Home » Blog » රයිගමයයි ගම්පලයයි

රයිගමයයි ගම්පලයයි

by thanushika
0 comments

ඔන්න එකෝමත් එක කාලෙක කපටි යාළුවෝ දෙන්නෙක් ජීවත් වුණා. එක්කෙනෙක් රයිගමයා. අනෙකා ගම්පලයා. දවසක් රයිගමයා ගමනක් යනකොට ගම්පලයව මුණ ගැසුණා. ඉතින් දෙන්නා තොරතුරු කතා කර කර හිටියා. ඒ අවස්ථාවේ ගම්පලයා මෙහෙම කියනවා.

” යාළුවේ අපි දෙන්නා එකතුවෙලා වෙළෙඳාමක්වත් කරමුද?”

” ඒකනම් හොදයි. වත්තෙ පිටියේ තියෙන දෙයක් එකතුකරගෙන නගරයට ගිහිල්ලා විකුණමු.” රයිගමයා පැවසුවා.

ඔන්න දෙන්නම වෙළෙඳාමේ යන්න තීරණය කළා. ” එහෙනම් හෙට හවස මෙතැනදිම හම්බවෙමු ” කියලා දෙන්නම ගෙදර ගියා.

දෙන්නම ගෙදර ගිහින් වෙළෙඳාමේ යන්න බඩු සෙව්වා. ගම්පලයා වත්ත පහළට ගිහින් ගම්මිරිස් වැල්වල කොළ කඩන්න පටන් ගත්තා. ලොකු ගෝණියක් පිරෙන්න ගම්මිරිස් කොළ කඩලා ගෝණිය ගැට ගැහුවා. රයිගමයත් , ගමේ ඇවිදලා ගෝණියක් පිරෙන්න කිතුල් ඇට එකතු කළා. දැන් දෙන්නම නගරයට ගෙනියන්න බඩු ලෑස්ති කරගත්තා.

ඔන්න හවස් වී ගෙන ආවා. දෙන්නම ගෙවල්වලින් පිටත් වුණා නගරයට යන්න. දෙන්නම කතා වුණු ආකාරයට කලින් දවසේ මුණ ගැසුණු ස්ථානයේදී හමු වුණා.

” ආ.! යාළුවේ මොනවද මේ බරටම අරගෙන ආවේ?” රයිගමයා ඇහුවා.

” මම මේ බුලත් ටිකක් අරගෙන ආවා විකුණගන්න. මේවා හොඳ බුලත්.” ගම්පලයා කිව්වා.

” මමත් හොඳ , විශාල පුවක් අරගෙන ආවා විකුණගන්න. මේ දවස්වල පුවක් හරිම ගණන්නේ. හොයාගන්නත් මහන්සි වුණා. හො‍ඳ මුදලකට පුවක් ටික විකුණගන්න පුළුවන්.” රයිගමයා කිව්වා.

රයිගමයයි , ගම්පලයයි බරටම ගෝණි කරේ තියාගෙන නවතින්න ස්ථානයක් සොයාගෙන ආවා. මේ යන අතරමඟදී දෙන්නට මහන්සි නිවාගන්න අම්බලමක් හමු වුණා. දෙන්නම අම්බලමේ හොඳටම නිදාගත්තා.

පහුවදා උදෑසන ගම්පලයා අවදි වී , රයිගමයා අවදිවෙලා ද බැලුවා. රයිගමයා හොඳටම නිදි. ගම්පලයා කළුවරේම රයිගමයගේ ගෝණියත් කර තියාගෙන අම්බලමෙන් පිටත් වුණා. ටික වෙලාවකින් රයිගමයත් අවදි වුණා. වටපිට බලනවිට ගම්පලයා හිටියේ නැහැ. ගම්පලයගේ උරය තිබුණත් තමන්ගේ උරය තිබුණේ නැහැ. “ගම්පලයා රැවටුණා. බුලත් ටික තියලා මගෙ කිතුල් ඇට ගෝණිය අරගෙන ගිහින්. මගේ වාසනාව කියලා” රයිගමයා හරිම සතුටින් අර ගම්පලයගේ බුලත් ගෝණියත් කරේ තියාගෙන නගරයට ගියා.

දැන් හොඳට එළිය වැටිලා. නගරයට ගිය ගම්පලයා ,” මුදලාලි පුවක් තියෙනවා ගන්නවද ?” ඇහුවා. ගමේ මුදලාලි පුවක් ගන්න කැමැති වුණා. ගම්පලයා ගෝණියේ කට ලෙහලා පුවක් ටික බිමට හැලුවා.” හත් දෙයියනේ !” ගම්පලයා ඔළුවේ අත තියාගත්තා. ඒ ගෝණිය පිරෙන්න තිබුණේ කිතුල් ඇට .

රයිගමයත් බුලත් විකුණගන්න හිතාගෙන ගෝණිය ලෙහලා බැලුවාම තිබුණේ ගම්මිරිස් කොළ. ” ගම්පලයා රැවටුණා කියලා හිතුවට අන්තිමේ දී මමත් රැවටුණා” කියලා රයිගමයට කියැවුණා.

අන්තිමේ දී රයිගමයයි , ගම්පලයයි දෙන්නම රැවටුණා.

චතූ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department