අතීතයේ සිට මිනිසාගේ අවශ්‍යතා සඳහා යොදා ගන්නා ඖෂධ බොහොමයක් නිපදවා ගන්නා ලද්දේ ශාකවලිනි. විවිධ රෝග සඳහා මෙම ඖෂධීය ශාක යොදා ගනු ලබයි. බොහෝ විට සිංහල වෙදකම්වලදී මෙම ඖෂධ ශාකවල මුල්, ගෙඩි, පත්‍ර, දලු, පොතු හා මල් යොදා ගනු ලැබේ. මෙවර මිහිර පෝස්ටරය සැකසෙන්නේ ඖෂධීය ශාක ඇසුරෙනි.
කරපිංචා
කරපිංචා ව්‍යංජන රසකාරයක් ලෙස යොදා ගනු ලබයි. මෙය ඖෂධීය ශාකයකි. Murraya Koenigii යන විද්‍යාත්මක නාමයෙන් කරපිංචා හඳුන්වයි.
මෙම ශාකය ශ්‍රීලංකාවේ බොහෝ ගෙවතුවල දැකිය හැකි ය. කුඩා ගසක් ලෙස වර්ධනය වේ. මේ ශාකයේ ප්‍රධාන කඳීන් අතු බෙදෙයි. එම අතුවල හටගන්නා නාරටි දෙපැත්තේම පත්‍ර හට ගනී. මෙම ශාකයේ පොතු, කොළ, මුල් සියල්ල ඖෂධ සෑදීමට යොදාගනියි. ආමාශයේ අජීර්ණ තත්ත්වයන්ට හා වමනයට කරපිංචා කොළ යුෂ බොනු ලබයි. අධික රුධිර පීඩනයට කරපිංචා යුෂ වෙනත් ඖෂධ සමඟ මිශ්‍රකර පානය කරයි.
පොල්පලා
මෙම ශාකයේ විද්‍යාත්මක නාමය වන්නේ Aerva Lanita Jussõ යන නමයි.
ශ්‍රී ලංකාවේ මධ්‍යම ප්‍රදේශවල, පහතරට ප්‍රදේශවල සහ වියළි කලාපයේ සරුසාර ලෙස වැවෙන මෙම පැළෑටිය ශ්‍රීලංකාවේ කවර ප්‍රදේශයක වුවද වැවිය හැකි ය. සෙන්ටිමීටර් 60-75ක් පමණ උසට මෙම ශාකය වර්ධනය වේ. ශාකයේ පත්‍ර ඉතා කුඩා හැඩයක් ගනී. මෙහි මල් සුදු පැහැති වේ. මූත්‍රා මාර්ගයේ ඇතිවන විවිධ ආබාධ සඳහා පොල්පලා තම්බා පානය කරනු ලබයි.
හාතාවාරිය
මෙම ශාකයේ විද්‍යාත්මක නාමය වන්නේ Asparagus Racemosuswilld යි. හාතාවාරිය ශාකයේ උපත, නැඟෙනහිර මධ්‍යධරණී රටවල සිදුවූ බවත්, ක්‍රි.පු 200දී පමණ රෝමවරුන් විසින් වගා කරනු ලැබූ බවත් සඳහන් වේ. වැලක් වශයෙන් දිගට වැවේ. අතු බෙදී වැවෙන ශාකයකි. වැල දිගට කටු තිබේ. මුල් වැඩෙන්නේ නාලාකාර අල ලෙසිනි. නිවර්තන හා උප නිවර්තන ප්‍රදේශ වන ඉන්දියාව, ශ්‍රී ලංකාව, අප්‍රිකාව වැනි රටවල හාතාවාරිය දැකිය හැකි ය. රුධිරයේ ආම්ලිකතාව නැතිකොට රුධිරය පිරිසුදුකර ශරීරයේ ශක්තිය වැඩි කරනු ලබයි. හෘද රෝග, සන්ධි ඉදිමුම සඳහා හාතාවාරිය කැඳ පානය කරයි. ඇදුම රෝගයට පිළියම් සඳහා යෝග්‍ය ඖෂධ නිපදවීමට යොදාගනී.
ගොටුකොළ
ගොටුකොළ ශාකයේ විද්‍යාත්මක නාමය වන්නේ Centella Asiatica යි.
හීන් ගොටුකොළ හා මහ ගොටුකොළ නමින් වර්ග දෙකක් ඇත. හීන් ගොටුකොළ ගුණදායක බවින් වැඩි ය. මෙය ශ්‍රී ලංකාවේත් ඉන්දියාවේත් අඩි 7000ක් දක්වා උස ප්‍රදේශයන්හි වැවේ. කුඹුරු වැනි තෙතමනය ඇති ජලාශ්‍රිත ප්‍රදේශවල හොඳීන් වර්ධනය වේ. සම්පූර්ණ ගොටුකොළ පැළෑටියම ඖෂධ සඳහා ගැනේ. කෑම රුචිය වර්ධනය සඳහා ගොටුකොළ යුෂ පානයට ලබා දෙයි. දිවිමකුළු විෂ නැසීමට ගොටුකොළ යොදා ගනී. මෙහි පත්‍ර කුඩා වන අතර, රවුම් හැඩයක් ගනී.
කොහොඹ
මෙම ශාකයේ විද්‍යාත්මක නාමය වන්නේ Azadrachta Indica යි. කොහොඹ ගසේ මුල්, කොළ, පොතු, මල් සහ ඇට විවිධ රෝග ප්‍රතිකාර සඳහා යොදා ගැනේ. මෙය ලේ පිරිසුදු කරන, පණුවන් නසන විෂබීජ නාශකයකි. ශ්‍රී ලංකාව, ඉන්දියාව,මැලෙසියාව ආදී ඝර්ම කලාපීය රටවල සුලබව කොහොඹ දක්නට ලැබේ. මෙම ශාකයේ පත්‍ර හීන් දිගටි වේ. පත්‍රයේ දැති දැති දක්නට ලැබේ.
කටුවැල්බටු
කටුවැල්බටු ශාකයේ විද්‍යාත්මක නාමය වන්නේ Solanuma Virginianumõ යන්නයි. කටුවැල්බටු විශාල වශයෙන් ආනයනය කරන ඖෂධයකි. පැළෑටියේ පත්‍රවල සහ සෑම කොටසකම වාගේ තියුණු කටු ඇත. මෙම පැළෑටියේ මල්හට ගැනීම වසර පුරාම සිදු වේ. ශ්‍රී ලංකාවේ පහතරට වියළි කලාපයේ ඉතා හොඳීන් වැවේ. මෙහි සම්පූර්ණ පැළෑටියම ඖෂධයකි. කැස්සට කටුවැල්බට, ආඩතෝඩ කොළ සමඟ තම්බා බීමට ලබා දේ. මූත්‍රා යෑම අඩු විට ද කටුවැල්බටු තම්බා දෙයි.
කෝමාරිකා
කෝමාරිකා ශාකයේ විද්‍යාත්මක නාමය වන්නේ Aloe Barbadensis Mill යන නමයි. කෝමාරිකා රුපලාවණ්යය සඳහා යොදාගනු ලබයි. කෙටි ඝනකමක් සහිත පැතලි කඳකින් යුක්ත මෙහි පත්‍රවල නාරටියක් නොමැත. පත්‍ර නීල හරිත පැහැයක් ගන්නා අතර, සුදු පැහැ ලප සහිත වේ. පත්‍ර දාරයේ දෙපස දිගටම කටු ඇත. වියළි කාලයේදී මේවායේ මල් හට ගනී. මේවා විශේෂයෙන් වියළි කලාපයේ දක්නට හැකි වුවත් ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වගාකළ හැකි ය. පිලිස්සුම් තුවාල සඳහා කෝමාරිකා මදය භාවිත කරයි. ඇස්වලින් කබ හා කදුළු ගලන විට කෝමාරිකා මද අරළු කුඩු හා ම්ශ්ර කර භාවිතයට ගනී. ඇස් යට වේදනාව සඳහා කෝමාරිකා මද භාවිත කරයි. හිසකෙස් සේදීමට යොදාගන්නා ෂැම්පු සෑදීමට ද යොදා ගනී.
අංකෙන්ද
Acronychia pedunculata(L) miq යන විද්‍යාත්මක නාමයෙන් හැඳින් වේ. නැඟෙනහිර බෙංගාලය, ඉන්දියාවේ නිරිතදිග ප්‍රදේශය, ජාවා, සුමාත්‍රා සහ වියට්නාම් ආදී ප්‍රදේශවල ද මේ ශාකය වැවේ. මෙය රුටාසේ කුලයට අයත් වූ සිනිඳු පොත්තක් ඇති විශාල නොවූ ගසකි. රිකිලි සිනිඳු ය. කොළ අඟල් 3 සිට 5 දක්වා දිග ය. සිනිඳු ය. දීප්තිමත් ය. අණ්ඩාකාර ය. ඇතැම් කොළ ඒකාන්තර ය. කොළ දාරය සම්පූර්ණ ය. දික් වූ මංජරී වෘන්ත ඇත. කහ පැහැයක් ඇති සුදු පාට මල් හට ගනී. දළ පාදයෙහි ඇතුළු පැත්ත බූ සහිත ය. රේණු දළවලට වඩා කොට ය. කීලය ඉතා කොට ය. අංකෙන්ද කොළ, පොතු, මුල් කැඩුම් බිඳුම් සඳහා යොදා ගනී. හරකුන්ට වෙදකම් කිරීමට අංකෙන්ද යොදා ගනී.
අක්කපාන
Bryophyllum pinnatum (Lam) Oken යන විද්‍යාත්මක නාමයෙන් හැඳීන්වේ. ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශවල අක්කපාන පැළෑටිය බහුල ය. ක්‍රසුලාසේ කුලයට අයත් වේ. මෙම පැළෑටියේ කොළ සරල ය. මාංසල ය. කොළවල දාර සභංග ය. මල් ද්විලිංගික ය. ක්‍රමවත් ය. මල් හටගන්නේ සංයුක්ත ඒකාක්ෂීය බහු-අක්ෂවල ය. මලේ දළ සංයුක්ත වී පිම්බුණු නළයක් සෑදේ. මෙම ශාකයේ පත්‍රවලින් මුල් හට ගැනේ. මේ අංකුරවලින් අලුත් පැළෑටි ඇති වේ. මෙසේ කොළවලින් පැළ හට ගන්නා නිසා පර්ණබීජ යන නම ද මේ ශාකයට භාවිත කෙරේ.
නික
Vitex negundo යන විද්‍යාත්මක නාමයෙන් හැඳීන් වේ. කළුනික ලෙස ද නික හඳුන්වයි. නික ශාකය මීටර් 8ක් පමණ උසට පඳුරු ලෙස වර්ධනය වේ. පරිණත ශාකයේ පොත්ත රතු දුඹුරු පැහැති වේ. ළපටි අතු සුදු පැහැති බූවක් සහිත වේ. පත්‍රිකා 3ක් හෝ 5ක් සහිත සංයුක්ත පත්‍ර සම්මුඛව පිහිටා ඇත. නික කොළ තීක්ෂණ සුවඳකින් යුක්ත වේ. වාතරෝග, ඉදිමුම්, නාග විෂ,දද සඳහා නික කොළ ගනු ලැබේ.
බෙහෙත් එඬරු
මෙම එඬරු ශාකය මීටර් 3.5ක් පමණ උසට වර්ධනය වන වාර්ෂික හෝ බහු වාර්ෂික ශාකයකි.එඬරු ශාකය අතු බෙදෙමින් පඳුරු ලෙස වැඩේ. දිගු නටුවක් සහිත සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි.ඇඟිලි ආකාරයෙන් බෙදී ඇති පත්‍රයේ දාරය දැති වැනි කඩතොළු සහිත වේ. වාත රෝග,ගුල්ම,ඇදුම, කැස්ස සඳහා ද එඬරු පත්‍ර, මුල් දලු, භාවිත කරනු ලබයි.
චතුරි ලක්ෂිකා