Home » Blog » මිහිර පුවත්පත අන්තර්ජාලයට මුදා හැරේ

මිහිර පුවත්පත අන්තර්ජාලයට මුදා හැරේ

by thanushika
0 comments

මිහිර පුවත්පත අන්තර්ජාලයට මුදා හැරීමේ උත්සවය පසුගියදා පැවැත්විණි. ඒ වෙනුවෙන් පැවති උත්සවය මිහිර 60 වැනි උපන්දිනය නිමිතිකරගෙන පැවති අතර, ඒ සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක මහතා, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා, කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ගංගා කුමුදිනි මහත්මිය, රාජගිරිය සෝභිත ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය නදී වික්‍රමරත්න මහත්මිය, ලේක්හවුස් සභාපතිතුමා මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා ද කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රි මහතා ද ලේක්හවුස් ආයතනයේ මූල්‍ය අධ්‍යක්ෂ සුනිල් ජයන්ත නවරත්න මහතා ද ආයතනයේ සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල මහතා ද සහභාගි වූහ.

මෙම අවස්ථාවට සහභාගි වූ ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා පැවසුවේ, දරුවන්ගේ අවශ්‍යතා මත නැවතත් මුද්‍රණද්වාරයෙන් මිහිර පුවත්පත පටන් ගන්නා බවයි. එහෙත් මිහිර ඩිජිටල් අවකාශයට එක් කිරීම වඩා වැදගත් වන්නේ එය ද දරුවන් අතර ජනප්‍රිය නිසා බව ද එතුමා පැවසුවේ ය. බොහෝ දරුවන් අත අද තිබෙන්නේ අයි පෑඩ් සහ අයි ෆෝන් බව ද එතුමා පැවසුවේ ය.

මේ උත්සව සභාව අමතමින් ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක මහතා පැවසුවේ, වර්තමානයේ දරුවන් අධ්‍යාපනය පසු පස දිව ගියත්, දරුවකුට විනය වැදගත් බව ය. එවැනි විනයක් ඇති කරන්නේ සාහිත්‍යයෙන් සහ ක්‍රීඩාවෙන් බවත් ය. වර්තමානයේ දරුවන්ට කියවීම ඉතා වැදගත් බව පැවසූ අතර, ඒ සඳහා දරුවන් හුරු කිරීම වැඩිහිටියන්ගේ වගකීම බව ද ඔහු පැවසුවේ ය. අතීතයේ ඔහු ද කුඩා දරුවකුව සිටි අවධියේ මිහිර එනතෙක් ඔහු පෙර මඟ බලා සිටිය බව පැවසූ විදුහල්පතිවරයා, වත්මන් දරුවන්ට ද එවැනි අත්දැකීමක් අවශ්‍ය බව ද පැවසුවේ ය.

නිරන්තරයෙන්ම මිහිර පුවත්පත සමඟ එක්ව වැඩකටයුතු කරන තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් මෙසේ කියා සිටියේ ය. මිහිර පුවත්පත මගේ කුඩා කාලය නිරායාසයෙන්ම සිහිපත් කරන අතර, එදා නම් එය අප අතට ලැබෙන තෙක් නොඉවසිල්ලෙන් සිටිය බව ද පැවසුවේ ය. මිහිර පුවත්පත නගරයටත් වඩා ගමේ දරුවන්ට ඉතා වැදගත් බව ද ඔහු පැවසුවේ ය. මේ නිසා අපට පුළුවන් ආර්ථික අපහසුතා පවතින පාසල් පනහකටවත් මිහිර පුවත්පත අරගෙන දෙන්න. මම හිතන්නේ ආනන්ද විදුහලේ විදුහල්පතිතුමාටත් එහෙම නේ ද? යැයි තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පතිතුමා විමසුවේ ය. ඒ කතාව ඒ අයුරින්ම ආනන්ද විදුහලේ විදුහල්පතිවරයා වූ ලාල් දිසානායක මහතා අනුමත කළේ ය.

ආනන්ද බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ගංගා කුමුදිනි මහත්මිය මිහිර පුවත්පත වෙනුවෙන් තම අදහස් දැක් වූයේ මේ අයුරිනි.” මම කුඩා කාලයේ සිටම මිහිර ආදරයෙන් බැලුවා. ඒ පුවත්පතෙහි පින්තූර කපා ඇලෙව්වා. ඒ පුවත්පතට එදා වගේම අදත් මම කැමැතියි. අද කෙතරම් අන්තර්ජාල පහසුකම් තිබුණත් දරුවන් තාමත් මිහිර පුවත්පතට ආදරෙයි. ඒ නිසා මුද්‍රණය කරන මිහිර පුවත්පත ඔවුන්ට අවශ්‍යයි.”

රාජගිරිය සෝභිත විද්‍යාලයේ විදුහල්පතිනිය නදී වික්‍රමරත්න මහත්මිය සිය අදහස් දක්වමින් මෙලෙස අදහස් පළ කළා ය. මම කුඩා කාලයේ මගේ තාත්තා මට මිහිර ගෙනවිත් දුන්නා. ඒ කාලයේ මිහිර ගෙදර එන තෙක්ම මම හිටියේ හරිම ආසාවෙන්. අද ළමයින් බොහෝ දෙනකු ඩිජිටල් මාධ්‍යවලට යොමු වෙලා. ඒත් එදා වගේම අදත් දරුවන්ට මිහිර අවශ්‍යයි කියලා තමයි මම කියන්නේ. මිහිර කියන්නේ එදා වගේම අදත් අපට දැනුම බෙදන පත්තරයක්. මේ නිසා මේ පත්තරයේ අවශ්‍යතාව මේ වන විටත් අපට දැනෙනවා.”

ජාත්‍යන්තර භාෂා පාසලේ විදුහල්පති සම්පත් නවරත්න මහතා මිහිර පුවත්පත පිළිබඳ මේ අයුරින් කරුණු දැක්වූයේ ය.” මිහිර පුවත්පත ඇත්තටම වඩාත් වටින්නේ ගමේ දරුවන්ට. ගමේ දරුවන් තමයි මිහිර පත්තරයට ලිපි රචනා වැඩි වශයෙන් ලියන්නේ.”

මිහිර පුවත්පත එදා මෙන්ම අදත් කුඩා දරුවන් අතර වටිනා පුවත්පතක් වී තිබේ.

රූපාන්ති බුලත්සිංහල

ඡායාරූප- චින්තක කුමාරසිංහ

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department