Home » Blog » මිහිර බෙදන දැනුම් තක්සලාව

මිහිර බෙදන දැනුම් තක්සලාව

by lakehouse
0 comments

ළමා විය සිහිපත් කරන විට කිසිවිටෙකවත් මිහිර අමතක කළ නොහැකි ය. කවි රචනා මෙන්ම චිත්‍රවලින් අලංකාර වූ මිහිර පුවත්පතට දැනුම බෙදන දැනුම් තක්සලාවකි. එදා මිහිර කියවූ අප එදා මෙන් අදට ද පුංචි දූ පුතුන් වෙනුවෙන් එවැනි ආකාරයෙන්ම දැනුම බෙදන්නෙමු. එදා මිහිර පුවත්පත කියවීමෙන් සහ මිහිර පුවත්පතෙහි කියවූ ලිපි එකතු කිරීමෙන් මා ලබාගත් දැනුම අපමණ ය. ඒ අතරතුර මිහිරට ලිපි ලිවීමට ද මට භාග්‍යය ලැබිණි. එයින් මා හට මාගේ ලිවීමේ හැකියාව ප්‍රගුණ කිරීමට ද අවස්ථාවක් ලැබුණේ නිරායාසයෙනි. මේ ආකාරයට බොහෝ දෙනා තමන්ගේ හැකියාව දියුණු කරගත් අවස්ථා බොහෝ තිබුණ බව එකල මිහිර පුවත්පතෙහි පාඨකයකු වූ මට හැඟිණි. එදා මිහිර පුවත්පතෙහි පාඨකයකු වූ මට පසුකලෙක මිහිර පුවත්පතෙහි නියෝජ්‍ය කර්තෘ පදවිය හෙබවීමට අවස්ථාව ලැබිණි. එයින් පසු මිහිර පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ පදවිය දැරීමට ද මට හැකියාව ලැබිණි.

සෑම සඳුදාවකම දූ පුතුන්ට දැනුම විනෝදය මිහිර රැගෙන මිහිර පුවත්පත පැමිණියේ ය. වර්තමානයට ගැළපෙන විශේෂාංග, පාසල් පුවත් සහ පුංචි ඔබේ දස්කම් නිරූපණය කරන පුංචි හපන්නු විශේෂාංග ලිපි ඒ අතර වේ. දක්ෂතාවලින් පිරිපුන් පුංචි ඔබට නව වේදිකාවක් සාදා දෙමින් දස්කම් දක්වන පුංචි හපන්නු පිළිබඳ මිහිර පුවත්පතෙහි විශේෂාංග ලිපි පළවන අතර, ඔවුන්ගේ දක්ෂතා නව මාධ්‍යයට යොදා ගනිමින් මිහිර යූටියුබ් එක මඟින් මිහිරට ප්‍රිය කරන සියලු දෙනාට නැරැඹීමට අපි අවස්ථාව සලසා දුන්නෙමු. මේ ආකාරයටම මිහිර ෆේස්බුක් එක ඔස්සේ ද නව විශේෂාංග රැසක් මිහිර පුවත්පත සම්බන්ධ කරමින් ඔබ වෙත ගෙන එන්නේ පුංචි ඔබේ දස්කම් ඉදිරිපත් කිරීමට වේදිකාවක් සකස්කර දෙමිනි. මේ ඔස්සේ දේශයේ විවිධ ස්ථානවල සිටින දූ පුතුන් මිහිර ඩිජිටල් මැදිරියට ගෙන ඒමට මිහිර පුවත්පතට හැකි විය. ඒ සමඟ ඒකාබද්ධ වෙමින් මිහිර පුවත්පත ඔස්සේ ගොඩනැඟුණු ළමා සමාජ ජාලයේ දූ දරුවෝ නිරන්තරයෙන් අපේ පුවත්පත සමඟ සම්බන්ධ වූහ. මේ නිසා පුංචි ලේඛකයෝ යනුවෙන් අලුත් විශේෂාංගයක් පාඨක ඔබ වෙත ගෙන ඒමට ද අපට හැකියාව ලැබිණි. තරු විදුනෙත, රොබෝ තාක්ෂණය, ශිෂ්‍යත්වය, පුංචි ඔබේ ඉංග්‍රීසි ගුරුවරයා, දඟකරන පැංචෝ ළමා නවකතාව, මිහිරයි පාසලයි, විදුබිමේ තරුව, බස යෙදෙන අයුරු, හර්ෂි නැන්දාගෙන් අහන්න , හෙට ලෝකය අපෙයි, දැනුම පොත වැනි විශේෂාංග රැසක් ද සතිපතා ඔබ වෙත ගෙන එන්නෙමු. මේ වන විට මිහිර පුවත්පත ඊ පුවත්පතක් ලෙස සතිපතා නිකුත් වන බැවින් අන්තර්ජාලය ඔස්සේ ඔබට එය කියවීමට අවස්ථාව ලැබී ඇත.

1964 ජුලි මස 27 වැනි දා ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ දිවංගත ඩී. ආර් විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ උපදේශකත්වයෙන් ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ නම් ජ්‍යෙෂ්ඨ කතුවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹි මිහිර පරම්පරා ගණනක දැනුම් අවශ්‍යතාව සපුරාලයි. මේ වන විට මිහිර කර්තෘ මණ්ඩලයේ මා සමඟ මාධ්‍යවේදිනී හර්ෂණී ගමගේ (හර්ෂි නැන්දා) සහ නිර්මාණ කර්තෘ චාම් නිර්මාණ් ජයලත් මාමා පුංචි ඔබ වෙනුවෙන් නිර්මාණදායකත්වය ලබා දෙති. ඔවුහු පුවත්පතෙහි සෑම වැඩකොටසක්ම ඇපකැප වී සිදු කරති. මේ හැරුණු විට පිටු සැකසුම් අංශයේ චක්ෂු මාමා ඇතුළු මාමලා නැන්දලාගෙන් ද අපට උපරිම සහායක් ලැබෙයි. ඡායාරූප අංශයේ රුවන් මාමා ඇතුළු පිරිසත්, පරිගණක අක්ෂර සංයෝජනයෙන් සහාය වන පත්මේන්ද්‍රා පල්ලිය ගුරුගේ නැන්දා සහ මයුරංග සිරිවර්ධන මාමාත් සෝදුපත් අංශයේ නුවන් මාමා ඇතුළු පිරිස ද ඔබ වෙනුවෙන් නොමඳ සහයක් අපට ලබා දෙති. එමෙන්ම ලේක්හවුස් පුස්තකාලයාධිපති රසිකා නෙලන්ති නැන්දා ඇතුළු පුස්තකාල කාර්යය මණ්ඩලයත්, ලේක්හවුස් ඡායාරූප අංශයේ විමල් මාමා ඇතුළු පිරිසත් ඔබ වෙනුවෙන් අපට නොමඳ සහායක් ලබා දෙති. තොරතුරු තාක්ෂණ අංශයේ මාමලා සහ නැන්දලාටත්, වෙබ් සහ ඩිජිටල් අංශවල නැන්දලා සහ මාමලාටත්, නිෂ්පාදන අංශයේ සමන්ත ජයවීර මාමා ඇතුළු පිරිසටත්, පුවත්පත මුද්‍රණය වන කාලවකවනුවේදී මිහිර පුවත්පත මුද්‍රණයට කැපවූ නයනජිත්, රජිත, චින්තක මාමලා ඇතුළු පිරිසත් මෙහිදී ඔබ වෙනුවෙන් කැපවී සේවය කරන බව ඔබට දන්වමි. ඒ සහාය පුවත්පතෙහි මුද්‍රණය අලංකාර කරගැනීම සඳහා ය.

මීට පෙර අපත් සමඟ සේවය කළ සුසන්ත මාමාත්, මංජුල මාමාත්, ඉන්දු, දේවිකා, ආත්මා, සමුද්‍රිකා, ඉරූෂා, ජයමිණී, දීපානි, ලාංකිකා,ශෂිකා, නිලන්ති, යසෝදා යන නැන්දලාත්, බාහිරව ලිපි රචනා සැපයූ කීර්ති මාමාත්, නවෝද්‍යා, උත්පලා, රුක්ෂිලා, සිතුමිණි,ජනේශ්වරී, නදීෂා යන නැන්දලාත් ආදරයෙන් මතක් කරමි. මේ සියලු දෙනා ඔබ වෙනුවෙන් කැපවූ අයයි. මේ අතර පුවත්පතෙහි මීට පෙර සේවය කළ චාමර කවිරත්න මාමාත් සචිත් තරංග මාමාත් මතක් කරමි.

චිත්‍රවලින් පුවත්පත හැඩ කළ චිත්‍ර ශිල්පීන් වන හරිප්‍රිය ගුණසේකර , එස්. ඒ. දිසානායක, නොයෙල් ලසන්ත, රුවන් කිත්සිරිලියන පතිරණ, නිහාල් විජේසිංහ, දීගොඩ කුමාර, රුවන් තරස්වින්, ඉඳුනිල් වීරරත්න, කුමුදු තාරක පීරිස්, අනුර විජේවර්ධන, ගුණදාස ශ්‍රී අලවත්තගේ, කනංකේ.කේ. ප්‍රේමචන්ද්‍ර, බණ්ඩාර විදුරසිංහ, සමන් ශ්‍රී කාන්ත, ප්‍රගීත් අබේධීර මාමලාත් මිහිර පුවත්පත වෙනුවෙන් සිහිපත් කරමි.

මිහිර පුවත්පතෙහි ආරම්භක කර්තෘ ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ, බන්ධුල සමරසිංහ,අනුල ද සිල්වා, සුමනා සපරමාදු, නිව්ටන් පින්තු, ඉන්ද්‍රා කුමාරි ගුණතිලක, අජිත් ධර්මසිරි, ජගත් හේවාපන්න යන මහත්ම මහත්මීහු ද මෙහිදී ගෞරවයෙන් සිහිපත් කරමි.

රූපාන්ති  බුලත්සිංහල


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department