Home » Blog » දැනුමේ අගය ගැන සිතා කම්මැළිකම දුරලමු

දැනුමේ අගය ගැන සිතා කම්මැළිකම දුරලමු

by lakehouse
0 comments

පුංචි දුවලා පුතාලා ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි පාඩම් කරන්න පොත අතට ගන්න විගසම නිදිමත හැදෙනවා. නැත්නම් දැන් බැහැ පස්සේ කරන්නම් කියලා හිතෙනවා. එහෙමත් නැත්නම් ස්මාර්ට් දුරකතනය අරගෙන ගේම් එකක් ගහන්න හිතනවා. ටිවී එක දාගෙන කාටුන් එකක් බලන්න හිතෙනවා. නැතිනම් සෙල්ලම් කරන්න යන්න හිතෙනවා එහෙම නේද? පාඩම් කරන්නත් ඕනෙ කියලා දන්නවා හැබැයි හිත එකතැනක තියාගෙන පාඩම් කරන්න අමාරුයි. මං අද පුංචි ඔයාලට කියන්නම්කෝ කම්මැළි නැතිව පාඩම් කරන පැය හෝ දෙක හරිම ආසාවෙන් පාඩම් කරන්නේ කොහොමද කියලා.

* පැය තුන හතර එක දිගටම පාඩම් වැඩ කරන්නේ නැතිව පුංචි විවේකයක් ගන්න. විනාඩි 20 නැතිනම් විනාඩි 40කට පස්සේ ගන්න. ඒ විවේකය අතර, පුංචි ඔයාට පුළුවන් එළියේ ටිකක් ඇවිදිලා එන්න, අහන්න කැමැතිම සින්දුවක් අහන්න, සින්දුවක් මුමුනන්න,චිත්‍රයක් අඳින්න නැත්නම් ඔයාගේ සුරතලාව චුට්ටක් හුරතල් කරන්න නැත්තම් ආච්චි අම්මා, සීයා ළඟාට ගිහින් පුංචි කතන්දරයක් අහන්න මෙන්න මේවගේ ඔයාගේ හිත සැහැල්ලු වෙන ඔයාට සතුටක් ඇතිවෙන දෙයක් කරන්න.

* පුංචි ඔයා ඔයාටම ඒ දවසේ ඉලක්කයක් දෙන්න. ඒ වගේම ඒ දේ හරියටම කරලා ඉවර කළාම ඔයාව අගය කරන්න. ඒ කියන්නේ මම මේ වෙලාවේ මේ පාඩම හොඳට අවබෝධයෙන් කරලා ඉවර කරනවා මම මේ වැඩේ හරියටම ඉවර කරලා තිබුණොත් මම මං ආසම ජූස් එක හදාගෙන බොනවා. නැත්නම් මං ආසම චොක්ලට් එකක් කනවා. නැතිනම් මං ආසම ගේම්එක සෙල්ලම් කරනවා. මෙන්න මෙහෙම තමන් තමන්ටම පොඩි ටාගට් එකක් දුන්නම ඒක කරලා ඉවර වුණාම තමන්වම අගය කරන්න පුරුදු වුණාම ආසාවෙන් පාඩම් වැඩ කරන්න පුළුවන්.

* පාඩම් කරන්න තියෙන පාඩම් කොටස්වලට කඩාගන්න පුළුවන්. හැම දෙයක්ම එකම වෙලාවේ බදාගෙන කරන්න යන්නේ නැතිව කොටසින් කොටස පාඩම් කරලා කෙටි සටහන් හදාගෙන ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සපයන්න පුළුවන්. කරන දේට සම්පූර්ණ අවධානය යොමු කරලා කළාම ඵලදායිව තමන්ව ඒ දේ කළා කියලා තමන්ටම සතුටු වෙන්න පුලුවන්.

* තවත් කෙනකුට උගන්වන්න. ඔයා ඉගෙන ගත්ත දේ තවත් කෙනකුට කියලා දෙනවා කියන්නේ ඒක ඔයාගේ මතකයේ රැඳෙන්න හුඟක් උපකාර වෙන දෙයක්. ඔයාගේ පන්තියේම යාළුවෙක් නැත්නම් නංගිට මල්ලිට වුණත් කමක් නැහැ. එහෙම කවුරුත්ම නැත්නම් තනියම ඔයා පාඩම් කරපු දේවල් හඬනඟලා කියන්න. ඒක ඔයාගේ මතකය වෙනුවෙන් ගොඩක්ම උපකාර වෙයි.

* ටු ඩූ ලිස්ට් එකක් හදලා තියාගන්න. උදෑසන අවදි වුණු මොහොතේම නැත්නම් කලින් දවසේ නින්දට යන්න කලින් මේ වැඩේ කරන්න පුළුවන්. දවස සැලසුම් කරන එක තමයි ටු ඩූ ලිස්ට් එකක් හදන එකෙන් වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් හෙට දවසේ කරන්න තියෙන දේවල් පුංචි මෝට් බුක් එකක සටහන් කරන්න. හෙට දවසේ පාඩම් කරන විෂයන් නැත්නම් පාඩම් ගැන සටහනක් තියාගත්තම අමතක නොවී ඒ දේවල් අපට කරලා ඉවර කරගන්න පුළුවන්. කම්මැළි නැතිව තමන්ගේ පාඩම් වැඩ වගේම අනික් හැම වැඩක්මත් හොඳින් කරගන්න අනිවාර්යයෙන්ම මේක උදව්වක් වේවි.

* ඒකාකාරි ස්ථානයක් නැතිව ආලෝකය හොඳින් වැටෙන පාඩම් කරන්න ආස තැනක් තෝරාගන්නත් අමතක කරන්න එපා. අඳුරු පිළිවෙලක් නැති ස්ථානයක නම් ඔයා පාඩම් කරන්න තෝරා ගන්නේ අනිවාර්යයෙන්ම පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. මනස නිරවුල්ව තියාගන්න ඒක බාධාවක් වෙන්න පුළුවන්. පුංචි ඔයා පාඩම් කරන්න තෝර ගන්න ඕන ඔයාට ආස හිතෙන පිළිවෙළට පිරිසුදුව නිස්කලංකව තියෙන තැනක්.

* විෂන් බෝඩ් එක්ක හදලා පාඩම් කරන තැන අලවාගන්න. පාඩම් කරන්න ඉඳගත්තම දැනෙන කම්මැළිකම නැතිකරගන්න මේ දේනම් අනිවාර්යයෙන්ම උදව්වක් වේවි. ඔයාගේ හීන අරමුණු දවසක ඔයා ජිවත්වෙන්න කැමැති විදිහ ඔයාගේ අනාගත බලාපොරොත්තු ඔයා ළගාකරගන්න මහන්සිවෙන දේවල්වල රූප ටිකක් හොයාගෙන ඒවා අලවලා විෂන් බෝඩ් එක හදාගන්න. අපි හිතමුකෝ පුංචි ඔයාට සා. පෙළ. විභාගයෙන් ඒ සමාර්ථයන් 9ක් ඕනෙනම් ඔයා ලොකු අකුරින් ලියන්න, මම අ.පො.ස. සා පෙළ විභාගයෙන් විශිෂ්ට ඒ සමාරර්ථ 9ක් ගන්නවාමයි කියලා. ඔයා පාඩම් කරන්න ඉඳගත්තම ඒ දේ දැක්කම අතහැරලා දාලා වෙන වැඩක් කරන්න නෙවෙයි කොහොමහරි මගේ අරමුණට යන්න ඕනේ කියලා ඔයාට අනිවාර්යයෙන්ම හිතේවි.

පුංචි ඔයාලා මේ ටික කරලා බලන්නකෝ. අනිවාර්යයෙන්ම කම්මැළිකම් නැතිව ආසාවෙන් ඔයාගේ පාඩම් වැඩටික කරගන්න පුළුවන් වේවි.

නදීෂා හේරත්


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department