පුංචි දුවේ පුතේ, අද අපි ඔයාලාට කියන්න යන්නේ උඩරට නිදහස් අරගලයේ රන් අකුරින් ලියවුණු නාමයක් ගැනයි. ඒ තමයි මොණරවිල වීර කැප්පෙටිපොළ මහ දිසාව. ඔහුගේ උපන් බිම මාතලේ දිසාවේ උතුරු මාතලේ උඩුගොඩ උඩසිය පත්තුවේ මොණරවිල ග්‍රාමයයි. මොහුගේ පියා රාජාධිරාජසිංහ රජ සමයේ දියවඩන නිලමේ ධුරය දැරූ ගොලහැල හෙවත් කැප්පෙටිපොළ නිලමේ ය. මව මොණරවිල කුමාරිහාමි ය. සහෝදරයකු සහ සහෝදරියක් කැප්පෙටිපොළ දිසාවට හිටියා. ඔහුගේ සහෝදරිය ඇහැළේපොළ නිලමේ සමඟ විවාහ වුණා. ඇය තමයි දුවේ පුතේ, ඇහැළේපොළ කුමාරිහාමි. මොණරවිල කැප්පෙටිපොළ නිලමේ දෙල්වල කුමාරි සමඟ විවාහ වුණා. ඇයත් සිංහල ජාතියට බෞද්ධාගමට හිතැති සිංහල කුල කතක්. මේ නිසා සිංහල ජාතිය වෙනුවෙන් සේවය කිරීමට මොණරවිල දිසාවට ලොකු ශක්තියක් වුණා.
හිරු නොබසින අධිරාජ්‍යයට එරෙහිව 1817 වසරේ මැද භාගයේදී ඌව වෙල්ලස්ස කැරැල්ල ආරම්භ වූයේ බින්තැන්නේ ආදිවාසීන් ගෙනි. කොහු කුඹුරේ රටේ රාල සහ බූටෑවේ රටේ රාල සමඟ ඌව වෙල්ලස්ස කොඩිය අතින් ගත් කිවුලේ ගෙදර මොහොට්ටාල ඇතුළු ඌවේ සටන්කාමීන් හා එම සටන් මර්දනය කිරීමට ඉංග්‍රීසි හමුදාවත් සමඟ පැමිණි මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාව අළුපොතදී මුහුණට මුහුණලා මුණ ගැසුණා.
මේ නිසා සිංහල සටන්කාමීන් මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාවට චෝදනා නැඟුවා. අනතුරුව සිංහලයේ නාමයෙන් බ්‍රිතාන්‍යයන්ට එරෙහිව කෙරෙන සටනේ නායකත්වය භාරගන්නා ලෙස ඌවේ සටන්කාමීන් කැප්පෙටිපොළ මහ දිසාවට ඇරයුම් කළා. ” එසේ වේවා” යැයි කියූ මොණරවිල කැප්පෙටිපොළ දිසාවේ බ්‍රිතාන්‍ය කොඩිය ඉංග්‍රීසි කපිතාන් අතට දී ” තොපගේ මේ කොඩියත්, තොපගේ ආයුධත් රැගෙන ආපසු යනු. තොපගේ තුවක්කුවලින් තොපට පහරදීම සිංහලයන්ට මදිකමක්. කැප්පෙටිපොළ දිසාව ඉංග්‍රීසීන්ගෙන් සිංහලේ නිදහස් කරගැනීම පිණිස සටන් වදින බව මහනුවර ඒජන්ත තැනට දන්වනු” යනුවෙන් කැප්පොටිපොළ මහ දිසාව මහ හඬින් කෑගැසුවා. ඌව වෙල්ලස්සෙන් ඇරැඹුණ මේ සටන ජාතියේ නිදහස පතා රට පුරාම පැතිරී ගියා. ඒ සමඟම ජයග්‍රාහී අරමුණ කරා ළඟා වෙනවා යන අදහස හැමදෙනා අතරම ඇති වුණා. ඒත් දුවේ පුතේ, මේ වන විට උඩරට නිලමේවරුන් අතර මත ගැටුම් ඇති වුණා. මේ නිසා ම ජනතාව අතර ඇති සටන්කාමී අදහස් කෙමෙන් කෙමෙන් නැති වී ගියා.
මොණරවිල වීර කැප්පෙටිපොළ වටා ජනතාව නිරායාසයෙන්ම රොක් වුණා. බ්‍රිතාන්‍ය ආණ්ඩුවට මේ තත්ත්වය කිසිසේත්ම බලාගෙන සිටීමට නොහැකි වුණා. වීර කැප්පෙටිපොළ සෙවීමේ විවිධ මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. බ්‍රිතාන්‍ය ආණ්ඩුව වීර කැප්පෙටිපොළ පිළිබඳ මේ ආකාරයෙන් නොනවත්වාම සෝදිසි කිරීම සිදු කළා. මේ කාලයේ දී අනුරාධපුරයේ පුලියන්කුලමේ පිහිටි බ්‍රිතාන්‍ය යුද කඳවුරේ සිටි ලෙෆ්ටිනන්ට් විලියම් ඔනිල්ට ඔත්තුවක් ලැබුණා. මේ අනුව බ්‍රිතාන්‍ය පාලකයන් නීතිය ක්‍රියාත්මක කර, වර්ෂ 1818 ඔක්තෝබර් මස 28 වැනි දා කැප්පෙටිපොළ දිසාව අත්අඩංගුවට ගත්තා. වර්ෂ 1818 නොවැම්බර් මස 26 වැනිදා බෝගම්බර වැව අසලදී මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාවගේ සහ මඩුගල්ලේ නිලමේතුමාගේ හිස ගසා දැමීමට නියම වුණා.
ධර්මය කෙරෙහිම නිරන්තරයෙන් අවධානයෙන් මෙන් ම අවබෝධයෙන් සිටි මොණරවිල කැප්පෙටිපොළ දිසාව තම ඉණෙහි සඟවාගෙන සිටි ධම්මපදය සහිත කුඩා පුස්කොළ පොතක් අතට ගත්තා. එය කෙරෙහි ඉතාමත් භක්තියෙන් බැලූ කැප්පෙටිපොළ දිසාවේ ඉන් පේළි දෙක තුනක් ඉතාමත් ඕනෑකමින් කියෙව්වා. අනතුරුව වධකයා දෙසට හැරුණු ඔහු, “වධකය, එක කඩු පහරින් මාගේ ගෙල සිඳ දමව්.” කියා “ඉතිපිසො භගවා අරහං” යන පාඨය හඬනගා කියමින් හිස සමඟ ගෙල දඬුකඳ මත තැබුවා. ඔහුගේ මුවින් “අරහං” යන වචනය පිටවනවාත් සමඟම වධකයාගේ කඩු පහරින් කැප්පෙටිපොළ දිසාවගේ හිස වෙන් වුණා. ඉතින් දුවේ පුතේ, මෙලෙස කඳීන් වෙන් වූ හිස උඩරට සිරිතට අනුව ඔහුගේ සිරුරේ රස්නය නික්ම ගිය පසු පපුව මත තැබුවා. මේ දුක්මුසු පුවත සිංහල ජාතියේ සියලුදෙනාගේ දෑස් කඳුළින් තෙත් කරන මොහොතක් වුණා. බොහෝදෙනා වීර නායකයකුගේ නික්මයෑම පිළිබඳ හදවතින්ම කම්පා වුණා.
කැප්පෙටිපොළ දිසාවගේ හිස ගසා දැමීමේ පුවත සහ වෙල්ලස්ස නිදහස් කැරැල්ල ලෝක ඉතිහාසයේම රන් අකුරින් ලිය වුණා. වීර කැප්පෙටිපොළගේ හිස එංගලන්තයට ගෙන ගොස් වෛද්‍ය පර්යේෂණ කිරීමෙන් අනතුරුව එඩින්බරෝ කෞතුකාගාරයේ තැන්පත් කොට තිබී වර්ෂ 1954 නොවැම්බර් මස 26 වැනිදා යළිත් ශ්‍රී ලංකාවට ගෙන ආවා. වීර කැප්පෙටිපොළ දිසාවට කරන ගෞරවයක් ලෙස ඔහුගේ හිස මහනුවර මහමළුවේ ශ්‍රී දළදාවහන්සේ අබියස තැන්පත් කර එහි ස්මාරකයක් ද ඉදි කළා. පුංචි දුවේ පුතේ, මෙවැනි වීරයන් අපේ ශ්‍රී ලාංකික ඉතිහාසය බැබළූ අයයි. මේ නිසා දුවලා පුතාලා මෙවැනි වීරයන් ගැන දැන ගැනීම ඉතාමත් වැදගත් වෙනවා.
වන්දනා අබේසේකර