ඔන්න දුවේ පුතේ, ඉස්සර කාලේ අබරා කියලා මිනිසෙක් හිටියා.මේ අබරාගේ හාමිනේ පෝය දවස්වලට අටසිල් සමාදන් වෙන්න පුරුදුවෙලා හිටියා. ඉතින් එක දවසක් මේ අබරාටත් සිල්ගන්න වුවමනා වුණා. ඒත් එයා කලින් සිල් අරන් නොතිබුණා නිසා ඒ ගැන මොනවත්දැනගෙන හිටියේ නැහැ. ඉතින් එයාට ඕන උනා සිල්ගන්න විදියදැනගන්න.එයා ඒ ගැන එයාගේ හාමිනේගෙන් ඇහුවා.
“ආ….හාමුදුරුවෝ කියන කියන වචනේ
තමනුත් කියන්න ඕනෙ…අබරාගේ
හාමිනේ කිවුවා.
ඉතිං ඔන්න දවස් ගත වෙලා ගිහින් පෝය දිනයත් ආවා. අබරා සුදු රෙද්දක් ඇදගෙන සුදු සළුවක් පොරවගෙන පන්සලට ගියා. ගිහින් හාමුදුරුවෝ ඉස්සරහා හිටගත්තා. හැබැයි හාමුදුරුවන්ටවැන්දේ නැහැ. ඉතිං අබරා දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය හාමුදුරුවෝ
“ආවේ මොකටදැයි..අබරාගෙන් ඇහුවා. එතකොටම අබරාගේ කටිනුත් පිට වුණේ මොනවද දන්නවද?
“ආවේ මොකටද? කියලා.
ඔන්න ආයෙත් සැරයක් හාමුදුරුවෝ ඇහුවා
“මොකද? උඹට පිස්සුද?
එතකොට අබරා කියනවා “මොකද? උඹට පිස්සුද? කියලා.
“ගනු කඹයක් මූ බැඳලා දාන්න…. කියලා හාමුදුරුවෝ තරහෙන් කිවුවා.
ඉන්පස්සේ අබරාත් කෝපයෙන් වගේ අර හාමුදුරුවන් කියපු වචන ටිකම කිවුවා. ඒත් ඒ වෙලාවෙම හාමුදුරුවන්ගේ අණ පරිදි ඇබිත්තයා ඇවිල්ලා අබරාට ගුටි බැට දීලා එළවා දැම්මා. වරක් හිස අත ගාමිනුත්, තවත් වරක් පිට අත ගාමිනුත්, තවත් විටෙක පපුව අත ගාමිනුත් ගාටමින් නිවෙස දෙසට එන තම ස්වාමියා දැකපු අබරාගේ හාමිනේ පුදුමයට පත්වුනා.
“ඇයි බොලා හැමදාම කොහොම සිල් ගන්නවාද? අද එක දවසේ සිල් ගන්ට ගිහින් මගේ ඇට ඔක්කොම පොඩි වුණා. සිල් ගැනිල්ලත් මහාම මහා භයානක වැඩක් නොවැ බැලින්නම්. .. අබරා කිවුවා.
ඉන්පස්සේ තමන්ට වෙච්ච ඇබැද්දිය හාමිනේ එක්ක මුල ඉදන් අගටම කිවුවා. තම ස්වාමියාගේ අනුවණකම ගැන කවදත් දැනගෙන හිටි අබරාගේ හාමිනේ තෙල් බෙහෙත් ගල්වා ඔහුට සාත්තු කළා.
ටිකක් දවස් යනකොට මේ කතාව ගම පුරාම පැතිරිලා ගියා. අබරාගේ හාමිනේගේ යෙහෙළියන්ගේ සරදම් වචන කොතෙකුත් ඉවසාගෙන ඉන්න බැරි වුණත් තම සැමියාගේ අනුවණකම ගැන සිතා ඔහුට අනුකම්පා කළා.ඒ විතරක් නෙමෙයි හාමුදුරුවන් ගැන ඇය බොහෝම කළ කිරුණා. එතැන් පටන් ඇය සිල් සමාදන් වීමට යන ගමනත් නතර කළා. තමන්ට නුහුරු නුපුරුදු දෙයක් කරන්න ගිහින් අමාරුවේ වැටෙන අය දැක්කම මේ පිරුළේ අපේ මතකයට එන්නේ නිරායාසයෙන්මයි.
සිතුමිණි රාජපක්ෂ