Home » Blog » බුද්ධියේ කිරුළ පැලඳී ජනාධිපතිවරයා ඒබ්‍රහම් ලින්කන්

බුද්ධියේ කිරුළ පැලඳී ජනාධිපතිවරයා ඒබ්‍රහම් ලින්කන්

by thanushika
0 comments

ඔහු බොහෝ දෙනාට අවවාද කළේ නැත . අවවාදයට වඩා ආදර්ශය උතුම් බව ඒබ්‍රහම් ලින්කන් සිය චරිතයෙන් ම පසක් කර දීමට ඔහු සමත් වුණා. හැම විට ම තම චරිතයෙන් මානව හිතවාදී ගතිගුණ විදහා පෑමට ජනාධිපති වරයා උත්සාහ දැරුවා. මෙය කුඩා කාලයේ සිටම ඔහු පුරුදු පුහුණු කළ ගතිගුණයක් . දයාබර බව ඔහුට ආභරණයක්ම වුණා. ඉතින් දුවේ පුතේ, ඔයාලාත් හැම විටම අන් අයට ආදර්ශවත් වෙන්න. දයාබර වෙන්න. එවිට ඔබට බොහෝදෙනා ආදරය කරාවි. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා කුඩා කාලයේ සිටම බොහෝදෙනාට ආදරය කළා. ඔබත් සමාජයට ආදර්ශවත් ආකාරයට ජීවත් වුවහොත් ඔබෙන් සමාජයටත් ඔබටත් යහපතක් වේවි. ඉතින් දුවේ පුතේ, කියවලා බලන්නකෝ මේ ලිපිය. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයාගේ චරිතය ගැන ඔබට ගත හැකි ආදර්ශ බොහෝ තිබේවි.

විශේෂ තොරතුරු

අමෙරිකාවේ 16 වැනි ජනාධිපතිවරයා ය.

උපත – 1809 පෙබරවාරි 12 කෙන්ටකි, අමෙරිකා එක්සත් ජනපදය

ජාතිකත්වය – අමෙරිකානු ජාතික

පියා – තෝමස් ලින්කන්

මව – නැන්සි හැන්ක්ස්

බිරිය – මේරි ටෝව් ලින්කන්

දරුවන් – රොබට් ටෝඩ් ලින්කන්, එඩ්වඩ් ලින්කන්, විලී ලින්කන්, ටැඩ් ලින්කන්

වෘත්තිය – නීතිඥයෙක්, දේශපාලනඥයෙක්

ඥානවන්තයකු වෙන්න දරන උත්සාහය

බොහෝ දෙනා උපතින්ම බුද්ධිය රැගෙන ඒයැයි ඇතැම්හු පවසති. ඒත් එහි සත්‍යයක් නොමැති බව ලින්කන් මහතා පවසයි. ඕනෑම අඥානයකුට අවශ්‍යතාව ඇත්නම් ඥානවන්තයකු විය හැකි ය. එසේ කිරීමට අවශ්‍ය වන්නේ උනන්දුව පමණි. මේ නිසා කෙනකුට අවශ්‍ය වන්නේ අවශ්‍යතාව පමණි. තමන්ගේ දුර්වලකම් හඳුනන්නේ තමන් පමණක් බව ද පවසන ඒබ්‍රහම් ලින්කන් එය අවබෝධ කරගෙන එය නිවැරැදි කර ගත හැක්කේ ද තමන්ට පමණක් බව ද පවසයි. ඒ නිසා ම තමාගේ දෛවය වෙනස් කර ගත හැක්කේ තමාට පමණක් බව ද ලින්කන් පවසයි.

පුතුගේ ගුරුතුමියට යැවූ ලෝ ප්‍රකට ලිපිය

සිය පුතුගේ ගුරුතුමියට ලිපියක් ලියන ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා එයින් ගුරුතුමියට අවධාරණය කරන කරුණු කීපයක් තිබේ. වර්තමානයට ද මෙය අනර්ඝ වේ.

“ඔහු උගතෙක් විය යුතු බව දනිමි. සියලු මිනිසුන් සාධාරණ නැත. සත්‍යවාදී නැත. එහෙත් සෑම නොමිනිසකුට වීරයෙක් ද ආත්මාර්ථකාමී දේශපාලකයකුටම කැපවුණු නායකයෙක් ද සෑම සතුරකුට ම සහෘදයෙක් ද සිටින බවත් ඔහුට උගන්වනු මැනවි.

ඊර්ෂ්‍යාවෙන් ඉවතට ඔහු මෙහෙයවා සන්සුන්ව සතුටේ රසය විඳගැනීමටත්, ඔහුට උගන්වනු මැනවි. දුර්වලයා තළා පෙළන්නා වැඩිකල් නොගොස් ඒ සඳහා පසු තැවෙන බව ඔහුටම තේරුම් ගැනීමට ඉඩ හරිනු මැනවි. පොත්පත්වල සැඟවුණු ආශ්චර්යය ඔහුට උගන්වන ගමන්ම අහසේ පියාසලන කුරුල්ලාගේ සදාතනික මුණු මුණුවේ ද හරිත කඳු වැටි අසබඩ විල්ගොමුවල විහඟ මී මැසි නාදයේ ද අසිරිය විඳ ගැනීමට නිදහස ඔහු හට ලබා දුනමැනවි.

ලෝකයාගේ ගැරහුමට ලක් වුවද තම අදහස් මත විශ්වාසය ගොඩනඟා ගැනීමට ඔහුව පුරුදු පුහුණු කළ මැනවි. සුමුදු හදවත් අතර සුමුදු වීමටත්, රළු පරිසරයක දී රළු වීමටත්, අවශ්‍ය ශක්තිය ඔහුට ලබා දෙනු මැනවි. වැඩි දෙනකු අනුගමනය කළ පමණින්, යමක් අනුගමනය නොකිරීමට අවශ්‍ය ශක්තිය ඔහුට ලබා දීමට උත්සාහ කළ මැනවි.

ගෞරවනීය ගුරුතුමියනි, කඳුළු අතරින් සිනාසීමටත්, කඳුළු බිඳුවක ලැජ්ජාව නොදැනීමටත් විවේචනයට බිය නොවීමටත්, පමණට වැඩි ප්‍රශංසාවන්ගෙන් ප්‍රවේශම් වීමටත් ඔහුට කියා දෙනු මැනවි. ශක්තිය සහ මොළය උපරිම මිලකට අගය කිරීමටත්, එහෙත්, හදවත මෙන් ම ආත්මය ද මිල නොකරන ලෙසටත්, ඔහුට උගන්වනු මැනවි. අවශ්‍ය නැති දෙයක දී කලබලයකදී දෙසවන් වසා ගැනීමටත්, තමා නිවැරැදි යැයි සිතේ නම්, ඒ වෙනුවෙන් සටන් කිරීමටත්, ඔහුට උගන්වනු මැනවි.

දයාබර ගුරුතුමියනි, අනවශ්‍ය හුරතලයට ලක් නොකර ඔහුට මෘදු ලෙස සලකනු මැනවි. මන්දයත්, හොඳ වානේ පන්නරයක් ලැබෙන්නේ දැඩි ගින්දරකිනි. නොඉවසිලිමත් වීමට ශක්තියත්, නිර්භීත වීමට ඉවසීමත්, නිරන්තරයෙන් ම තමා කෙරෙහි අපරිමිත විශ්වාසයක් තැබීමට ඔහුට උගන්වනු මැනවි. එවිට පමණක් ඔහු සමස්ත මානව වර්ගයා කෙරෙහි අනන්ත වූ විශ්වාසයක් දක්වන්නේ ය. ගෞරවනීය ගුරුතුමනි, මෙය විශාල ඇණවුමකි. එහෙත්, කළ හැකි දේ කුමක්දැයි බලනු මැනවි. මේ අපූර්වතම කුඩා පැටියා මගේ ආදරණීය පුතුම ය.”

තරුෂි නිර්මාණි

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department