ආදරණීය දුවේ පුතේ, අද දවසේ අපි උරුමයක වගතුග තුළින් ඔයාලට තවත් ඓතිහාසික වැදගත්කමක් තිබෙන කඳු පන්තියක විස්තර අරගෙන ආවා. ලංකාව ජනාවාසකරණය හා සම්බන්ධ විජය කුවේණිගේ කතා පුවතත් එක්ක මේ කඳු පන්තියට තිබෙන්නේ විශේෂ සම්බන්ධතාවක්. කුරුණෑගල දිස්ත්රික්කයේ වාරියපොළ පිහිටි මෙම කඳු පන්තිය තමයි යක්දෙස්සාගල.
යක්දෙස්සාගල යනු කුරුණෑගල දිස්ත්රික්කයේ කුරුණෑගල-ගෝනගම මාර්ගයේ කිලෝමීටර් 16ක් දුරකින් පිහිටා ඇති ඇතුගල හා ආඳාගලෙන් ආරම්භ වන කඳු පංතියේ ඇති උසම කඳු මුදුනයි. එහි උස මීටර් 546කි. කුරුණෑගල වාරියපොළ මාර්ගයේ මාස්පොත හන්දියෙන් බැස සංවැලි විහාරස්ථානය දක්වා පයින් ගමන් කර එම විහාර භූමියේ විහාරයේ දොරටුව ඉදිරියෙන් මාර්ගයේ අනෙක් පස ඇති පොකුණ අසලින් එම කන්ද තරණය කිරීම ආරම්භ කරනු ලැබේ. වර්තමානය වන විට මෙම විහාරස්ථානයට කුරුණෑගල-ගෝනගම බසයක නැගී ප්රවේශ වීමට හැකියාව ද ඇත. මෙම කන්ද ඉහළට නැඟීම තරමක අසීරු කාර්යයක් වේ. කැලය ඇතුළට විහිදෙන අඩි පාරක් කඳු නැගීම ආරම්භයේ දක්නට ලැබුණ ද මඳ දුරක් යන විට එය ද සොයා ගැනීමට අපහසු ය. එවිට සිදු වන්නේ රූස්ස ගස් අතරින් මාර්ගය සොයාගෙන කන්ද ඉහළට ගමන් කිරීමටයි.
සම්පූර්ණයෙන්ම කළු ගලින් සෑදී ඇති මෙම කන්ද මුදුනට ගිය පසු දැක ගත හැකි අවට දර්ශනය නෙත් වශී කරවන තරම් මනරම් වේ. යක්දෙස්සාගල කඳු පන්තිය අප රටේ ඉතිහාසය මෙන්ම භූ විෂමතා ලක්ෂණ අතින්ද විශේෂ වේ. වයඹ පළාතේ පිහිටි උසින් දෙවැනි ස්ථානය ගන්නා මෙම කඳු පන්තිය අඩි 495ක උන්නතාංශයකින් යුක්ත ය. මෙහි ඉතිහාස කතන්දරයට අනුව විජය රජු විසින් පලවා හරින ලද කුවේණිය මෙම කඳු මුදුනේ සිට ඔහුට සාප කොට එයින් පහළට පැන සියදිවි නසා ගත් බව සඳහන් වේ. ඒ අනුව යක්ෂ ගෝත්රයට අයත් කාන්තාවක් සාප කළ හෙයින් එම කන්දට යක්දෙස්සාගල යන නම ලැබී ඇත. තවත් ජනප්රවාදයක සඳහන් වන්නේ මෙහි කුවේණියගේ ඇස් නිදන්කර ඇති බවයි. එබැවින් එම අර්ථයෙන් අතීතයේදී යක් ඇස්සාගල නමින් මෙම කඳු පංතිය හඳුන්වනු ලැබූ අතර, එය කාලයත් සමඟ යක්දෙස්සාගල ලෙස වෙනස් වී ඇති බවයි.
තවත් ජනප්රවාදයක සඳහන් වන්නේ කුවේණිය යක්දෙස්සාගලින් පැන සියදිවි නසාගත් බව නොව ඇය විසින් සිදුකළා වූ ජාතිය පාවාදීමේ වරදට යක්ෂ ගෝත්රික නායකයකු විසින් දඬුවම් වශයෙන් ඇයගේ දිව කපා අතුල් පහරකින් මරණයට පත්කර යක්දෙස්සාගලින් පහළට ඇද දැමූ බවයි. ඒ කෙසේ වුවත් යක්දෙස්සාගල විජය කුවේණි කතා පුවත හා සම්බන්ධ වන බව අපට මෙම ජනප්රවාද ආශ්රයෙන් නිගමනය කළ හැකි ය.
ලක්නා නිරෝෂිමාලා