Home » Blog » පෝතක බාලදක්ෂයන්ගේ ඉපදීම

පෝතක බාලදක්ෂයන්ගේ ඉපදීම

by thanushika
0 comments

මීට වසර 110කට පෙර එනම් වර්ෂ 1913 දී බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවෙල් සාමිවරයා ගැටලුවක් ලෙස සලකනු ලැබූ කරුණක් විය. එනම් වයස අවුරුදු12ට අඩු ළමයින් සඳහා කුමක් කළ යුතුද යන්නයි.බේඩ්න් පවෙල් සාමිවරයා බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කිරීමේදී වයස අවුරුදු12ට අඩු ළමයින් සඳහා පුහුණු යෝජනා ක්‍රමයක් කිසිවිටෙක අපේක්ෂා නොකළේය. එමෙන්ම එය ගැහැනු ළමයින්ට ද අදාළ විය. පසුව ගැහැනු ළමයින් ඔවුන්ට වෙන්ව පිහිටුවා ගත් බාලිකා මාර්ගෝපදේශක ( ට්ඪපත ට්භඪඤඥඵ ) ව්‍යාපාරය නිසා ඒ කරුණ මඟ හැරුණු නමුත් පිරිමි ළමයින් පිළිබඳ ගැටලුවට බේඩ්න් පවෙල් මුහුණ දෙන්නට විය.

මෙම ගැටලුව මතුවීමට ප්‍රධාන හේතුව වී තිබුණේ සමහර ළමයින් තමන්ට වඩා විශාල තොප්පි හා කොට කලිසම් හැඳ තමන්ට වඩා දෙගුණයක් උස යෂ්ටි අතැතිව හා තමන්ට නොගැළපෙන ක්‍රියාකාරකම්වල නියැළී සිටීම ය. සමහර බාලදක්ෂ කණ්ඩායම් තමන්ගේ පිරිස වැඩි කර ගනු පිණිස අඩු වයසේ ළමයින් ද බඳවා ගෙන තිබිණි.

මේ පිළිබඳ බ්‍රිතාන්‍ය බාලදක්ෂ මූලස්ථාන කමිටු සාමාජිකයකු වූ සර් පර්සි එවරෙට් එම කමිටුවට කියා සිටියේ මෙය බරපතළ ගැටලුවක් බවත් කුඩා ළමයින් බාලදක්ෂයන් ලෙස වෙස් මුහුණු පලඳින බවත් පෙනී යන බවයි . සමහර වයස 7ක් තරම් වූ ළමයින් වඩා විශාල නිල ඇඳුම් අඳීන බවත් එය බාලදක්ෂ ව්‍යාපාරයේ උපහාසයට හා සිනාවට කරුණක් බවයි.

මේ පිළිබඳ සැලකිලිමත් වූ බීපී මේ සඳහා සුදුසු යෝජනා ක්‍රමයක් සකස් කරන මෙන් එවරෙට්ගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව එවරෙට් විසින් සකස් කරන ලද යෝජනා ක්‍රමයේ කෙටුම්පත 1913 නොවැම්බර් මස බීපී වෙත යවන ලදි.

මෙම යෝජනා ක්‍රමයේ ප්‍රධාන කොටස් 4ක් විය.

1.ළමයාගේ කැමැත්ත පරිදි බාලදක්ෂයකු ලෙස එක්වීමට හැකි වූවද එය අවු 9 – 12 දක්වා විය යුතු ය.

2.ප්‍රසිද්ධ බෝයිස් ඔෆ් ප්ලේන් තොප්පිය වෙනුවට කහ පයිපින් දාර සහිත කොළ පාට තොප්පිය සමඟ බාලදක්ෂ නිලඇඳුම හා එයට අදාළ උරහිස් පටි,ලාංඡන හා යෂ්ටිය ඇතුළත් නොවී ය . (පසු කලෙකදී මෙය වෙනස් වී පෝතක අංශයට වෙනස් නිලඇඳුමක් නිර්දේශ විය )

3.සාමාජික පදක්කමේ සිට ප්‍රගතිය දක්වන පුහුණු ක්‍රමයක්.

4.ඔවුන් සඳහා අත්පොතක් නිකුත් කිරීම.

මෙයට ප්‍රතිචාර දක්වමින් බීපී කියා සිටියේ දැනට පවතින කනිෂ්ඨ බාලදක්ෂ යන්නෙහි වෙනසක් සිදු නොවන බවත් නව යෝජනා ක්‍රමය සඳහා නමක් සඳහා බලාපොරොත්තු වන බවත් ය. එවරෙට්ගේ කොළපාට තොප්පිය සම්බන්ධයෙන් කියා සිටියේ තමා කාකි පාට නාවිකයකුගේ තොප්පිය යෝජනා කිරීමට සූදානමින් සිටි බවයි. බීපී මේ සඳහා නම ලෙස අදහස් කර සිටින්නේ “නීපර්ස් ” යනුවෙන් බවත් දන්වා සිටියේය .

මේ ආකාරයෙන් දෙදෙනා අතර ලිපි ගණනාවක්ම හුවමාරු විය. මෙම නව යෝජනා ක්‍රමය පිළිබඳ මූලස්ථාන කමිටුව විසින් ප්‍රවේශමෙන් සලකා බැලූ අතර, එය පර්යේ්ෂණාත්මක පදනමක් මත අනුමැතිය ලද බව 1914 ජනවාරි මූලස්ථාන ගැසට් පත්‍රය මඟින් දැනුම් දෙන ලදි. එසේ අනුමත යෝජනා ක්‍රමයට පොරොන්දුව ,පළමු තරුව හා දෙවැනි තරුව සඳහා වූ පරීක්ෂණය යන සියල්ල ඇතුළත් වී තිබිණි.

මේ අවධිය වන විට පළමු ලෝක යුද්ධය ආරම්භ වී තිබූ අතර, පිරිමි ළමයින් සඳහා වූ නව යෝජනා ක්‍රමයේ අත්හදා බැලීම් වෙනසක් නොවී ක්‍රියාත්මක විය.

මෙම නව යෝජනා ක්‍රමය සාර්ථක වූවාද යන්න පිළිබඳ දෙවැනි කොටසින් බලාපොරොත්තු වන්න.

ධර්මලාල් ගුණවර්ධන

බාලදක්ෂ ආචාර්ය

නාලන්දා විද්‍යාලය

කොළඹ

********************

කෑගල්ල දිස්ත්‍රික් බාලදක්ෂ රැලිය සාර්ථකව අවසන් වේ

 

කෑගල්ල දිස්ත්‍රික් බාලදක්ෂ රැලිය (02 වැනි කැබෝරිය) ජූලි මස 27 – 28 දිනයන්හිදී කෑගල්ල රඹුක්කන අශෝක මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කඳවුරු නායක ලෙස දිසා බාලදක්ෂ කොමසාරිස් ප්‍රසාද් වල්පොල මහතා කටයුතු කළ අතර, සහය දිසා කොමසාරිස් (වැඩසටහන්) සාමකුමාර හේරත් මහතා විසින් මෙය සංවිධානය කර තිබිණි.

සමාරම්භක උලෙළ සඳහා සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ දර්ශනී ඉද්දමල්ගොඩ මහත්මිය ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

කඳවුරු ක්‍රියාකාරකම් රැසක් පැවති අතර, මහජන ගිනිමැලයක් ද පැවැත්විණි.

මෙහිදී තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය ප්‍රථම ස්ථානය ද, කෑගලු විද්‍යාලය දෙවැනි ස්ථානය ද, ශාන්ත මරියා මහා විද්‍යාලය තෙවැනි ස්ථානය ද, බාධිබියියා මහා විද්‍යාලය නැඟී එන කණ්ඩායම වශයෙන් ද කුසලාන දිනා ගන්නා ලදි.

නුවන් කොඩිකාර

**********************

රුහුණු විශ්වවිද්‍යාලයේ මානවක සමාජයට නවකයන් බඳවා ගැනෙයි

රුහුණු විශ්වවිද්‍යාලයේ මානවක සමාජය සඳහා ආධුනිකයන් බඳවා ගැනීම පසුගියදා එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු, රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන යන මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේ රුහුණු විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ග උපදේශක ඒකකයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තුසිත ගුණවර්ධන, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සහාය ප්‍රධාන කොමසාරිස් ශ්‍රීලත් ද සිල්වා මහත්වරුන්ගේ උපදේශකත්වයෙන් සහ වෘත්තීය පුහුණු උපදේශක සහ මානවක බාලදක්ෂ ආචාර්යවරුන් වන නිලන්ත කලන්සූරිය, ශ්‍රීනාත් යන මහත්වරුන්ගේ නායකත්වය යටතේ ආධුනිකයන් බඳවා ගැනීම සිදු කෙරිණි. දෙවැනි ජාතික මානවක සමාජය ලෙස රුහුණු විශ්වවිද්‍යාලයේ මානවක සමාජය ක්‍රියාත්මක වේ. මේ අවස්ථාවට සහය මූලස්ථාන කොමසාරිස් ඉන්දික ප්‍රසන්න, සහය දිසා කොමසාරිස් (බාලදක්ෂ) ජේ.කේ. චමින්ද යන මහත්වරු ද එක්ව සිටියහ.

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department