එක දවසක් නගරයක් ආසන්නයේ තිබූ මහල් නිවාස සංකීර්ණයක නිවෙසින් නිවසට තට්ටු කරමින් ලියුම් මාමා ලියුමක් භාර දෙන්න ලිපිනයක් සොයමින් සිටියා. ඔහුගේ අතේ තිබුණේ හරිම අමුතු ලියුමක්. මේ ලියුමේ ලිපිනයේ නම විදියට තිබුණේ “කිසිම වැඩක් බැරි කම්මැළියාටයි” කියලයි. ඉතින් ලියුම් මාමා උදේ ඉඳන් නිවෙසින් නිවෙසට යමින් මේ ලියුම භාර දිය යුතු කම්මැළි ළමයා සෙව්වා. පළමු මහලේ නිවෙසකට ලියුම් මාමා ගියා. එහි නිවෙස ඇතුළේ කෑම මේසයට වාඩි වී පුංචි පිරිමි ළමයෙක් සුප් බොමින් සිටියා. ඒ තමයි පුංචි වොවා. සුප් බොන්න කම්මැළි වූ වොවාට අම්මා සුප් හැන්දක් පෙව්වේ බොහොම පෙරැත්ත කරලයි.
ඒ අසලට ගිය ලියුම් මාමා මෙහෙම කිව්වා.
“ඔයාටද මේ අමුතු ලියුම? මේකෙ ලියලා තියෙන්නේ ‘කිසිම වැඩක් බැරි කම්මැළියාටයි’ කියලයි. ඔයාද ඒ ළමයා?”
ඒක ඇසුණා විතරයි කලබල වූ වොවා හණිකට අම්මගෙන් හැන්ද ඉල්ලාගෙන සුප් ටික බොන්න පටන් ගත්තා.
“නෑ නෑ මෙහේ නෑ කම්මැළි ළමයි. පේනවා නේද එයා සුප් බොන අපූරුව?” වොවාගේ අම්මා ලියුම් මාමාට කිව්වා.
ඉතින් ලියුම් මාමා ඒ නිවෙසින් පිටත් වෙලා තවත් නිවෙසක් සොයාගෙන ගියා. ඒ නිවෙසේ සිටියේ අන්ද්රෙයි කියන පුංචි පිරිමි ළමයයි. අන්ද්රෙයිගේ කාමරය හරිම අපිළිවෙළටයි තිබුණේ. සෙල්ලම් ඉඩු හැමතැනම විසුරුවලා දාලා. එයාට ඈතින් ඇසුණා ලියුම් මාමගේ කටහඬ.
“මේ ගෙදර ද ඉන්නේ කිසිම වැඩක් බැරි කම්මැළි ළමයා? එයාට තමයි මේ ලියුම”
ඒක ඇහිලා අන්ද්රෙයි හණිකට සෙල්ලම් බඩු ටික පිළිවෙළට අහුරන්න පටන් ගත්තා.
කාමරය මැද තිබුණු එයාගේ සෙල්ලම් ලී අශ්වයා අයිනකින් තැබුවා. බිල්ඩිං බ්ලොක්ස් ටික කාඩ්බෝඩ් පෙට්ටියකට දාලා ඇසුරුවා.
“නෑ නෑ මං නම් නෙවෙයි. මේ බලන්න මගේ කාමරය හරිම පිළිවෙළයි” අන්ද්රෙයි කිව්වා.
ඉතින් ලියුම් මාමා අන්ද්රෙයිගේ ගෙදර පහු කරලා ඊළඟ ගෙදරට ගියා. ඒ අංක විසි හතර දරන නිවෙසයි.
ඒ ගෙදර හිටියේ ස්ලාවා කියන පිරිමි ළමයයි. ස්ලාවා සිටියේ ආලින්දයේ තිබුණු පුටුවක වාඩි වෙලා. ස්ලාවාගේ නංගී ස්ලාවාගේ කකුල්වලට මේස් දමමින් සිටියා. ස්ලාවා ඈනුම් අරිමින් හරිම කම්මැළිකමෙනුයි සිටියේ. ලියුම් මාමා එතැනට ආවා.
ඔහු මෙහෙම ඇසුවා.
“ඕහෝ! අන්තිමේදී මට මං හෙව්ව කම්මැළි ළමයා හමු වුණා. ඔයා නේද කිසිම වැඩක් නොකරන කම්මැළි ළමයා?”
එය ඇසුණාම ස්ලාවා හොඳටම කලබල වුණා.
ඔහු හණිකට නංගිගේ අතින් මේස් කුට්ටම අරගත්තා. ඉන්පසු ඔහුම මේස් කකුල්වලට දාගන්න පටන් ගත්තා.
“ඔයාට වැරැදිලා ලියුම් මාමේ! මං මේ මගෙ නංගිට මේස් දාන හැටි කියලා දුන්නා” ස්ලාවා එහෙම කිව්වා.
ඊට පස්සේ ලියුම් මාමා එතැනිනුත් පිට වෙලා ඊළඟ ගෙදරට ගියා.
ඔහු කෙළින්ම එහි මුළුතැන්ගෙය දෙසට ගියා.
එහි සිටියේ අම්මා කෙනෙක් සහ පුංචි දියණියක්. ඒ දැරිය අම්මාට පිඟන් සෝදා පිහදාන්න උදව් කරමිනුයි සිටියේ.
“මට සමාවෙන්න. මේ ගෙදරට නෙවෙයි මේ ලියුම” එසේ පැවසූ ලියුම් මාමා ඒ නිවෙසින් පිටවෙලා ගියා. ලියුම් මාමා මහල් නිවාස සංකීර්ණයේ පහළටම ආපසු ආවා. එහි තිබූ නිවෙසක සිටි පුංචි පිරිමි ළමයෙක් ඔහුගේ මිදුලේ තිබූ මල් පැළවලට වතුර දමමින් සිටියා. ඔහුගේ නම බොරිස්.
“ආහ් මේ ළමයටත් නෙවෙයි මේ ලියුම” එසේ පැවසූ ලියුම් මාමා එතැනිනුත් පිටත් වුණා.
ඊළඟට ටිකක් මහන්සි නිවාගන්න සිතූ ලියුම් මාමා බර්ච් ගසක් යට තිබූ බංකුවක වාඩි වුණා.
“මං අද උදේ ඉඳලම ගොඩක් මහන්සි වෙලා එහාට මෙහාට ඇවිද්දා මේ ලියුම භාර දෙන්න. ඒත් තවම බැරි වුණානෙ මට මේ ලියුම ලැබිය යුතු ළමයා සොයාගන්න. කවුද එතකොට
මේ කම්මැළි ළමයා? කිසිම වැඩක් බැරි කම්මැළි ළමයා?” ලියුම් මාමා කල්පනා කළා.
ඔයාලා දන්නවාද මේ ලියුම ඇතුළේ ලියලා තියෙන්නේ මොකක්ද කියලා? ඒකෙ ලියලා තියෙන්නේ ‘කම්මැළි ළමයෝ ලැජ්ජා වෙන්න ඔයා ගැනම’ කියලයි.
ඔන්න ඔයාලාත් ප්රවේසම් වෙන්න ලියුම් මාමා කම්මැළි ළමයාට ලියුම භාරදෙන එක නවත්වලා නැහැ. ඒ නිසා එයා දිගටම කම්මැළි ළමයා සොයමින් නිවෙසින් නිවෙසට තවමත් එන්න පුළුවන්. ඒත් මං දන්නවා මිහිර කියවන පුංචි ඔයාලා කාටවත් නම් මේ ලියුම ලැබෙන එකක් නෑ කියලා. මං හරි නේද?
රුසියානු ලේඛක යාකොව් අකීම් විසින් රචනා කරන ලද ළමා කතාවක් ඇසුරෙන්
හර්ෂණී ගමගේ