Home » Blog » සතුට දුටු හැටි

සතුට දුටු හැටි

by lakehouse
0 comment

එක දවසක් ළමයි පිරිසක් බර්ච් ගස් අසල තිබූ ලී කොට මත වාඩි වී කතා කරමින් සිටියා.
“අද මගේ සතුටුම දවස” ලීනා පැවසුවා. ” මේ බලන්න මගේ අලුත් බෝ එක. බලන්න ඒක කොච්චර ලස්සනද?” ලීනා ඇයගේ හිසෙහි බඳීන ලද ගෙත්තම් පටිය අනෙක් අයට පෙන්වමින් සතුටින් පැවසුවා.
“මේ මගේත් සතුටු දවසක්,” ටානියා පැවසුවා.
“මගේ ළඟ අලුත් පාට කූරු පෙට්ටියක් තියෙනවා. ලොකු පෙට්ටියක්. මේ බලන්න”
ටානිටා ඇයගේ අලුත්ම අලුත් ක්‍රෙයොන් පාටකූරු පෙට්ටිය පෙන්වමින් පැවසුවා.
“මොකක්ද ඒ තරම් සතුටක්? මේ බලන්නකෝ මගේ මාළු අල්ලන බිළී පිත්ත. මට මේකෙන් ඇතිතරම් මාළු අල්ලන්න පුළුවන් ”
පෙත්යා පැවසුවා.
“ඔයාගේ ඔය පාට කූරුවලින් ඒතරම් ප්‍රයෝජනයක් තියෙනවද? ඕනෙ නම් ඔයා ඔය පාට කුරු පාවිච්චි කරලා චිත්‍රයක් පාට කරාවි. එච්චරනේ. ඊටපස්සේ ඒ පාටකූරු ඉවර වේවි”
පේත්යා නැවතත් පැවසුවා.
එතැන සිටි දිමාටත් පුරසාරම් කියන්නට යමක් අවශ්‍ය වුණා.
” මේ බලන්න මට අත් දිග කමිසයක් තියෙනවා! මේ” දිමා කීවේ ඔහුගේ දෑත් පළල්කර ඔහු ඇඳ සිටි කහ පාට ලස්සන කමිසය අනෙක් අයට පෙන්වමිනුයි.
වාන්යා මේ සියල්ල අසා සිටියත් කිසිවක් පැවසුවේ නැහැ.
“වාන්යාට සතුටු වෙන්න දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ වගේ,” ලීනා පැවසුවේ නිශ්ශබ්දව සිටින වාන්යා දෙස බලමිනුයි.
“මටත් තියනවා සතුටු වූ දෙයක් ගැන කියන්න. මං මල් වගයක් දැක්කා” වාන්යා පැවසුවා.
එය අසා අනෙක් ළමයි ඔක්කොම එක පාරටම කතා කරන්න පටන් ගත්තා.

“මොන මල්ද?”
ඔවුන් ඇසුවා.
“ඔයා කොහෙදිද ඒවා දැක්කේ?”

“කැලෑව ඇතුළේ එළිමහන් තැනකදි. මං එක දවසක් කැලෑවේ අතරමං වුණාම එකපාරටම කළුවර වැටෙන්න ගත්තා. ඒත් ඒ මල්වලින් හොඳ එළියක් නිකුත් වුණා. ඒ නිසා එතැන කළුවර තිබුණේ නෑ”

වාන්යා විස්තර කළා.

එවිට ඔහුගේ මිතුරන් සිනාසුණා. එයාලා හැමෝම හිතුවේ වාන්යා විකාර කතා කියන මෝඩ ළමයෙක් කියලයි.

“කැලෑවේ කොහොමත් විවිධ මල් වර්ග ගොඩක් පිපෙනවා. ඒක සතුටු වෙන්න තරම් විශේෂ දෙයක් නෙවෙයි”
ළමයි පැවසුවා.

“ශීත ඍතුවේ දවසක මම දැක්කා
ගෙවල්වල වහලවල” ඊළඟට වාන්යා කිව්වා.

” ඇයි ශීත ඍතුවේ විතරක? ඔයා ගිම්හාන කාලයේදී වහලවල් දැක්කේ නැද්ද?”
ළමයි ඇසුවා.
“අනිවාර්යයෙන්ම, මං හැම ඍතුවකදීම වහලවල් දැක්කා. ඒත් ශීත ඍතුවේ දී වහලවල් මත හිම වැටී තිබුණා. හිම මත හිරු එළිය දිලිසෙමින් තිබුණා. වහලයේ එක පැත්තක් නිල් පාටයි. අනෙක් පැත්ත රෝස පාටයි. ඒවා හරිම ලස්සනට දිලිසුණා”
වාන්යා හරිම සතුටින් එය විස්තර කළා.
“හ්ම්! අපි හැමෝම ශීත ඍතුවේදී වහලවල්වල හිම දැකලා තියෙනවා. ඒත් ඔයා ඒවා රෝස පාටයි සහ නිල් පාටයි කියලා අලුත් කොටසකුත් ඒකට එකතු කළා” ලීනා පැවසුවා.

“ඇත්තටම එයා එහෙම කළා. එයා නිකන් විහිළු කරනවා” ළමයි හැමෝම වාන්යාට හිනා වුණා.

“ඒකනේ එයා අපට නිකම් විහිළු කතා කියනවා” පෙත්යා පැවසුවා.

“සමහර විට වාන්යා ඔයාට අපට කියන්න වෙනත් සතුටු හිතුණ දෙයක් තියෙනවා ඇති” ටාන්යා පැවසුවා.

“හරි. මං කියන්නම්. මම වැහි දවසක රිදී පාට මාළු ටිකක් දැක්කා.” වාන්යා සතුටින් කිව්වා.

එය අසා දිමා උඩ පැන්නා. “කොහෙදිද ඔයා රිදී පාට මාළු දැක්කෙ?” දිමා ඇසුවා.

“ඇත්තද? ඇත්තම රිදී මාළුද ඔයා දැක්කේ?” එය අසා පෙත්යාත් උඩ පැන්නා.
“පොකුණේ ද නැත්නම් ගඟේ ද?”
පෙත්යා ඇසුවා.
” පුංචි පොකුණක.” වාන්යා පිළිතුරු දුන්නා.

එවිට ළමයි සියලුදෙනාම සිනාවෙමින් කෑ ගැසුවත් පෙත්යා මැසිවිලි නඟමින්, මෙහෙම කිව්වා.
“මම කිව්වේ ඔහු නිකම් විහිළුවට කතා කියනවා විතරයි!”

“නෑ, විහිළු නෙවෙයි කියන්නේ. මං ඇත්තටම රිදී පාට මාළු දැක්කා. වැස්සට පස්සේ ඇපල් ගහ යට පුංචි දිය කඩිත්තක් සෑදිලා තිබුණා. ඒක අහස වගේ නිල් පාටයි. ඒකට ඉර එළිය වැටිලා හරිම පැහැදිලිව තිබුණා. ඒ වෙලාවේ සුළඟත් හැමුවා. වතුර එක දිගටම වෙව්ලන්න පටන් ගත්තා. එතකොටයි මම ඒ දියකඩිත්තේ රිදී පාට මාළුවෝ දැක්කේ” වාන්යා කිව්වා.

“වාන්යා බොරු කතන්දර හදනවා විතරයි” ලීනා එහෙම කිව්වේ සිනාසෙමින්.
. “ඇත්තටම එයාට සතුටු දවසක් නෑ.”
බොහෝ දෙනෙක් පැවසුවා.
ටාන්යා මොනවා හරි කල්පනා කළා. ඊට පස්සේ ඇය මෙහෙම කිව්වා.
“සමහරවිට වාන්යා අපට වඩා සතුටින් ගත කළ දවස් ගොඩක් තියෙන්න පුළුවන්. ඒ මොකද කියනවා නම් වාන්යා සතුටු වෙන්න පුළුවන් දේවල් සෑම තැනකින්ම සොයා ගන්නා නිසයි”
මේ කතන්දරය කියවූ පුංචි ඔයාලාත් වාන්යා වගේ දකින පුංචි දේවලින් වුණත් සතුටක් සොයාගන්න සමත් වෙනවා නම් ඔයාලාට හැම දවසක්ම වගේ සතුටින් ඉන්න පුළුවන් වේවි කියලා මං හිතනවා.

සෝවියට් රුසියානු ලේඛිකා එල්. වොරොන්කෝවා (Lyubov Voronkova) විසින් රුසියානු භාෂාවෙන් රචනා කරන ලද මෙම කතාව රුසියානු ලේඛිකා Fainna Glagoleva විසින් Happy Days නමින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර තිබෙනවා.

 

හර්ෂණී ගමගේ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department