එකමත් එක කාලයක බෙතුෂ්කා නම් කුඩා දැරියක් සිටියා. ඇය ජීවත් වූයේ ඇගේ මව සමඟයි. දුප්පත් වූ ඔවුන්ට තිබුණේ අබලන් වූ කුඩා නිවෙසක් සහ එළුවන් දෙදෙනකු පමණයි. දුප්පත් වුවත්, බෙතුෂ්කා සැම විටම සිටියේ හරිම සතුටින් සහ සැහැල්ලුවෙනුයි.
වසන්ත ඍතුවේ සිට සරත් ඍතුව දක්වා බෙතුෂ්කා සෑම දිනකම බර්ච් කැලෑවේ තණබිම් වෙත එළුවන් ගෙන ගියා. සෑම උදෑසනකම ඇගේ මව පාන් කැබැල්ලක් සහ හණ නූල් කටින ඉද්දක් ඇගේ බෑගයට දැමුවා. ඇය එළුවන් දෙස බලා සිටියදී හණ නූල් කටින්නට පුරුදු වී සිටියා. නූල් කටින ඉද්දේ දණ්ඩක් නොතිබූ නිසා හණ නූල් කැලෑව වෙත ගෙන යෑමට ඇය එම හණ නූල් ඇගේ හිස වටා කරකවා දමා ගත්තා.
“වෙහෙස මහන්සි වී වැඩ කරන්න බෙතුෂ්කා. ඔයා ආපහු ගෙදර යන්න කලින් ඉද්දෙන් නූල් කැටලා නූල් ගොඩක් සකසා ගන්න ” ඇගේ මව නිතරම පැවසුවා.
බර්ච් කැලෑවට යන මඟ දිගේ ගායනා කරමින් බෙතුෂ්කා ඇවිද ගියා. ඇය එළුවන් තණ බුදින තුරු බර්ච් කැලෑවේ බර්ච් ගස් අතර නැටුවා. නටලා ඉවර වෙලා බර්ච් ගසක් යට වාඩි වුණා. ඇගේ වම් අතෙන්, ඇය තම හිස වටා ඇති හණවලින් කෙඳී ඇද, ඇගේ දකුණු අතින් ඇය නූල් කටින ඉද්ද වේගයෙන් කැරකුවා. ඇය සතුටින් ගීත ගායනා කළ සෑම විටම එළුවන් බර්ච් ගස් අතර කොළ පැහැති තණකොළ රස බැලුවා.
ඉර මුදුන් වී දහවල් වූ විට, බෙතුෂ්කා ඇගේ නූල් කැටීම නැවැත්තුවා. ඇය එක් එක් එළුවන්ට පාන් කැබැල්ල බැගින් දී ඉතිරි වූ පාන් කැබැල්ල සමඟ කෑමට කැලෑවෙන් කැලෑ ස්ට්‍රෝබෙරි ගෙඩි කිහිපයක් කඩා ගත්තා. කෑම කා අවසන් කළ පසු ඇය නැවතත් නැටුවා. ඉර වඩාත් උණුසුම් ලෙස බැබළුණු අතර, කුරුල්ලෝ වඩාත් මිහිරි ලෙස ගායනා කළා.
නැටුමෙන් පසු, බෙතුෂ්කා නැවතත් කාර්යබහුල ලෙස ඉද්ද කරකවමින් නූල් කටින්න පටන් ගත්තා. සවස් වරුවේ ඇය එළුවන් රැගෙන ගෙදර යන විට කටින ලද හණ නූල් ගොඩක් තම මවට දීමට ඇයට හැකි වුණා.
වසන්ත ඍතුවේ එක් සුන්දර දිනයක, බෙතුෂ්කා සුපුරුදු පරිදි බර්ච් කැලෑවට ගොස් නටන්නට සූදානම්
වූ විට, හදිසියේම ඇය ඉදිරියේ ඉතා සුන්දර තරුණියක් පෙනී සිටියා.
ඇගේ සුදු ඇඳුම සිනිඳු මකුළු දැල් මෙන් සිහින්ව ඇය වටා පාවී ගිය අතර, ඇගේ රන්වන් හිසකෙස් ඇගේ ඉණ දක්වා ගලා ගියා. කැලෑ මල්වලින් සැකසූ ඔටුන්නක් ඇගේ හිසේ තිබුණා. බෙතුෂ්කා පුදුම වී ඇය දෙස මිත්‍රශීලිව බලා සිටියා.
කැලෑ සුරංගනාවිය ඇය දෙස බලා සිනාසී මිහිරි කටහඬකින් මෙසේ ඇසුවා, “බෙතුෂ්කා, ඔබ නටන්න කැමැතිද?”
මෙවිට බෙතුෂ්කා හනිකට මෙසේ පැවසුවා “අනේ! මට දවස පුරාම නටන්න පුළුවන්! ”
“එන්න, එහෙනම් අපි එකට නටමු. මම ඔයාට ලස්සනට නටන්න උගන්වන්නම්” ඇය බෙතුෂ්කා සමඟ නටන්න පටන් ගත්තා.
ඔවුන් වටේට කැරකෙමින් රවුමට රවුමට නටද්දී ඔවුන්ගේ හිසට ඉහළින් මිහිරි සංගීතයක් ඇසෙන්නට වුණා. බර්ච් ගස්වල වාඩි වී සිටින කුරුල්ලන්ට ඔවුන් කැටුව ඉගිළී යන ලෙස කැලෑ සුරංගනාව ඉල්ලා සිටියා. නයිටිංගේල්, ලාර්ක්, රන් ෆින්ච්, ත්‍රෂ් සහ තවත් කුරුල්ලන් මිහිරි තනු ගායනා කළ අතර, බෙතුෂ්කාගේ හදවත ප්‍රීතියෙන් පිරී ගියා. ඇයට ඇගේ එළුවන් සහ ඇගේ නූල් කැටීම අමතක වුණා. හිරු බැස යනවිට අහසේ දිස්වන අන්තිම රෝස පැහැති කිරණ ද නොපෙනී ගොස් සැන්දෑ වන තුරුම බෙතුෂ්කා කිසිම වෙහෙසකට පත් නොවූ තම දෙපාවලින් නැටුවා.
එක්වරම සංගීතය නැවතුණු අතර, සුන්දර කැලෑ සුරංගනාවිය පැමිණි ලෙසම හදිසියේම
අතුරුදහන් වුණා.
බෙතුෂ්කා වටපිට බැලුවා. ඇය නූල් කැට තිබුණේ අඩක් විතරයි. ඇය දුකෙන් මෙන් එය තම බෑගයට දමාගෙන එළුවන් කැලෑවෙන් පිටතට රැගෙන ආවා. ඇය වෙනදා මෙන් නිවෙස බලා යන විට ගීත ගැයුවෙත් නෑ. තමන් බලා ගන්නා ආදරණීය පුංචි ගොපලු දැරිය අද ගීත නොගයන්නේ ඇයිදැයි එළුවන් ද පුදුම වුණා. තම යුතුකම අමතක කිරීම ගැන ඇය තමාටම සිතින් දොස් නැඟුවා. ඇය නැවත නම් මෙය නොකරන බව තීරණය කළා. නිවෙසට පැමිණි ඇය නිශ්ශබ්දව සිටි අතර, ඇගේ මව ඇයට අසනීපදැයි ඇසුවා.
“නෑ අම්මේ මට අසනීපයක් නෑ” බෙතුෂ්කා එසේ පැවසූ අතර, ඇය සිය මවට ඒ සොඳුරු කැලෑ සුරංගනාව ගැන කීවේ නැහැ. අඩක් පමණක් කැට තිබූ හණ නූල් ඇය සඟවා ගත්තේ අද දවසේ සිදු වූ පාඩුව ගෙවා දමන්නට හෙට දෙගුණයක් මහන්සි වන බවට තමන්ටම පොරොන්දු වෙමිනුයි. පසුදා උදෙන්ම බෙතුෂ්කා නැවතත් සුපුරුදු පරිදි ප්‍රීතියෙන් ගායනා කරමින් එළුවන් තණබිම් කරා රැගෙන ගියා. ඇය බර්ච් කැලෑවට ඇතුළු වී එදින දෙගුණයක් වැඩ කිරීමට අදහස් කරමින් ඇගේ ඉද්ද කරකවා හණ නූල් කැටීමට පටන් ගත්තා.
දහවල් වන විට එළුවන්ට කෑමට පාන් දුන් බෙතුෂ්කා කැලෑ ස්ට්‍රෝබෙරි ගෙඩි කිහිපයක් කඩා ගත්තා. ඒත් ඇය වෙනදා වගේ නැටුවේ නැහැ. ඇගේ එළුවන්ට ඇය මෙසේ කීවා.
“අද මම නටන්නේ නැහැ. මගේ කුඩා එළුවෝ”
“ඇයි ඔයා නටන්නේ නැත්තේ?”කටහඬක් ඇසුණා.
“එන්න මාත් එක්ක නටන්න” නැවතත් හඬක් ඇසුණා. ඒ සුන්දර කැලෑ සුරංගනාවයි.
ඒත් මෙවර බෙතුෂ්කා බිය වූ අතර, ඇය ලැජ්ජාවට ද පත් වුණා. ඇය කැලෑ සුරංගනාවට කලින් දවසේ නූල් කැටීමට අතපසු වූ සිදුවීම ගැන පැවසුවා.
“හිරු බැස යෑමට පෙර, මම මගේ නූල් කැටීම අවසන් කළ යුතුයි” ඇය පැවසුවා.
“ඔබ මා සමඟ නටනවා නම්, ඔබේ නූල් කැටීම අවසන් කිරීමට කෙනෙක් ඔබට උදව් කරයි” කියා සුරංගනාව පිළිතුරු දුන්නා. පෙර මෙන් කුරුල්ලන් ලස්සනට ගායනා කිරීමත් සමඟ බෙතුෂ්කාට සුරංගනාවට විරුද්ධ විය නොහැකි වුණා. ඇය සහ කැලෑ සුරංගනාව නටන්නට පටන් ගත් අතර, ඔවුන් සවස් වන තුරු දිගටම නැටුවා.
නැටුම අවසානයේදී බෙතුෂ්කා ඇගේ නූල් කටින ඉද්ද දෙස බලා දුක් වුණා. ඒත් කැලෑ සුරංගනාව බෙතුෂ්කාගේ හිසෙන් හණ ඉවත් කර, සිහින් බර්ච් ගසක් වටා එය පටලවා, නූල් කටින ඉද්ද අල්ලාගෙන කැරකෙන්නට පටන් ගත්තා.
නූල් කටින ඉද්ද පොළොව පුරා ගැවසුණු අතර, හණ නූල් වේගයෙන් කැටෙමින් තිබුණා. ඉර නොපෙනී යන විට හණ සියල්ලම කටිමින් ඉද්ද වේගයෙන් කැරකෙමින් තිබුණා. කැලෑ සුරංගනාව හණ සියල්ල සම්පූර්ණයෙන් කැට බෙතුෂ්කාට දෙන විට ඇය මෙසේ කීවා. “මතක තබා ගන්න, නූල් කටින විට මැසිවිලි නඟන්න එපා!”
. ඉන්පසු එක්වරම ඇය අතුරුදහන් වුණා.
බෙතුෂ්කාට දැන් සතුටුයි. ඇය ගායනා කරමින්, එළුවන් ගෙදර ගෙන ගොස්, ඇගේ මවට කටින ලද හණ නූල් සියල්ල දුන්නා. බෙතුෂ්කාගේ මව පෙර දින බෙතුෂ්කාට නූල් කැටීමට නොහැකි වීම ගැන සතුටු නොවූ අතර, ඒ ගැන ඇයගෙන් ඇසුවා. ඇය නැටූ බව බෙතුෂ්කා මවට පැවසූ නමුත් ඇය සුන්දර කැලෑ සුරංගනාව රහසක් ලෙස තබා ගත්තා.
ඊළඟ දවසේ බෙතුෂ්කා වෙනදාටත් කලින් බර්ච් කැලෑවට ගියා. ඇය ගායනා කරමින් නූල් කටිද්දී එළුවන් තණකොළ බුදිමින් සතුටු වුණා. දහවල් වන විට සුන්දර වන සුරඟන හෙවත් කැලෑ සුරංගනාව එහි පෙනී සිටියා. ඇය නැවතත් බෙතුෂ්කාව නටන්නට එක්කර ගත්තා. කුරුල්ලන් ඔවුන් වෙනුවෙන් මිහිරි ගීත ගායනා කළා. ඔවුන් දෙදෙනා දිගටම නැටූ අතර, බෙතුෂ්කාට ඇගේ නූල් කැටීම සහ එළුවන් අමතක වුණා.
හිරු බැස යන විට බෙතුෂ්කා වටපිට බැලුවා. එහි තිබුණේ අඩක් කැට ඉවර වුණු හණ නූල් පමණයි! ඒත් කැලෑ සුරංගනාව බෙතුෂ්කාගේ බෑගය අල්ලාගෙන, මොහොතකට නොපෙනී ගියා. නැවත පෙනී සිටි ඇය සැහැල්ලු යමක් පිරවූ බෑගය ආපසු බෙතුෂ්කාට ලබා දුන්නා. “ගෙදරට යන්න කලින් මේ බෑග් එක බලන්න එපා” සුරංගනාව ඇයට නියෝග කළ අතර, මේ වචන සමඟ ඇය අතුරුදහන් වුණා.
බෑගය දෙස බැලීමට එඩිතර නොවූ බෙතුෂ්කා නිවෙසට ගියා. ඒත් ටික දුරක් යන විට ඇයට බෑගයට එබිකම් නොකර සිටීමට නොහැකි වුණා. බෑගය ඉතා සැහැල්ලු බැවින් ඇය බිය වුණා. ඇය බෑගය දෙස බලා හඬන්නට වුණා. එය වියළි බර්ච් කොළවලින් පිරී තිබුණා! කෝපයට පත් වූ ඇය කොළවලින් ටිකක් බෑගයෙන් ඉවතට වීසි කළත් හදිසියේම ඇය එය නතර කළා. එළුවන්ට නිදා ගැනීමට වියළි බර්ච් කොළ හොඳ බව ඇයට මතක් වුණා. ඇය බර්ච් කොළ ටිකක් බෑගයේ ඉතිරි කර ගත්තා. ඇය ගෙදර යෑමට බිය වුණා. ඇගේ මව ඇය එනතුරු බලා සිටියා.
“ඔයා ඊයේ මට ගෙනාවේ මොන විදිහට කටින ලද නූල් ද?” ඇය ඇසුවා. “මම අද ඒ නූල් ටික පරීක්ෂාකර ඔතන්න පටන් ගත්තා. ඒවා ඉවර වුණේ නෑ. දිගටම කටින ලද නූල් එතුණා. ඒත් නූල් ඔතලා ඉවර වුණේම නෑ. දිගටම ඒකෙ නූල් පිරී තිබුණා. ‘මොකක් හරි ගුප්ත බලවේගයක් මේ ඉද්ද කරකවා නූල් කැටලා තියෙනවා.’ මව මැසිවිලි නැඟුවා. ඒ මොහොතේම නූල් සියල්ල අතුරුදහන් වුණා. මේකේ තේරුම මට කියන්න.”
ඉන්පසු බෙතුෂ්කා ඇගේ මවට කැලෑ සුරංගනාව සහ ඔවුන්ගේ නැටුම් ගැන පැවසුවා. “ඒ කැලෑ සුරංගනාවියක්!” කලබල වූ ඇගේ මව කෑගැසුවා. “කැලෑ සුරංගනාවියන් දවල් කාලයේදී සහ මධ්‍යම රාත්‍රියේදී කැලෑවේ නටනවා. ඔයා කුඩා පිරිමි ළමයෙක් වුණා නම්, ඔයා එයාගේ මායා බලයට අහු වෙනවා. ඒත් කුඩා දැරියන්ට කැලෑ සුරංගනාවියන් වටිනා තෑගි ලබා දෙනවා.”
ඊළඟට ඇය මෙසේ කීවා “ඔයා මට කිව්වේ නැති නිසා මම ඉද්ද ගැන මැසිවිලි නැඟුවනේ. මම මැසිවිලි නැඟුවේ නැත්නම් මට කටින ලද නූල්වලින් පිරුණු කාමරයක් ලැබෙන්න තිබුණා.”
බෙතුෂ්කාට එවිට ඇගේ බෑගය මතක් වුණා. එම බර්ච් කොළ යට යමක් තිබිය නොහැකිදැයි ඇය කල්පනා කළා. ඇය ඉද්ද සහ නොකටින ලද හණ එළියට ගත්තා. “බලන්න, අම්මා!”
එය බලා අම්මා අත්පුඩි ගැසුවා. ඉද්ද යට තිබූ බර්ච් කොළ රත්රන් බවට පත් වෙලා තිබුණා!
නිවෙසට පැමිණෙන තෙක් තම බෑගය දෙස නොබලන ලෙස කැලෑ සුරංගනාවිය ඇයට උපදෙස් දුන්නත් ඇය එයට අවනත නොවී බර්ච් කොළ කිහිපයක් ඉවතට වීසි කළ ආකාරය බෙතුෂ්කා ඇගේ මවට පැවසුවා. “‘මුළු මල්ලම හිස් නොකළේ වාසනාවට” ඇගේ මව පැවසුවා.
පසුදින උදෑසන බෙතුෂ්කා සහ ඇගේ මව බර්ච් කැලෑවට ගියේ බෙතුෂ්කා වියළි කොළ ඉවත දැමූ බිම දෙස හොඳීන් බැලීමටයි. නැවුම් බර්ච් කොළ පමණක් එහි වැතිරී තිබුණා. ඒත් බෙතුෂ්කා ගෙදර ගෙනා රත්රන් ටික ප්‍රමාණවත් වුණා එළදෙනුන් සහිත ගොවිපොළක් මිලදී ගැනීමට. එදා සිට බෙතුෂ්කා ලස්සන ඇඳුම් ඇඳ සිටියා. තවදුරටත් ඇයට එළුවන් තණකොළ කෑම සඳහා රැගෙන යෑමට ද සිදු වුණේ නැහැ. ඒ කෙසේ වෙතත්, කැලෑ සුරංගනාවිය සමඟ නැටූ තරම් සතුටක් වෙන කිසිම දෙයකින් බෙතුෂ්කාට ලැබුණේ නැහැ. බොහෝ විට ඇය සුන්දර කැලෑ සුරංගනාව දැකගැනීමට බලාපොරොත්තුවෙන් බර්ච් කැලෑව වෙත ගියත් නැවත කිසි දිනෙක කැලෑ සුරංගනාවිය පෙනී සිටියේ නැහැ.
චෙකොස්ලෝවැකියානු සුරංගනා කතාවක් ඇසුරින්
හර්ෂණී ගමගේ