Home » Blog » දරුවන්ගේ ආකල්ප සහ කුසලතා හඳුනා ගැනීම වැදගත් වෙනවා

දරුවන්ගේ ආකල්ප සහ කුසලතා හඳුනා ගැනීම වැදගත් වෙනවා

by lakehouse
0 comments

වැලිසර කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලයේ
විදුහල්පතිනිය
කේ. ඒ. විජාමලී පාලිකා මහත්මිය
දරුවන්ගේ කුසලතා සහ ආකල්ප වර්ධනය කිරීමට පාසලෙන් ලැබිය යුතු වන්නේ අපරිමිත සහයෝගයකි. මෙම සහයෝගය පාසලෙන් සෑම දරුවකුටම ලැබෙනවා ද යන්න ගැටලුවකි. දරුවන් විවිධ ය. ඔවුන්ගේ ආකල්ප ද විවිධ ය. එමෙන්ම අධ්‍යාපනයට දක්වන නැඹුරුව ද විවිධ ය. මේ නිසා මව්පියන් මෙන්ම ගුරුවරුන් ද වැඩිහිටියන් ද දරුවන් තේරුම් ගත යුතුයි. මේ පිළිබඳ වැලිසර කරුණාරත්න විදුහලේ විදුහල්පතිනිය කේ. ඒ. විජාමලී පාලිකා මහත්මිය දැක්වූ අදහස් පුංචි ඔබත් හොඳීන් කියවලා බලන්නකෝ.

” දරුවන් කියන්නේ මල් වගේ. ඒ අයගේ අදහසුත් ඒ වගේ සියුමැලියි. සෑම විටම දරුවන් ආදරය කරුණාව බලාපොරොත්තු වෙනවා. මේ බලාපොරොත්තු වීම අප දැනගත යුතුයි. එසේ දැනගත්තේ නැතිනම් අපට දරුවන් සමඟ ගනුදෙනු කරන්න බැහැ. බොහෝ දරුවන් අධ්‍යාපනය නිසි ලෙස හැදෑරීමට නැඹුරු වන්නේ ඔවුන් ලබලා තියෙන ආදරය කරුණාව අනුවයි කිවහොත් නිවැරැදියි. දරුවන්ට අධ්‍යාපනය ලබලා දෙන විට ඔවුන් හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා. අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තිබෙන පහසුකම් අනුව මේ සියල්ල හඳුනා ගැනීමත් අපහසුයි. ඒත් අප, අපට හැකි ප්‍රමාණයෙන් හඳුනා ගන්න අවශ්‍යයි.”

”දරුවන්ගේ හසුරු කුසලතා හඳුනා ගැනීම දරුවන්ට මෙන්ම රටටත් වැදගත් වෙනවා. එයට හේතුව දරුවන් දක්ෂතාව මත ස්ථානගත කිරීම වැදගත් වෙන නිසායි. විශේෂයෙන් තාක්ෂණය, කලා ක්‍රීඩා වැනි කුසලතා කෙරෙහි දරුවන් යොමු කිරීම අවශ්‍යයි. එසේ නැතිනම් දරුවන්ට සමබර අධ්‍යාපනයක් ලැබෙන්නේ නෑ. වර්තමානයේ දැනුම පසුපස හඹා යන දරුවන් පිරිසක් තමයි අපට දක්නට ලැබෙන්නේ. එයින් දරුවන් අධ්‍යාත්මයට යොමු කිරීම අතපසු වෙනවා. මේ නිසා ඔවුන් වැඩිහිටියන් බවට පත් වීමේදී සමාජ ගැටලු ඇති වීමට ඇති ඉඩ ප්‍රස්තාව වැඩියි. මේ නිසා අනිවාර්යයෙන්ම දරුවකුගේ පෞරුෂත්ව සංවර්ධනයක් කිරීම අවශ්‍ය වෙනවා. එසේ සංවර්ධනය කිරීමට නම් දරුවාගේ මනෝභාවය සංවර්ධනය කළ යුතුයි. මනෝභාව සංවර්ධනය කිරීම එතරම් ලේසි නැහැ. ඒ සඳහා දරුවත් ගුරුවරයාත් අතර හොඳ හඳුනා ගැනීමක් අවශ්‍යයි. මම හිතන්නෙ පාසල් පද්ධතියටම අවශ්‍ය වන්නේ මේ වැනි හඳුනා ගැනීමක්. එහෙත් වර්තමානයේ ආකල්පමය කුසලතා සංවර්ධනය අවමයි. එහෙත් මේ සඳහා දැඩි අවධානයක් යොමු කළ යුතුයි.”

” මේ තත්ත්වය අපේ පාසලේ ඇති කිරීමට අප උපරිම උත්සාහ ගන්නවා. පවතින පරිසරය හඳුනාගෙන ඒ ඔස්සේ ගනුදෙනු කිරීමට දරුවා සූදානම් කිරීම කළ යුතුයි. එසේ කළ යුතු වන්නේ දරුවා යම්තාක් දුරට අධ්‍යයනය කිරීමෙන් පසුවයි. අපේ පාසලේ 2300ක් ශිෂ්‍ය ප්‍රජාවක් සිටිනවා.

ඒ වගේම ගුරුවරු අසූවක් සිටිනවා. අනධ්‍යයන කාර්යය මණ්ඩලයෙන් ද ලැබෙන්නේ විශාල සහයෝගයක්. අපේ පාසලේ අනධ්‍යයන කාර්ය මණ්ඩයේ හතර දෙනකු ඉන්නවා. ඒ වගේම අපේ පාසලේ හය ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සිසුන් අධ්‍යාපනය ලබනවා. අ.පො.ස. උසස් පෙළ වුවත්, සෑම අංශයක්ම තිබෙනවා. ඒ වගේම අපේ පාසලේ ගුරුවරුත් දරුවන්ට උපරිම උත්සාහයෙන් අධ්‍යාපනය ලබලා දෙනවා. මේ දෙය විදුහල්පතිනියක් වශයෙන් මම අගය කරනවා.”

ඇය රටට දැයට ඉටු කිරීමට බලාපොරොත්තු වන සේවය ඒ අයුරින්ම ඉටු වේවා යැයි මිහිර වෙතින් සුබ පතමු.

රූපාන්ති බුලත්සිංහල

ඡායාරූප – පාසලේ ඡායාරූප අංශය

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department