ආදරණීය දුවේ පුතේ, මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඉබ්බන්කටුව ග්‍රාමයේ දඹුලු ඔයේ වම් ඉවුරේ පිහිටි ඉබ්බන්කටුව සුසාන භූමිය පිළිබඳ අද අපි ඔබට කියන්නෙමු.
කුරුණෑගල දෙසට දිවෙන දඹුල්ල කුරුණෑගල මාර්ගයෙන් කිලෝමීටර් එක හමාරක් පමණ ගොස් දකුණු පසින් ඇති ගුරු පාරේ මීටර් පන්සියයක් පමණ ගිය විට සුසාන භූමියට ප්‍රවේශ විය හැකි ය. හෙක්ටයාර දහයක ප්‍රදේශයක් පුරා පිහිටි මෙම සුසාන භූමිය මහා ශිලා සම්ප්රදායේ ශිලා මංජුසා වර්ගයට අයත් වූ සුසාන භූමියකි. කාබන් දාහතර කාල නිර්ණයට අනුව මෙය ක්‍රිස්තු පූර්ව 770 – 350 අතර කාලයට අයත් බව හඳුනාගෙන තිබේ. මෙම සුසාන භූමිය ප්‍රථම වරට හඳුනා ගන්නා ලද්දේ 1970දී වන අතර, මූලික පර්යේෂණ කටයුතු හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයකු වූ ආචාර්ය රාජා ද සිල්වා මහතා විසින් ආරම්භ කරන ලදි.
පුද්ගලයකු මිය ගිය පසුව ඔහුගේ භෂ්මාවශේෂ මැටි භාජනයක තැන්පත්කර පසුව එය විශාල ගල් පතුරකින් වට කර උඩින් වැසූ ගල් පියනක් සහිතව හෝ රහිතව සකස් කරන ලද සුසාන ගර්භයක මිහිදන් කිරීම පූර්ව ඓතිහාසික යුගයේ පැවති ප්‍රචලිත චාරිත්රයකි. ඒ අනුව මහා ශිලා සුසාන ගර්භ ලෙස හැඳීන්වෙන මේවා පුරාවිද්‍යාත්මක වශයෙන් විශාල වැදගත්කමක් උසුලන අතර ඉබ්බන්කටුව සුසාන භූමිය එම සුසාන වර්ගවලට අයත් විශාලතම හා ප්‍රධානම සුසාන භූමිය වෙයි.
මෙම ප්‍රධාන සුසාන භූමිය ආශ්‍රිතව සිදු කරන ලද කැණීම්වලින් සුසාන විසි එකක පොකුරක් සොයාගෙන ඇති අතර, එයට බටහිරින් තවත් සුසාන 47ක් සොයාගෙන තිබේ. ඒවා අතරින් ශිලා මංජුසා නමින් හඳුන්වන සුසාන විශේෂ 26ක් හමුවී ඇත. ඒවා ඉදිකර ඇත්තේ ග්‍රැනයිට් නමින් හඳුන්වනු ලබන පාෂාණ විශේෂයට අයත් ගල්පතුරු යොදා ගෙන ය. ආයතාකාර හෝ චතුරස්රාකාර ගර්භ තනා ඒවායේ මිනිස් භෂ්මාවශේෂ සහිත විශාල මැටි බඳුන් 2-10 අතර ප්‍රමාණයක් තැන්පත්කර ඇත. ඇතැම් ඒවා පියන් ගලකින් ආවරණයකර තිබේ. මේවා විවිධ හැඩ තලවලින් හා විවිධ ප්‍රමාණයන්ගෙන් දැකිය හැකි අතර, කළු හා රතු වර්ණයෙන් වර්ණ ගන්වා ඇත.
මෙම සුසාන භූමිය තුළ කුටීර දෙක තුන සහිත සුසාන ගෙවල් ද කාමර කිහිපයක් සහිත පොකුරු ගෙවල් ද හමු වී තිබේ. විද්‍යාඥයෝ මෙම විශාල සුසාන ගෙවල් සමාජයේ උසස් පාන්තිකයන් සඳහා ද කුඩා සුසාන ගෙවල් හා පොකුරු සුසාන ගෙවල් ඔවුන්ගේ දැසි දස්සන් වැනි හීන පාන්තිකයන් සඳහා ද වෙන් කරන්නට ඇතැයි ප්‍රකාශ කරති. එකම පවුලක හෝ එකම කුලයක කිහිප දෙනකුගේ භෂ්මාවශේෂ එකම සොහොන් ගැබක තැන්පත් කර තිබීම ඉබ්බන්කටුවේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි. මිනිස් අවශේෂ තැන්පත්කර ඇති මංජුසා සහ ආභරණවලට ආසන්නයේ තවත් කුඩා මැටිබඳුන් දක්නට ලැබීම තවත් විශේෂත්වයකි. මේවායේ මිය ගිය පුද්ගලයා භාවිත කළ භාණ්ඩ තැන්පත්කර තිබෙන්නට ඇතැයි විශ්වාස කරනු ලැබේ. මෙම සුසාන භූමියේ පමණක් එවැනි වළං 180ක් හා වළං කැබලි 14,000ක් පමණ සොයා ගෙන ඇත. එමෙන්ම ඒවායේ සුවඳ විලවුන්, පබළු, තඹවලින් කරන ලද මිලිමීටර් 190ක් දිග අංජන කූරු, ලෝහ පලඳනා, සත්ත්ව ඇටකටු, ඇත් දළවලින් සකසන ලද භාණ්ඩ, ඊ හිස්, යකඩ කැබලි වැනි ද්‍රව්‍ය රාශියක් සොයා ගෙන ඇත. එහි තිබූ පබළු ඇගේට්, කානිලියන් වැනි ඛනිජ වර්ගවලින් නිමවා ඇත. තවද එහි තිබී රන් ආලේප කරන ලද පබළු ඇටවලින් සැකසූ පබළු මාලයක් ද හමු වී තිබේ. ප්‍රභූවරයකුට අයත් යැයි විශ්වාස කළ හැකි රත්තරන් හිස් පලඳනාවක් ද මෙහි තිබී සොයාගෙන තිබේ. මෙම භෂ්මාවශේෂ තැන්පත් කරන ලද ඇතැම් බඳුන්වල ඉන්දියාවේ මොහෙන්ජෝදාරෝ හරප්පා ශිෂ්ටාචාරයෙන් සොයා ගන්නා ලද අක්ෂරවලට සමීප අක්ෂර විශේෂයක් ද හමු වී තිබේ.
ලක්නා නිරෝෂිමාලා