වර්තමානයේ සිටින්නේ දක්ෂතාවලින් පිරිපුන් ළමයින් පිරිසක්. ඒ දරුවන් නිසි අයුරින් හැඩ ගැස්සුවොත් එය අනාගතයට හොඳ ආයෝජනයක්. එහි වටිනාකම නිවැරැදිව තේරුම් ගෙන සිටිනුයේ මව්පියන් හැරුණු විට ගුරුවරු පමණි. මේ නිසා මව්පියන්ට මෙන්ම ගුරුවරුන්ට විශාල කාර්යභාරයක් පැවරී තිබේ. මේ පිළිබඳ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පතිතුමා ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා දැක්වූයේ මෙවැනි අදහසකි.
මම හිතන්නේ වර්තමානයේ සිටින්නේ ඉතා දක්ෂ දරුවන් පිරිසක්. අපේ කාලයේ මෙන් නොවෙයි. ඒ අයට ගොඩක් දේවල් නිරීක්ෂණය කරලා සොයලා බලන්න පුළුවන්. ඒ වගේම නිරීක්ෂණය කරලා බලන්නත් ඒ අය ගොඩක් කැමැතියි. තාක්ෂණයෙන් හැම දරුවකුම ඉදිරියෙන් ඉන්නවා කියලා මම හිතනවා. අප යමක් හිතන විට දරුවන් ඒ දෙය කරලා ඉවරයි. මගේ පාසලේ දරුවන් නම් එහෙමයි. ඒ අය නම් ගොඩක් දේවල් නිරීක්ෂණයෙන් ඉගෙන ගන්න කැමැතියි කියලා මට හැඟී ගිහිල්ලා තියෙනවා. මේ කාලයේ දරුවන් පිළිබඳ ඇතැම් අවස්ථාවල ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා කියලා සමහරු පෙන්වා දෙන්න උත්සාහ කරනවා. ඒත් මම හිතන්නේ දරුවන්ට අවශ්‍ය වන්නේ මේ කිසිවක් නොවෙයි. කරුණාව, දයාව, ආදරය කියලයි මම හිතන්නේ. දරුවකුට ආදරය, කරුණාව, දුන්න විට ඒ දරුවා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ වගේම ඒ දරුවා අපට කීකරු වෙනවා. ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට තිබෙන ගෞරවය අඩුවෙලා කියලා මෙයින් කියවෙන්නේ නැහැ. එවැනි අවස්ථාවලදී දරුවන් අපට වඩාත් සමීප වෙනවා. දරුවන් ගුරුවරුන්ට මව්පියන්ට බය වෙන්න ඕනේ නැහැ. ඇත්තටම අවශ්‍ය වන්නේ මව්පියන්ට මෙන්ම ගුරුවරුන්ටත් සමීප වෙන්නයි.”
” අද දරුවන් බොහෝ දේවල් හොයන්න පෙලඹෙනවා. ඒ කියන්නේ ඒ අය ජීවත්වෙන්නේ කුතුහලයෙන්. උදාහරණයක් ලෙස එදා කුඩා දරුවන්ට හඳේ හාවකු සිටිනවා කියලා කිව්වාම එය ඔවුන් විශ්වාස කළා. ඒත් අද කුඩා දරුවන්ට එහෙම කියලා ඒක විශ්වාස කරවන්න අපට බැහැ. අද දරුවන් සිටින්නේ ගොඩක් ඉදිරියෙන්. ඒ අය ගොඩක් දේවල් පිළිබඳ විමසීමෙන් ජීවත් වෙනවා. එක දවසක් මට මගේ දුව මෙහෙම දෙයක් කියනවා. ”අප්පච්චි ඇයි වෙසක් එකට විතරක් කාඩ් හදන්නේ? ඇයි පොසොන් එකට කාඩ් හදන්නේ නැද්ද?” මම කියන්නේ අන්න ඒ වගේ දරුවන් අතර සෑම දෙයක් ගැනම කුතුහලයක් තිබෙනවා. සෑම දරුවකුම නිදහස් මනසින් යුතුව හිතන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයෙන් සාර්ථක නිර්මාණ බිහි වෙනවා. සෑම විටම දරුවන්ට ළමා කාලය සැහැල්ලුවෙන් ගත කරන්න දෙන්න අවශ්‍යයි. එහෙම නැතිනම් ඒ අයට නිදහසේ අධ්‍යාපනය ලබන්න බැරි වෙනවා. දරුවන් කියන්නේ මල් වගෙයි.”
” මගේ පාසලේ දරුවන් හාරදහසක් පමණ සිටිනවා. ගුරුවරු 172ක් සිටිනවා. ඒ හැමෝම ඉතා සහයෝගයෙන් වැඩ කටයුතු කරනවා. මගේ පාසලේ සිටින ගුරුවරු දරුවන් පිළිබඳ හොඳීන් සොයා බලනවා. ඒ අයගෙන් ලැබෙන සහයෝගය නිසා අද අපේ පාසල මේ ආකාරයෙන් බැබළෙනවා. ඇත්තටම ඒක ලොකු සතුටක්. මුලික වශයෙන්ම අපි දරුවන් තේරුම් ගන්න අවශ්‍යයි. එවිට අපට පහසුයි. ඒ දරුවාගේ ඇතුළාන්තයේ සිටින නිර්මාණකරු හඳුනාගන්න අපට පහසුයි.”
එතුමා දරුවන් වෙනුවෙන් දරන සෑම උත්සාහයක්ම සාර්ථක වේවා යැයි අපි මිහිර වෙතින් සුබ පතමු.
රූපාන්ති බුලත්සිංහල
ඡායාරූප – පාසලේ ඡායාරූප අංශය