Home » Blog » සඳ ගමනට වසර 55 යි

සඳ ගමනට වසර 55 යි

by lakehouse
0 comments

අප ජීවත් වන පෘථිවියට ඇති එකම පරිවාර ග්‍රහයා වන්නේ චන්ද්‍රයායි. චන්ද්‍රයා පිළිබඳ විවිධ කතා මේ වන විටත් දුවලා පුතාලා අහලා ඇති නේද? සඳෙහි ඇති අඳුරු කොටස් මුහුදු ලෙස ඔවුන් විශ්වාස කළ නිසා ලතින් භාෂාවෙන් මුහුද කියන නම සඳට භාවිත කළ බව පොත පතෙහි සඳහන් වේ. පසු කාලයේදී සඳෙහි මුහුදු නොමැති බව හෙළි වුවත් සඳ යන නාමය වෙනස් නොවුණ බව පැහැදිලි විය.

දුරේක්ෂය නිර්මාණය වීමත් සමඟ දුරේක්ෂ භාවිතයෙන් සඳෙහි තොරතුර සෙවීමට මිනිසා යොමු වූයේ ය. 1950 දශකයේදී සඳෙහි ඡයාරූප ගැනීමට යානා යවන ලදි. ඒ අනුව 1959 ඔක්තෝබර් මාසයේදී චන්ද්‍රයා වෙත ගිය සෝවියට් දේශයේ ලූනා-3 යානය මඟින් පෘථිවියට නොපෙනෙන සඳේ කොටස් ඡායාරූපයට නඟන ලදි. එයින් පසු 1968 දක්වා අමෙරිකාව ගුවන්ගත කළ රේන්ජර් 7,8,9 හා ලූනා ඕබිටර් 1,2,3,4,5 යානා මඟින් සඳ මත ආවාට ට්‍රිලියන තුනකට වඩා වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

අභ්‍යවකාශ තරණය සඳහා මුල් පියවර තැබුවේ රුසියානුවන් ය. එයින් පසු 1960 දශකයේ අගභාගයේදී අමෙරිකානුවන් ඇපලෝ වැඩසටහන හරහා සඳ වෙත මිනිසුන් සහිත යානා යැවීම සිදු කළ අතර, ඒ ඔස්සේ ඡායාරූප පමණක් නොව සඳේ කාලගුණ තොරතුරු සොයා ගැනීම ද කළේ ය. 1968 දෙසැම්බර් 4 වැනිදා ඇපලෝ-8 නම් වූ අභ්‍යකාශ යානාව යැවීමට අමෙරිකාව උනන්දු වූයේ ය. අමෙරිකානු ජාතික ෆ්‍රෑන්ක් බොර්මන් ද, ජේමිස් ලොවෙල් ද, අමෙරිකානු ගුවන් හමුදා නිලධාරියකු වූ විලියම් ඇන්ඩර්ස් මේ සඳහා ප්‍රථම වරට සම්බන්ධ වූයේ ය. මේ යානාව චන්ද්‍රයා වෙත ගමන් කළත් පුරා පැය 20ක කාලයකදී චන්ද්‍රයා වටා 10 වාරයක් ගමන් කොට චන්ද්‍රයා මත ගොඩ බස්වා ගැනීමට නොහැකි වීම නිසා නැවත පෘථිවියට පැමිණියේ ය.

සඳ ගමනෙහි සැබෑ ආරම්භය සිදු වූයේ 1969 ජූලි මස 16 වැනි දා ය. ඒ අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. එම ගමන සඳහා ඇපලෝ 11 යානයෙන් නීල් ආම්ස්ට්‍රෝන්, එඩ්වින් ඕල්ඩ්‍රින් හා මයිකල් කොලින්ස් එකතු වූ අතර, සඳ මත පා තැබීම සිදු වූයේ 1969 ජූලි 20 වැනිදා ය. සඳ මත පා තැබූ මුල්ම මිනිසා ලෙස ඉතිහාසයට එක් වූයේ නීල් ආම්ස්ට්‍රෝන් ය. සරලව කිවහොත් මෙය මිනිසකුගේ කුඩා පියවරකි. එහෙත් මිනිස් සංහතියේ යෝධ පිම්මකි. නීල් ආම්ස්ට්‍රෝන් සඳ මත පා තබා විනාඩි 19කට පසු එඩ්වින් ඕල්ඩ්‍රින් චන්ද්‍රයානයේ සිට සඳ මතට පැමිණියේ ය. මේ අවස්ථාවේ ඕල්ඩ්‍රින් සඳ මතුපිටට පැමිණියේ කැන්ගරුවකු ලෙස පැන පැන ය. මෙයට හේතුවක් තිබේ. එනම් සඳෙහි ගුරුත්වාකර්ෂණ බලය පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය මෙන් හයෙන් එකක් තරම් අඩු වීමයි. මයිකල් කොලින්ස් සඳට ගොඩ බැසීම සිදු නොකළ අතර, ඔහු පැය 21කයි විනාඩි 38ක් මව් යානය පදවමින් සඳ වටා ගමන් කළේ ය. මෙම ඓතිහාසික සඳ ගමන නිමා වූයේ ජූලි මස 24 වැනි දින පස්වරු 12 : 51ට ශාන්තිකර සාගරයේ නිරිත දිග හවායි දූපත් අසල මුහුදට නිරුපද්‍රිතව නීල් ආම්ස්ට්‍රෝන් ඇතුළු පිරිස ගොඩ බැසීමෙන් පසු ය. මෙම සඳ ගමනට රටවල් 137ක් දායක වූයේ ය. මෙහිදී ශ්‍රී ලංකාවට විශේෂ තැනක් හිමි වූයේ සඳෙහි සිට ගෙන ආ පස් පරීක්ෂා කළේ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතාගේ දායකත්වයෙනි. එතුමා නිසා ශ්‍රී ලංකාවේ කොඩිය ද සඳ ගමනට දායක විය.

ඇපලෝ 11 සිට 17 දක්වා යානා මිනිසුන් සහිතව සඳට ගිය අතර, ඔවුහු කිලෝ 384ක චන්ද්‍ර පාෂාණ පෘථිවියට ගෙන ආහ. මේ යානාවලින් සඳ මත පා තැබූ ගගනගාමීන් ප්‍රමාණය 12කි. ඇපලෝ 11 මඟින් සඳෙන් රැගෙන ආ පස්වලින් ජීවීන් පිළිබඳ පරික්ෂා කිරීමේ භාග්‍ය උදා වූයේ ශ්‍රි ලාංකික විද්‍යා සිරිල් පොන්නම්පෙරුම මහතාටයි. එතුමා ආතර්. සී. ක්ලාක් ආයතනයේ ආරම්භක අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළේ ය. අවසන් වරට මිනිසුන් සහිත යානයක් සඳ වෙත යවනු ලැබුවේ 1972 දෙසැම්බර් මාසයේදී ය. ඒ ඇපලෝ 17 යානයයි.

2008 ඔක්තෝබර් 25 ඉන්දියාව ද චන්ද්‍රයාන් – 1 නමින් සඳෙහි ත්‍රිමාණ ඡායාරූප ලබා ගැනීමේ අරමුණින් ගවේෂණ යානයක් සඳ වෙත යවන ලදි. මෙහි දෙවැනි පියවර ලෙස 2012 දී චන්ද්‍රයාන් – 2 කක්ෂගත කළත් එය සාර්ථක ව්‍යාපෘතියක් නොවුණි. මෙහි තුන්වැනි මෙහෙයුම ලෙස චන්ද්‍රයාන් – 3 2023 ජූලි 14 දින කක්ෂගත කරන ලදි. සඳ මතුපිට සුළං හෝ ජලය නොමැති බවත්, උල්කාපාත කඩා වැටීම් මඟින් විශාල ආවාට තවමත් සඳ මත ඇති වන බවත්, මීට වසර බිලියන ගණනකට පෙර ඇති වූ ගිනිකඳු පිපිරීම්වලින් ඇති වූ කඳු හා ආවාට තවමත් ඇති බවත්, සඳ ගවේෂණවලින් තහවුරු වී ඇති අතර, සාගර ජලයේ ප්‍රමාණය වෙරළාශි‍්‍රතව වැඩිවීම සහ අඩුවීම වඩදිය හා බාදිය වශයෙන් සිදුවන්නේ ද චන්ද්‍රයාගේ බලපෑමෙන් නිසා බව ඔප්පු වී තිබේ.

මීළඟට චීනය ද සඳ ගවේෂණ ව්‍යාපෘති ආරම්භ කළ අතර, එය “චැංගි” ව්‍යාපෘතිය ලෙස නම් කරන ලදි. එය යටතේ ද යානා සඳ ගවේෂණය සඳහා යවන ලදි. එහි නවතම පියවර ලෙස චැංගි – යඪ යානය 2024 මැයි 03 වැනිදා අභ්‍යවකාශ ගත කළ අතර, එම යානය 2024 ජුනි 01 වැනිදා චීනයේ බෙයිජිං වේලාවෙන් පෙ.ව. 6.23ට සඳෙහි අඳුරු අර්ධගෝලය වෙත සාර්ථකව ගොඩබස්වන ලදි. එමඟින් සඳෙහි අඳුරු අර්ධගෝලයෙන් ලොව ප්‍රථම වරට චන්ද්‍ර පාෂාණ පස් සාම්පල ලබාගැනීම සිදුකරන ලදි. මෙම විශේෂ මෙහෙයුම මඟින් ලබාගත් සඳෙහි පස් කිලෝ ග්‍රෑම් 2ක් පමණ ලබාගත් බව චීනයේ අභ්‍යවකාශ ඒජන්සිය සඳහන් කරයි.

නාසාහි දිගුකාලීන අරමුණු ඇතිව වඩාත් අභිලාශකාමී ව්‍යාපෘතියක් ලෙස “ආර්ටිමිස්” (Artemis) ව්‍යාපෘතිය හඳුන්වා දිය හැකි අතර, එය අඟහරු හා චන්ද්‍රයා ගවේෂණය කිරීමේ ඉතා වැදගත් ව්‍යාපෘතියකි. ඒ යටතේ සඳ වෙත නැවතත් මිනිසුන් යැවීමේ වැඩසටහනක් දැනටමත් ආරම්භකර ඇති අතර, ඒ අනුව ආර්ටිමිස් – 1 (Artemis – 1) පුහුණු මෙහෙයුම යටතේ “ඔරායන්” කැප්සියුලය පසුගිය 2022 නොවැම්බර් 16 ස්පේස් ලෝන්ච් සිස්ටම්ස් (pace Launch System) නමැති මීටර් 98ක් උසැති අධි බලැති රොකට්ටු පද්ධතියේ ආධාරයෙන් කක්ෂගත කළේය. එම යානය පෘථිවිය වටා යමින් ක්‍රමයෙන් සඳ බලා ගමන් කළ අතර, එය දින 26කට පසු එනම් 2022 දෙසැම්බර් 11 දින නැවත පෘථිවිය කරා සාර්ථකව පැමිණීමට සමත්විය.

මානව කාර්ය මණ්ඩලයකින් තොරව “ඩමීස්” 3ක් යොදා ගනිමින් සිදුකළ මෙම “ආර්ටිමිස්” පළමු පරීක්ෂණ මෙහෙයුමේ අරමුණ ඔරායන් අභ්‍යවකාශ යානයේ ආරක්ෂිත බව සහතික කිරීම හා සන්නිවේදක ආධාරයෙන් විවිධ පරික්ෂාවන් සිදු කිරීමයි. මෙම ආර්ටිමිස් – 1 (Artemis – 1) ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත ආර්ටිමිස් – 2 (Artemis – 2)) ආරම්භ කිරීමට නියමිත අතර, ඒ සඳහා ගගනගාමීන් තිදෙනකු සම්බන්ධ වීමට ද නියමිත අතර, එය හුදෙක් සඳ වටා පමණක් යන මෙහෙයුමක් පමණි. මෙහි අවසාන මෙහෙයුම වන ආර්ටිමිස් – 3 (Artemis – 3) බ්ලූ මූන් ලැන්ඩර් (Blue Moon Lander) මෙහෙයුම් යටතේ ගගනගාමීන් තිදෙනකු සඳ වෙත යැවීමට බලාපොරොත්තු වන අතර, මෙහි පළමු වරට කාන්තාවක් ද යැවීමට නාසා ආයතනය බලාපොරොත්තු වේ. එම ඓතිහාසික සඳ ගමන 2025 වසරේ දෙසැම්බර් මස දියත් කිරීමට නියමිත අතර, එමඟින් ගගනගාමීන් සඳ මත පා තැබීමට ද නියමිතයි.

චින්තන විජයවර්ධන

නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාධ්‍ය)

ආතර්.සී.ක්ලාක් ආයතනය


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department