Home » Blog » දංකුඩ්ඩා

දංකුඩ්ඩා

by lakehouse
0 comments

”යෝවද තං පවරෝ…………..මනුජේසු” ගාථාව අවසන් වන්නටත් කලියෙන් සිරිපාල පාසලේ කොට බිත්තියට උඩින් පැන පාරට දිව යන හැටි අපි බලා සිටියෙමු.

“විමලෙ බලාපන්කො අර දංකුඩ්ඩා පැනලා ගිය හැටි.” කරුණෙ කියනු මට ද ඇසුණි. “එක දවසක් දෙකක් නෙවෙයි. සිරිපාලය එහෙම යන්නේ.” පන්තියේ එය දැකපු අනෙක් අය ද පන්තිය භාර මිස්ට කීවෝ ය.

“ඔය ළමයි හෙට උදේට මට කියන්න.” ගුරුතුමිය කීවා ය.

අඹ ගහ දූවේ සාදික්කා ගස යට සැඟවී සිටි ඔහු, ඇති තරම් සාදික්කා ද කඩාගෙන සාක්කු දෙක පුරවා ගෙන අප පසුපසින්ම පැමිණීම පුදුමයකි.

“ඒයි සිරිපාලයො. මොකද බං උඩ පැනල ආවෙ?” මම ඇසීමි.

“උඹට මොකටද ඒක. මං ආවෙ මට ඕනෙ හින්ද”

“දෙයක් හොඳින් ඇහුවාම ඔහොමද උඹ උත්තර දෙන්නෙ? හිටු මං උඹට……..” කියමින් මම ඌට එකක් පිට හරහා දුනිමි. ඌද මට ගැසුවේය.

සිරිපාලයා අල්ලා ගත් කරුණෙත්, විමලේත් ඌට හොඳටම තඩි බෑවෝ ය. දිවගෙන ගිය සිරිපාල නතර වූයේ පන්සල් වත්තට හැරෙමින් ය.

“ඒයි දංකුඩ්ඩා හෙට උඹ අහුවෙයන්කො” මම කීවෙමි.

“ඕකා දැන් පන්සලේ දංගෙට වැදිලා කනව ඇති. අපිත් යමු පන්සල් වත්ත උඩින්……..” මම කීමි.

කවුරුත් මගේ කීමට එකතු වූහ. මමත්, කරුණෙත්, විමලෙත්, සිරිදාසත් එයට කැමැති වුණද ඈත සිට එන ළමෝ එයට කැමැති නොවූහ.

අපි පන්සල්වත්ත උඩින් එන්නේ නම් පාර පොඩ්ඩක් කෙටි වේ. කිසිවිටෙක පන්සල්වත්ත උඩින් අප එතැයි සිරිපාල නොසිතුවා විය හැකි ය.

අප එනවිට ලොකු හාමුදුරුවෝ ආවාස ආලින්දයේ සැප පුටුවක දිගාවී සිටිසේක.

“මොකද මේ ළමයි අද මේ ඉස්කෝලෙ ඇරිලා එමින් ගමන්ම?”

අපි සිනාසුණෙමු.

“මයෙ හිතේ දං ගේ දිහාවෙ මොන මොනවා දෝ තිබුණා. බැලුව නම්……..”

අපි උන්වහන්සේට වැඳ නමස්කාර කර එන්නට පිටත්වද්දී සිරිපාල දං ගේ සිට එළියට ඇවිත් බලා සැඟව ගියේය.

සිරිපාල ඉන්නවාදැයි බැලීමට අපි එම පාරෙන් ආ බවක් හාමුදුරුවන්ට නොකීවෙමු.

“දංගෙට වැදිල අරූ දං බත් ගිලිනවා. දංකුඩ්ඩා…….” විමලෙ කියයි.

සිරිපාල අපේ ගමේ කෙනෙක් නොවීය. ඔහු කහවෙ නැන්දාගේ දුවගෙ පුතා ය. දෙහිගල් ගොඩේ සිට පැමිණ ඇති නිසා සිරිපාලට කවුරුත් කීවේ දෙහිගල් ගොඩයා කියා ය. ඔහු දඩබ්බරයකු වූ නිසා මෙහේ නවතා ඇති බව දවසක් කහවෙ නැන්දා කියූ බව මතක ය.

“කෝ දරුවනේ අපේ එකා ආවෙ නැද්ද?”

“අන්න පන්සල් දංකුඩ ගිලිනවා නැන්දේ. අපි කතා කළාම එන්න බෑ කිව්වා.”

“අපොයි හත් දෙවියනේ” ආ දෙන්කො ගෙදර.” කහවෙ නැන්දාට ආරංචිය කියා ආවෙමු.

ඐ ඐ ඐ ඐ ඐ ඐ ඐ ඐ ඐ ඐ ඐ ඐ ඐ ඐ ඐ ඐ ඐ ඐ ඐ ඐ ඐ ඐ ඐ ඐ ඐ ඐ ඐ ඐ ඐ ඐ ඐ

“මේ අකුණු පුපුරද්දි. මං කොහොමද උඹව අරින්නෙ?”

“අප්පච්චි නැත්නම් මං දාලා යන්නම්”

“අනේ මං දන්නෙ නෑ. පරෙස්සමට පලයං පුතේ. යන ගමනක් වැස්ස ටිකක් තුරල් කෙරුවම යනව. අර ගෝණියක් අරගෙන ගෝණි බොක්කක් හදල දා ගනින් මයේ පුතා.” ආත්තම්මාගේ සහනදායි පිළිතුර මට මහ සවියක් විය.

අප්පච්චී ද මැල්ල මාමා සමඟ ගෙට ගොඩ වූයේ ගල්පීල්ල ඉසව්වේ පැළ තවානට හානි වී ඇතිදැයි සොයන්නට ගිය ගමන් ය.

ක්‍රමයෙන් වැස්ස අඩු විය. මම ගෝණි බොක්කත් දාගෙන ආප්ප පෙට්ටියත් රැගෙන මිදුලට බැස්සෙමි.

“කොහෙද පුතේ. ආප්ප අරන් යනවද? මාත් මේ ගොඩ වුණේ ආප්ප හත අටක් අරගෙන යන්න” මැල්ල මාමා කීවේ ය.

“තව තම්බපුව තියෙනව මල්ලි ගෙයි.” අම්මා කියද්දී මම මිදුලට පැන ගතිමි.

”මේවා මේ ගොඩ වැහි. ගහ ඉහළ හොඳටෝම දීල වගෙයි. සිරිපොද විතරක් තිබුණ අපට දැන් නොවැ වැස්සෙ. ගඟ ගලාගෙන එනවා මං උදේ දැක්කා.”

“ඒත් මේ දරුව පිටත් කොළාට මගේ නම් මනාපයක් නෑ.”

”කැමැත්තෙන් ඇරිය නෙවෙයි අනේ. තැම්බූ ආප්ප ටිකට වෙන දේකුත් එපා ය. නැත්නම් මහන්සියෙ පොරෝජනේකුත් නැහැනේ.”

“පුතේ පරෙස්සමට යන්න. සපත්තු කාණුව ළඟ හෙම නවතිනව නෙවෙයි.” මා පාරට එන්නට පළමුව අප්පච්චී කියනවා ඇසුණි.

“ආ…………කංචු ආප්ප ගෙනාවද පුතා? ආප්ප හොයාගෙන කිහිප දෙනෙක්ම ආවා.” ගුණේ මුදලාලි කීවේය. ”අද වැහි දවස නේ” කියමින් ඔහු වෙනදාට වඩා ආප්ප ගත්තේ ය.

මා ගෙනා ආප්ප ටික දී එමින් ගමන කරුණෙ හමුවීමට ඔහුගේ නිවෙස ළඟට යද්දී බල්ලා කඩා පැන්නේ ය. ඒ ශබ්දයට කරුණේ දිව අවුත් බල්ලා කූඩුවට දමා මා සමඟ ගෙට ගියේය.

වැස්ස නතර වුවද ගඟ ඉහළ වැසි නිසාදෝ ගඟේ වතුර මට්ටම ක්‍රමයෙන් වැඩි වී ඇත. කරුණෙත් සමඟ මම ගෙදර ආවෙමි.

“ආ …..යාළුවත් හම්බවෙලා තියෙන්නෙ.” අප දුටු ආත්තම්මා කීවා ය.

”සපත්තු පාළම ළඟින් එන්න හරි ආමාරුයි. වතුර පාර හොඳටම සැරයි.” කරුණේ වතුරේ ගුණාගුණ කීවේ ය.

“අද ගංවතුරක ලකුණූ තියෙන බව මම උදේ ගඟට ගොහින් ආපු වෙලාවෙමයි කිව්වෙ. උදෙත් වැල්ලෙන් බාගයක් විතර වැලි කඩාගෙන පා වෙනවා. දැන්නම් වැල්ලක් ඇත්තෙම නෑ.”

“වහින්නෙ නැත්නම් අපි දෙන්නට නම් ඕව ගානක් නෑ ඉතිං. වැටුණොත් පීනලා එන්න පුළුවන් තව කෙනෙක් අරගෙන හරි පීනන්න පුළුවන් නෙව.” කරුණේ තම පුළුවන්කාර කම ගැන කියයි.

අම්මාට කණා ගහල ගියත් ආත්තම්මාත්, අප්පච්චිත් නිසා අපට ගංවතුරේ ඕනෑ හැටියට නටන්නට ඉඩ ලැබෙන්නේ නැත.

අලුත් වචන

ගෝණි බොක්ක – ගෝණියේ මුල්ලක් නවා සාදා ගනී.

ලදිය එනවා – ගංවතුර ගලාගෙන එනවිට පෙණ කැටිමෙන් වියළි වැලි පාවීම

ඉඩිත්තු වෙලා – කලබල වෙලා

නඩේ – කණ්ඩායම

තුරල් කෙරුවම – මඳක් අඩුවීම

රත්නා කහඳගම


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department