කහවෙ නැන්දා අපට පාරම් බෑමට සිරිපාලට දඩුවම් කළා යැයි ආරංචියක් නම් නොවී ය.
මේ ගැන නිමලේ පාසල අසල වූ රයිගමගේ ගෙදරින් සොයා බලා තිබිණි.
“පොඩි උන්නේ. ඉතුරු පහදු වෙච්ච එකක් ඔන්න ඔහෙ කාපුවාවේ.” කියා ලොකු හාමුදුරුවෝ ද කියා තිබිණි.
ඉන්පසු අපි කිසිවකු සිරිපාලව ඇසුරට නොගන්නෙමු.
“ මොකද්ද දරුවො අර දෙහිගල්ගොඩය එක්ක පටලැවිල්ලක් හදාගත්තා කියන්නේ” අප්පච්චී ඇසුවේ ය.
“නෑ අප්පච්චි ඒක මේ සුළු දෙයක් දෙයක්”
“ඔය අනුන්ගේ ගාලගෝට්ටිවලට පැටලෙනවා එහෙම නෙවෙයි. ඕවා මර උගුල් දරුවො උඹැහෙලා ටිකක් පෙරේසම් වෙයල්ලා….
මං මේ කියන්නෙ කල් ඇතුව.”
අප්පච්චි ඒ ගැන ඉන් එහාට කතා කළේ නැත. අපිත් නිහඬ වෙමු.
අප පාසල ඇරී ගෙදර එන විට අත්තම්මා කවුදෝ ගැහැනු කෙනකු ගැන කතා කරමින් සිටියා ය. ඇය කුස්සිය ආලින්දයේ දමා ඇති ලොවි බංකුව එහෙම නැත්නම් ඕපා දූප බංකුව අසල තිබූ පැත්ත දැමූ ගල්වංගෙඩිය උඩ වාඩි වී සිටියා ය.
“ ආ…….. හාමිනේ. මෙන්න කංචු මහත්තයා ඇවිදිල්ලා. අම්මෝ දැන් ගොඩක් ලොකුයි නේ.” ඇය මට කීවා ය.
මම කිසිත් නොකීමි.
“හා…! හා…!! යන්න පුතේ. යන්න යන්න ගඟේ දඟලන්නේ නැතිව ඔය දාදිය යන්න ඇඟ හෝදගෙන එන්න” අත්තම්මා කීවා ය.
“කවුද ආත්තම්මේ අර?”
“ මං පස්සේ කියන්නම්” ඇය කීවා ය.
අත්තම්මා මිදුලට පැමිණියත් ඇය ආවේ නැත. “අර මාර්ටින්ගේ මායියා නේද?” මුත්තණ්ඩී ඇසුවේ යම් පිළිකුලක් ඇතිව ය.
“අර ඉන්නේ… ඔන්න කන්න දෙයක් දීලා පිටත් කරනවා” අත්තම්මා කීවා ය.
“මේන් පුතේ මේ කටත් කන්න.” ආත්තම්මා මට බත් කවන්නේ වෙනදාටත් වඩා ලෙන්ගතු වෙන් යැයි මට හැඟේ.
“හාමිනේ! මං සුද්දප්පුහාමිලා ගෙදරටත් ගොඩ වදින්න හිතාගෙනයි ආවෙ” කී එම තැනැත්තිය යන්නට නැඟී සිටියා ය.
“හොඳා….. හොඳා…..! දැන් ඉතිං මොකක් හරි රස්සාවක් හොයා ගන්නවා නම් තමා හොඳ”
“ඔහේ ආයෙ පියදාසය ළඟටම යනවා නම් ඒක තමා හොඳ. එහෙම ගිහිං මනුස්සයෙක් වෙන්න බලාපන්. රොසලින්.” මුත්තණ්ඩී ද කීවේ ය.
විමලෙ හමුවූ මම මේ ගැහැනිය ගැන කීවේ මට ඇය ගැන කවුරුත් කිසිවක් නොකී බැවිනි.
රත්නා කහඳගම