Home » Blog »  මිහිරෙන් දැයට දායාද කරන මුතුකැට

 මිහිරෙන් දැයට දායාද කරන මුතුකැට

by thanushika
0 comment

මිහිර දැනුම් තක්සලාව පුංචි දූ පුතුන්ගේ දැනුම දියුණු කරන අතර, ඔවුන්ගේ දැනුම පිළිබඳ ලොවට කියන්නෙමු. එදා අපේ වෙබ් අඩවිය විවෘත වන දින අප සමඟ එකතු වූ ළමා සමාජයේ දූ දරුවන් අප බලන්න පත්තර මහගෙදරට පැමිණියේ ඔවුන්ගේ දැනුම සහ දක්ෂතා දෝතින්ම දරාගෙන ය. ඒ මිහිරට ඔවුන්ගේ හද පිරි සතුට පිරි නැමීමට ය. ඔවුන්ගේ කෘතවේදීත්වය මුළු ලොවටම ආදර්ශයකි. දරුවකු දැනුමෙන් සන්නද්ධ විය යුතුයි. එමෙන්ම විනයෙන් පිවිතුරු විය යුතුයි. එවන් දරුවන් පිරිවරා ගත් මිහිර පුවත්පත හැට වැනි සංවත්සරය සමරමින් අන්තර්ජාලයට එක්වූයේ අභිමානයෙනි. මේ උලෙළට සහභාගි වූ පුංචි දූ පුතුන්ගේ කතාවයි මේ.

නඟන්නා චතුර වූ වාග් විලාසය නිසා ම ගුවන්විදුලි ළමා පිටිය ඒකාලෝක කිරීමට ඔහු සමත් ය. නිරායාසයෙන්ම ගලා එන ඔහුගේ මිහිරි වාග් මාලාව අපේ මිහිරට අභිමානයකි. නමින් ඔෂාන් වගීෂ වූ ඔහු හුණුමුල්ල සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලයේ ශිෂ්‍යයෙකි. ඔහුගේ දක්ෂතාව අප මුලින්ම දුටුවේ මිහිර යූ ටියුබ් චැනලයට පැමිණි අවස්ථාවේදී ය. මිහිර පුංචි හපනුන්ගේ විශේෂාංග ලිපියෙන් අප ඔහුව හඳුනාගත්තේ මිහිරටම ගැළපෙන ඔහුගේ වචන මාලාව නිසා ය. තමන්ගේ හැකියාව පිළිබඳ ඔහු දැක්වූයේ මෙවැනි අදහසකි.” මම මුලින්ම සම්බන්ධ වූයේ ගුවන්විදුලියේ ළමා පිටියටයි. මගේ දක්ෂතා හඳුනාගෙන දුර්වල තැන් නිවැරැදි කරලා මට නව මාර්ගයක් පෙන්නුවේ නිලන්ති නැන්දායි. ඒ වගේම ගුවන් විදුලියේ ඉනෝකා නැන්දාත් මට අමතක කරන්න බැහැ. නිවේදකයකු කියන්නේ ප්‍රවේසමෙන් වචන පාවිච්චි කරන්න ඕන කෙනෙක්. අපි පාවිච්චි කරන වචනයක් නිසා තවත් කෙනකුගේ හිත රිදෙන්න පුළුවන්. ඒ නිසා සන්නිවේදනයේදී අප ඉතාමත් පරිස්සම් විය යුතුයි. ඒ දේවල් මට කියලා දුන්නේ අපේ නිලන්ති නැන්දායි. ඒ වගේම මට අපේ ඉනෝකා නැන්දාත් ලොකු ශක්තියක් වුණා” ඔහු තමන් අත්දැකීමෙන් ලැබූ අදහස් ඉදිරිපත් කළේ ඒ අයුරිනි. ඔහුට නිවේදනයෙන් සහය වූ රොහන්සා තමන්ගේ හැකියාව පිළිබඳ මේ අයුරින් කරුණු ඉදිරිපත් කළා ය. ” මගේ අම්මා නිවේදිකාවක්. ඇය මට මේ සියල්ල කියලා දුන්නා. ඒ වගේම ඉනෝකා නැන්දාත් බණ්ඩාර මාමාත් මම හුඟක් අගය කරනවා. ඒ අයගෙන් ඉගෙන ගන්න මට බොහෝ දේවල් තිබුණා. මගේ පොත් ලියන වැඩ කටයුතුවලට බණ්ඩාර මාමා මට ගොඩක් උදවු කරනවා. ඒ සෑම දෙයක්ම ලස්සනට ගළපලා දෙන්නේ බණ්ඩාර මාමා. වචන කියන්නේ ගොඩක් ප්‍රවේසමෙන් පාවිච්චි කරන්න ඕන දෙයක්. අපේ වචනවලින් අපි කාටවත් හිරිහැර කරන්න හොඳ නැහැ. එය සන්නිවේදනයේදී අපි ඉගෙන ගන්න ඕන වැදගත්ම දෙයක්. පාසලේදීත් මට නිවේදන කටයුතු පිළිබඳ අවබෝධයක් ලැබෙනවා. මම ඉගෙනගන්නේ වේයන්ගොඩ මධ්‍ය විද්‍යාලයෙයි.” රොහන්සා නිසලනී තමන් ලැබූ හැකියා පිළිබඳ විස්තර කළේ ඒ අයුරිනි.

බොහෝ දුර ගෙවා මිහිර වෙත පැමිණියේ “දඟකරනා හා පැංචා” ගීතය ගායනා කරන කුඩා දියණියයි. සමාජ මාධ්‍යවලින් ජනප්‍රියත්වයට පත් වූ මේ ගීතය නිසා ඇය බොහෝ දෙනාගේ ආදරය දිනා ගත්තා ය. මේ වන විටත් විවිධ ගීත රචනා ගායනා කිරීමට ඇය නිරායාස උත්සාහයක යෙදී සිටියි. හ/අම්බලන්තොට ථෙරපුත්ථාභය ජාතික පාසලේ හයවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිනෙත්මා හංසෝද්මි පුංචි දියණිය එදා මිහිර උපන්දිනය හැඩ කිරීමට පැමිණියා ය. පාසලේ විෂයන් මෙන්ම අනෙකුත් විෂයන් ඉතා දක්ෂ අයුරින් කරගෙන යන මේ දියණිය නර්තන විෂයෙහි ද දක්ෂ දියණියකි. “ටක් ගානවා ටික් ගානවා. ටිකක් කනවා දොර වහනවා ” ගීතය ගායනා කරමින් මිහිර ළමා සමාජයේ දරුවන් මිහිර වෙනුවෙන් ඉටු කළේ අගනා මෙහෙරවකි. රසාලි, දුනිල, නිදුක, සදෙව්, සදෙව් දේදුගල, හිරුති ගීතයෙන් මිහිර හැඩ කළ දූ දරුවන් ය. හැට වසරක් පිරුණත් මෙවැනි දස්කම් දක්වන දරුවන් සමඟ දරුවකු මෙන් ජීවත් වීමට මිහිර තවමත් අමතක නොකරයි. වර්තමානයේ මිහිර අන්තර්ජාලයට එක්වූ අතර, ලොව පුරා විසිරී සිටින සිංහල භාෂාව කතා කරන සිංහල දරුවන් වෙතට යෑමට ද දැඩි අදිටනක් තිබේ.

රූපාන්ති බුලසිංහල

ඡායාරූප – චින්තක කුමාරසිංහ

 

 

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department