දුවේ පුතේ, ඔන්න අපේ මේ සූදානම අදත් උරුමයක වගතුගවලින් ඔයාලට ශ්‍රී ලංකාවේ ඓතිහාසික වශයෙන් වැදගත්කමක් තිබෙන ස්ථානයක තොරතුරු කියන්නයි. අද මම තෝරා ගත් ස්ථානය තමයි දකුණු පළාතේ වැලිගම අග්‍රබෝධි විහාරස්ථානයට ආසන්නයෙන් පිහිටා ඇති කුෂ්ඨරාජගල පිළිමය ගැන කතාවයි.
මීටර් තුනයි දශම අටයි තුනක් පමණ උස මෙම පිළිමය කළු ගලක් ඇතුළට හෑරූ විවරයක් ඇතුළත නෙළා ඇත. මෙම පිළිමය සම්බන්ධයෙන් පවතින ජනප්‍රවාදවලට අනුව කුෂ්ඨ රෝගයකින් පෙළුණු කුමාරයෙක් විසින් ඉදිකරන්නට ඇතැයි විශ්වාස කරයි. එම කුමාරයා අග්‍රබෝධි විහාරයට තම කුෂ්ඨ රෝගය සුව කිරීම උදෙසා කළ භාරයක් ඔප්පු කිරීමට මෙම පිළිමය ඉදිකර තිබේ. ඔහු මෙම ස්ථානයේ එක දිගට මාස තුනක් තැඹිලි පමණක් ආහාරයට ගනිමින් වාසය කළ බව ද එම ජනප්‍රවාදයේ තවදුරටත් සඳහන් කරයි. ආචාර්ය නන්දිසේන මුදියන්සේ පවසන්නේ මෙම පිළිමය නෙළා ඇති ගලේ තැනින් තැන දක්නට ලැබෙන ළා පැහැති පැල්ලම් විශේෂයක් නිසා මෙම ජනප්‍රවාදය බිහිවන්නට ඇති බවයි.
එහෙත් ජනප්‍රවාදයේ සඳහන් වන ආකාරයට මෙම පිළිමයෙන් නිරූපණය වන්නේ කුමාරයකු නොව මහායාන බෝධිසත්වවරයකු බව එම පිළිමය පිළිබඳ අධ්‍යයනය කළ විද්වතුන් ඒකමතිකව පිළිගන්නා කරුණකි. 1925දී මේ පිළිබඳ අදහසක් දක්වන ආචාර්ය ඒ. නෙල් මහතා මෙයින් නිරූපණය වන්නේ සිංහ නාද අවලෝකිතේශ්වර බෝධිසත්වයන් බව ප්‍රකාශ කරයි. සිංහනාද අවලෝකිතේශ්වරයන් කුෂ්ඨ රෝග නිවාරණය සම්බන්ධයෙන් ප්‍රචලිත බෝධිසත්වවරයකු වන හෙයින් එම මතය හා ජනප්‍රවාදය අතර යම් ගැළපීමක් අපට දැක ගත හැකි ය. මෙම බුදු පිළිමයේ හිස් පලඳනාවේ ධ්‍යානී බුදු පිළිම හතරක් දක්නට හැකි අතර, පසුපසින් තවත් බුදුපිළිම හතරක් ඇති බවත් විශ්වාස කරයි. එහි දකුණු අතින් ව්‍යාඛ්‍යාන මුද්‍රාව සහ වමතින් කටක හස්ත මුද්‍රාව නිරූපණයකර අතර, ඇති ධ්‍යානී බුද්ධ රූප සමාධි ඉරියව්වෙන් නිරූපිත ය. එම බුදු පිළිම අමිතාභ බුදුරජාණන්වහන්සේ වශයෙන් හඳුනාගෙන ඇත. මහාචාර්ය සෙනරත් පරණවිතාරණයන් ද එම මතය පිළිගෙන තිබේ.
මහාචාර්ය වැන් ලෝග්ව්සන් මහත්මිය ප්‍රකාශ කරන්නේ මෙය සමන්තභද්‍රයන්ගේ ප්‍රතිමාවක් බවයි. ඇය එම පිළිමයෙහි දකුණු අතෙන් විතර්ක මුද්‍රාව නිරූපණය වන බවක් ප්‍රකාශ කරයි. පරණවිතාරණ මහතා ද පසු කාලයේදී මෙම මතය පිළිගෙන තිබේ. මහාචාර්ය පී. එල්. ප්‍රේමතිලක මහතා ද තම ‘මංජු ශ්‍රී චිත්‍ර කර්ම ශාස්ත්‍රය’ නම් ග්‍රන්ථයේදී මෙම පිළිමය සමන්තභද්‍ර ප්‍රතිමාවක් බව පිළිගෙන තිබේ.
ගුප්ත සම්ප්‍රදායේ ලක්ෂණ පෙන්නුම් කරමින් හත – අට ශත වර්ෂවල ඉදිකරන ලදැයි සැලකෙන මෙම ප්‍රතිමාව මංජු ශ්‍රී බෝධිසත්වයන්ගේ ප්‍රතිමාවක් බවට මතයක් මහාචාර්ය දොහානියන් ඉදිරිපත්කර ඇත. ඔහු එම පිළිමයෙහි එක් අතක චින් මුද්‍රාව ද එක් අතක නිල්මහනෙල් මලක් ද දරන බවට ප්‍රකාශ කරයි. සියලු මත සමාලෝචනය කරමින් මහාචාර්ය චන්ද්‍ර වික්‍රම ගමගේ මහතා මෙම මතය පිළිගෙන තිබේ.
ලක්නා නිරෝෂිමාලා