Home » Blog » ගඟ දිගේ ගිය ගමන

ගඟ දිගේ ගිය ගමන

by thanushika
0 comments

 

අපේ නඩේ අනෙක් කණ්ඩායම එනතුරු අප වැලිපරය අයිනේ බක්මී ගසක සෙවණේ ඉඳ ගතිමු. ඔවුහු ද අප අසලට ඇවිත් ඉඳගත්හ.

“අපි නම් සුගතේ රඹුටන් කැඩුවා. ඔන්න උඹලයෙ කොටහත් බෑග් එකේ ඇති. අපට ඉස්සර වෙලා ආපු ඔයගොල්ලන් පහු වුණේ ඇයි?” මම ඇසීමි. “අපිත් නිකම්ම එන්න හොඳ නැති නිසයි රඹුටන් කැඩුවේ.”

අපි වැල්ලෙන් ගං ඉවුරට ගොඩවෙලා ටිකක් ඇතුළට ගියා. ඒ යද්දී පුංචි දෙල් ගහක කට්ටෙට පැසුණු දෙල් තිබුණා. හැබැයි මොකෙක්වත් කටගහල තිබුණෙ නෑ. අත්ත පහත් කරල අපි දෙල් ගෙඩි දෙකක් කැඩුවා. “ඔන්න රොඩ්ඩගෙ බෑග් එකේ ඒවා.” “අපි මෙහෙදින්ම තම්බා ගනිමු” මද්දුවා කීවේ ය.

අපි රොඩ්ඩාගේ බෑගය පෙරළා දෙල් ගෙඩි දෙක ගතිමු. ඒවා ලොකු ය. ටිකක් ලොකු ගල් තුනක් සොයා ගත් අපි වැල්ලේම ලිපක් බැඳ ගෙනා මුට්ටියට දෙල් කපා ගතිමු. වතුරත් දමා එය ලිපේ තැබීමු. විනාඩි පහළොවකින් පමණ මුට්ටියේ තෙල් දැලි රඳවමින් පැසුණ දේවල්වල සුවඳ අවට වාතය හා මුසු විය.

අපි සියලු දෙනාම දෙල් තම්බා ගෙන කෑවෙමු. හිරු අවරට යමින් තිබුණ ද අව් රශ්මිය දරා ගැනීමට අපහසුතාවක් ඇති විය. මඳ වේලාවක් ගං ඉවුරේ බට පඳුරක සෙවණේ වැල්ලේ අපි ඇල වී හස දෙස බලා ගෙන වුණෙමි.

අපි අදට තවත් ගඟ දිගේ උඩහට නොගොසින් මෙතන නතර වීම සුදුසු යැයි තීරණය කළෙමු. තවත් කොලු පැටව් කිහිප දෙනෙක් අප නතර වූ තැනට උඩහින් එකතු වී මොනවා දෝ කරනවා පෙනුණි.

“මේ හරියෙ ගම්මානයක් ඇති. ඒකයි මේ ළමයින් රොත්තක් ඉන්නෙ.” අපි සිතුවෙමු. ‘කරුණෙ අයියා අපිත් යමු ද අර ළමයින් ඉන්න දිහාවට. මම කීවෙමි.

“ඒක තමා මාත් මේ කල්පනා කෙරුවෙ.” ඔහු කීවේ ය. අපේ අදහස අපි අනෙක් අයට ද දැන්වීමු.

“මේක ගම්මානෙකට ආසන්න හරියක් වගේ පේනවා. අපි කවුරුත් එකාවගේ ඉන්නට ඕනෙ. යමු බලන්න කියමින් ළමයින් කෑකෝ ගසමින් වටවී සිටි ඉසව්වට අපි ගියෙමු.

දාවල ගිනියම් වූ අහස ටිකින් ටික නිවෙමින් පැවතුණි. අපි ඔවුන් සිටි තැනට ළං වීමු.

“මල්ලී ඔයාලා කවුද? මොකද මේ කරන්නේ?”

“අපි කවුද කියන්නට කලින් කියන්න ඔයාලා කවුද කියල” අමුඩ කෙටියකින් පමණක් සැරසුණු හැඩිදැඩි පෙනුමක් ඇති කොලු ගැටයා කීවේ ය. අනෙක් අය මෙතෙක් කළ වැඩය නවතා අප දෙස බලා සිටියහ.

මේ ළඟ තියෙන ගම්මානෙ තමා අපි නම්. අපි වළක් හාරනවා. ආත්තම්මලාට වතුර නෑ. මේ තැන් තැන්වල දිය කඩිති තියෙන නිසා ළිඳක් කපන්නයි බැලුවේ. ඒත් වැල්ල කඩාගෙන වැටෙනවා” ඔවුහු කීහ.

“මල්ලී අපි පල්ලෙහා ඉඳලා ගඟ දිගේ ඉහළට ආවෙ අවට බලන්නයි. අද මෙතන නවතින්නයි හිතුවේ” සුගතේ අප ගැන ඔවුන්ට කීවේ ය.

“ඔයාලට ලොකු බැරල් එකක් හෙම හොයා ගන්න බැරි ද….?

“අපෝ ඒක මොකද්ද….? සැමි මාමා ළඟ තියෙනව. ඒ වුණාට දෙන එකක් නෑ…..”

“එහෙමද අපිට කියන්නෙ නැතුව ඉල්ල ගන්න තමයි වෙන්නෙ…..?” විමලේ කියද්දී හැම දෙනාම සිනාසුණහ.

නෑ…. නෑ…. මේ දවස්වල කිතුල් වතුරත් නෑ. මං දැක්කා පිල අයිනේ දරගොඩ උඩත් එකක් තියෙනවා….” කොලු කණ්ඩායමේ නායකයා කීවේ ය.

“අපි ඒක උහාන එමු කියූ ඔවුන් දෙදෙනෙක් ඉගිලුණහ.”

“මේ ළඟ ද?” විමලේ ඇසුවේ ය. “ඔව් අයියා.” උන් කීහ.

වැඩි වේලාවක් යන්නට මත්තෙන් බැරල් එකක් රැගෙන ඔවුහු පැමිණියහ.

“පීතර අයියා. මේං ගෙනාවා. කවුරුත් ගෙදර හිටියෙ නම් නෑ. මේකත් අරන් අපි දෙන්නා හති දාගෙන දිව්වා…..”

“දැන් ඊළඟට මොකද කරන්න ඕනෙ…” පීතර ඇසුවේ ය.

“මල්ලී ඕකේ අඩිය ගලෝමු. ඊට පස්සෙ ඔය වළ කැඩෙන නිසා අපි වළට ටික ටික ඇතුළු කරමු.”

“අන්න මරු වැඩේ තමයි. ඒක හොඳයි.”

ඔවුහු කීහ.

බැරල් එක දමා වැලි අස් කරමින් කෙසේ හෝ එතන ළිඳක් සාදා ගැනීමට අපිත් ඔවුන්ට උදව් වීමු. බැරල් එක සේදෙන්නට කිහිප වරක් වතුර ඉස දැමීමු. ලස්සන පිරිසුදු වතුර ටිකක් එයින් පසු දැකිය හැකි විය.

මෙතන සිටීම නුවණට හුරු නොවන බැවින් අපි උඩහට යන්නට තීරණය කළෙමු. එය සුදුසු බව කවුරුත් අනුමත කළහ.

අප රැය ගත කිරීමට සිතූ තැන එතරම් සුදුසු නැති බව දැනුණ නිසාවෙන් අපි සුදුසු තැනක් ලැබෙන තුරු ගඟ දිගේ ඉදිරියටම ගියෙමු.

ඇඳිරිය ඇදෙමින් පැවතින. විශාල ගල්තලාවක් මත අප රෑ කළුවරත් සමඟ ම ලැගුම් ගතිමු. දාවල වෙහෙස නිවා ගැනීමට සුදුසු තැන මෙතන යැයි අපට දැනුණි.

නරින්ගේ හූ හඬත්, වවුලන්ගේ ගමන් රටාවත්, බස්සන් බකමූණන්ගේ ගාලගෝට්ටියත් මට නම් සුව නින්දක් ළඟා නොකෙළේ ය. සමහරු ගල් තලාවට වැටුණා පමණි.

විමලෙත්, සුගතෙත්, මමත් අඩ නිදිවරව සිටියෙමු. විටින් විට ගං ඉවුර දෙපසින් විවිධාකාර හඬ ඇසෙන්නට විය. එවිට අපි සිටින ඉරියව් වෙනස් කරමින් ගල්තලාව මත නැඟී සිටිමු.

සමහර සත්තු වැල්ලේ සෙල්ලම් කරති. එකිනෙකා තරගයට පොර බඳිති. ඒ බල්ලන් විය හැකි බව සඳ එළියෙන් අනුමාන කළෙමි.

“කංචු මෙච්චර පායලත් බලනවකො රෑට තියෙන සීතල. ඒ වුණාට උදේට නම් මට ඉන්න බෑ. හොඳට නාගන්න ඇත්නම් ඒ ඇති,” විමලේ කියයි.

“අපි උදේටත් උඩහට ගිහින් බලමු.”

“ඔව්. ඒක හොඳා. සමහර විට දිය සීරා ඇති. ලොකුවට නැති වුණත්”

“දැන් මේ ගඟ දෙපැත්තම බලමු. අපේ හරියෙ වගේ නෙවෙයි. එච්චර පළල නෑ. හරිම පටුයි.

බලන්නකො ගං ඉවුර දෙපැත්තෙම ගස් වැල්. අපේ හරියෙ එහෙම තියෙනවද?…”

“එහෙම කොයින්ද? ගං ඉවුරෙ අඩි පාර ළඟට එනකම් තේ පැළ හිටෝල” ආයෙ ලොකු ගස් කොයින්ද?………”

“මේව එහෙම නෑ. වැඩිය ගේ දොර ඇත්තෙත් නෑ. තිබුණත් තියෙන්නෙ ටිකක් ඇතුළට වෙන්න. “

“මොකද අනේ. උඹල තුන්දෙනාට නින්ද යන්නෙ නැද්ද..? පස්සෙ කතා කරගනිල්ලා දැන් නිදා ගමු.”

“මතකද අවට පරිසරය ගැන විමසිල්ලෙන් ඉන්න කීව. වැහි අතළඟ වෙන්නත් බැරි නෑ.

“අහගෙන ඉඳිල්ලා හොඳ හැටි මොකද කියල. ඈතින් ඈත පොළොව යටින් ගුගුරනව ඇහෙනවා. මේ පැත්තට නොවෙන්න පුළුවන්. ඒත් අවධානය අතාරින්න නරකයි.” මම කීවෙමි.

“අපි මං හිතනව හෙට මීට වඩා උඩහට නොගොහින් ආපසු හැරෙන එක හොඳයි. විමලේ ද මගේ අදහස අනුමත කළේ ය. දැන් අපි අහසේ තරු බැලුවට ඒවා ද මිලින වෙමින් යන්නේ හිරුගේ පැමිණීම ළඟ නිසාවෙනි. මෙසේ හරි කෑමක් බීමක්වත් නැතුව වියළී ගිය දියමං ඔස්සේ යෑම අතරමඟ නතරකර උදාගිර හිරු නැඟෙන්නට පෙරාතුවම අරුණෝදයේ ගම් රට බලා එන්නට පිටත් වීමු. අප එන විටත් පෙරදිනක හාරන ලද ළිඳේ ඇතැම් අය නාමින් සිටිනු දැකිය හැකි විය.

රත්නා කහඳගමගේ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department