා ගැනීමෙන් පමණයි. මෙය කිරීමට මම සෑම විටම උත්සාහ දරනවා. පාසලක් කියන්නේ නායකයන් නිර්මාණය කරන ස්ථානයක්. නිවැරැදි ආකාරයට නායකයකු ගොඩනඟා සමාජගත කිරීමෙන් එය සමාජයටත් සම්පතක්. වර්තමානයේ නායකයන් අඩුයි කියලා තමයි මට හිතෙන්නේ. එයට හේතුව කුඩා කාලයේදිම ආකල්ප සංවර්ධනය කරලා නැතිකමයි. මේ පරමාර්ථය පෙරදැරි කරගෙන මම දරුවන් නායකත්වයට හුරු කරන්න උත්සාහ කළා”
” මම මේ පාසලට ආව මුල් කාලයෙදි සෑම දරුවකුම නායකයකු කියන සංකල්පය ඔවුන්ගේ සිතට කාවැදෙන අයුරින් කියා දුන්නා. එයට හේතුව එක එක දරුවන්ට තියෙන්නේ එක එක දක්ෂතා. ඒ දක්ෂතා අප හොඳීන් හඳුනාගන්න අවශ්‍යයි. මගේ පාසලේ දරුවන් හයසිය පහළොවක් ඉන්නවා.
ඒ වගේම ගුරුවරු තිස් තුන්දෙනෙක් ඉන්නවා.පුහුණුව ලබන ගුරුවරු පස්දෙනෙක් ඉන්නවා. මම කියලා තියෙන්නේ සෑම කෙනකුටම දරුවන් හඳුනාගන්න කියලා. අප දරුවන් හඳුනාගැනීමට අපොහොසත් වුණොත්, එයින් දරුවන්ට විතරක් නෙවෙයි පාසලටත් සිදු වන්නේ හානියක්. එනිසා දරුවන් පිළිබඳ අවබෝධ කරගැනීම අපේ වගකීමක්. මෙවර මම ළමයින් 90 දෙනකු ශිෂ්‍ය නායකයන් ලෙස තෝරා පත් කරගන්නවා. මේ පාසලේ වැඩිම ශිෂ්‍ය නායක පිරිසක් පත් වන්නේ මෙවරයි. එයින් පාසලට ලොකු ශක්තියක් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. හෙට පිපෙන මල්වලින් රටට උපරිම සුවඳක් හමා යෑමට සැලැස්වීම මගේ බලාපොරොත්තුවක්.”
ඇගේ ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉටුවේවා යන්න අපි මිහිරෙන් සුබ පතමු.
රූපාන්ති බුලත්සිංහල
ඡායාරූප – පාසලේ ඡායාරූප අංශය