Home » Blog »  දරුවන් නිදහස් මනසකින් නිදහස් අධ්‍යාපනය ලැබිය යුතුයි

 දරුවන් නිදහස් මනසකින් නිදහස් අධ්‍යාපනය ලැබිය යුතුයි

බප/ මිනු/කීනදෙණිය ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ඒ. ඩබ්ලිව්. ඒ. එච්. මංජුල වනිගසූරිය

by lakehouse
0 comment

දරුවා නිදහස් මනසකින් යුතුව අධ්‍යාපනය ලැබිය යුතුයි. දරුවාට නිදහසේ අධ්‍යාපනය ලැබිය හැක්කේ නිදහස් මනසක් තිබීමෙන් ය. මනසේ නිරවුල් භාවය නිසාම අධ්‍යාපනය අවබෝධකර ගැනීම ඉතා වැදගත් වේ. බොහෝ දරුවෝ අද වැඩිහිටියන්ගේ පීඩාවන් පවා දරාගෙන යති. මේ නිසා නිරවුල් මනසකින් යුතුව දරුවන්ට අධ්‍යාපනය ලැබිය නොහැකි ය. එහෙත් නිදහස් අධ්‍යාපනයක් මෙන්ම නිදහස් මනසක් හිමි නිදහස් දරුවෙක් වර්තමානයට අවශ්‍යව ඇත. මේ පිළිබඳ කීනදෙණිය ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති මංජුල වනිගසූරිය මහතා අදහස් දැක්වූයේ මේ අයුරිනි.


අපේ පාසල ප්‍රාථමික පාසලක්. හරියට කුඩා පැළ ටිකක් හදනවා වගේ තමයි පුංචි ළමයින් ගැන ප්‍රවේශමෙන් තමයි බලන්න ඕනේ. ඒ අයගේ හිත පොඩි දෙයටත් රිදෙනවා. ඒ වගේ කුඩා වයසේදී ළමයින්ට ගොඩක් දේවල් කියලා දෙන්නත් ලේසියි. අනාගතයේ නිසි පල නෙළාගන්න අවශ්‍ය නම් කුඩා කාලයේදී දරුවන් හුරුකරවන්න අවශ්‍යයි. කුසලතා දැනුම වගේම අධ්‍යාපනයත් නිසි ආකාරයෙන් හදාරන්න අවශ්‍යයි. විෂය කරුණුවල බැරෑරුම් බව නොවැටහෙන්න අධ්‍යාපනය ලබන්න හැකියාව තියෙනවා නම් ඒක කොච්චර හොඳ ද? සෑම විෂයක්ම සැහැල්ලුවෙන් උගන්වන්න හැකියාව තියෙනවා නම් ඒක කොච්චර හොඳ දෙයක් ද? අපේ පාසලේ නම් සතියකට එක දවසක් ඒ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ගුරුවරු කිහිපදෙනෙක් එකතු වෙලා එක පාඩමක් තෝරාගෙන එය නිර්මාණශීලිව හදනවා. ඊට පස්සේ එය අනෙක් අය සමඟ එකතු වෙලා සාකච්ඡා කරනවා. මේ සාකච්ඡාව විදුහල්පති වන මා මෙන්ම තවත් ගුරුවරු කිහිපදෙනකු අධීක්ෂණය කරනවා. එහිදී එය වඩා ඵලාදායි වන්නේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳ අප නිගමනයකට එනවා. එතකොට වඩා සාර්ථක කුමන මාර්ගය ද යන්න පිළිබඳ අපට තීරණය කරන්න පුළුවන්. දරුවකුගේ කුසලතා , දැනුම , නිපුණතා ආදිය පිළිබඳ මනා අවබෝධයක් ගුරුවරයකුට තිබිය යුතුයි. එසේ නොමැති නම් දරුවකු යා යුතු දිසාව කුමක් ද? යන්න පිළිබඳ අවබෝධ කරගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අප සෑමවිටම දරුවා අවබෝධ කරගත යුතුයි. ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවා මුලින්ම සතුටින් තැබීම වැදගත් වෙනවා. සෑම විටම පාසලෙන් නික්මෙන දරුවා යහපත් මානසිකත්වයකින් තැබීමට ගුරුවරුන් වග බලා ගත යුතුයි.”

” දරුවා නිද්‍රාශීලිව පාඩමකට ඇහුම්කන් දෙනවා නම් එහි ප්‍රතිඵලයක් නැහැ. සෑමවිටම දරුවා ගුරුවරු කරන පාඩම නිසා ඇහැරිය යුතුයි. එතකොට දරුවන්ට පාඩම පිළිබඳ ආසාවක් ඇති වෙනවා. ගණිතය, විද්‍යාව කුමන විෂයක් වුවත් මේ ආකාරයට දරුවා ප්‍රබෝධයෙන් අධ්‍යාපනය ලැබිය යුතුයි. මේ තත්ත්වයට ළඟා විය හැකි මානසිකත්වයක් දරුවාගේ මනසේ ඇති කළ යුතුයි. මේ හැම දෙයකින්ම පරිසරයට ආදරය කරන ගුණගරුක දරුවකු බිහි කිරීම අපේ පරමාර්ථයයි. දරුවා කුඩා කාලයේ සිටම සෞන්දර්ය හා බැඳුණු දරුවකු කළ යුතුයි. එසේ කිරීම මව්පියන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ ද යුතුකමයි. පරිසරය අපවිත්‍ර වන ආකාරයට කුණු කසළ දැමීමෙන් වැළකිය යුතුයි. මේ නිසා පරිසරය අපවිත්‍ර නොකිරීමට දරුවාට පෙලඹවීමක් ඇති කළ යුතුයි. අපේ පාසලේ මේ වන විට දරුවන් 650ක් සිටිනවා. ඒ වගේම ගුරුවරු 25 දෙනකු සිටිනවා. ඒ වගේම මෙය ප්‍රාථමික පාසලක්. මේ අයුරින් කුඩාවට පටන්ගන්නා ඕනෑම දෙයක් සාර්ථක වෙනවා. නිදහස් මනස, සතුට, අධ්‍යාපනය මේ සෑම දෙයක්ම ඒකාබද්ධව භුක්ති විඳීන දරු පිරිසක් අපි ඇති කරන්න ඕනේ.”

ඔහුගේ සියලු බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා යැයි මිහිර අපේ ප්‍රාර්ථනයයි.

රූපාන්ති බුලත්සිංහල
ඡායාරූප – පාසලේ ඡායාරූප අංශය

 

 

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department