ආදරණීය දුවේ පුතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාජාංගනයේ හස්තිකුච්ඡි විහාරය නම් ඓතිහාසික විහාරස්ථානය පිළිබඳ ඔයාලට කියලා දෙන්නයි අද දවසේ උරුමයක වගතුග පිටුවෙන් මේ සූදානම.
කුරුණෑගල සිට ඇල්ල හරහා අනුරාධපුරය දක්වා වූ මාර්ගයේ 43 වැනි සැතපුම් කණුව අසලින් මහගල්කඩවල හන්දියෙන් වමට හැරී සැතපුම් තුනක් ගිය විට මෙම විහාරස්ථානය හමුවේ. ස්වභාව සෞන්දර්යයෙන් අනූන වටපිටාවක පිහිටා ඇති මෙම විහාරස්ථානය සිරි සඟබෝ රජු හිස දන් දුන් ස්ථානය වශයෙන් ද සැලකෙයි.
අනුරාධපුර යුගයේ ඉදිකරන්නට ඇතැයි සැලකෙන මෙම විහාරස්ථානයේ ගල් ලෙන් තිස් අටක් දක්නට හැකි ය. එම ගල් ලෙන් වෘත්තාකාරව පිහිටා ඇති අතර, පොකුරු වශයෙන් ද දක්නට ලැබේ. ඒවායෙහි පියස්සේ කටාරම් කොටා ඇති අතර, එමඟින් ගල දිගේ පහළට ගලා එන ජලය ලෙන ඇතුළට වැටීම වළක්වා පියස්සෙන් කෙළින්ම බිමට වැටෙන්නට සලස්වා ඇත. එහි කටාරමට පහළින් කොටා ඇති එකිනෙකට ළඟින් තිරස් අතට කැපූ රේඛාවලින් ද එම ජලය තවත් විධිමත්ව ලෙන ඇතුළට වැටීම වළක්වා තිබේ. කටාරම්වලට පහළින් බ්‍රාහ්මීය සෙල්ලිපි දක්නට ලැබීම මෙහි ඇති තවත් විශේෂ ලක්ෂණයකි. ඒවායෙහි භික්ෂූන් වහන්සේලාට ලෙන් පූජා කිරීම පිළිබඳ දක්වා තිබේ. ඒ අනුව මෙම ලෙන් භික්ෂූන් වහන්සේලාගේ පරිහරණය සඳහා යොදා ගන්නට ඇති බව සනාථ වේ. මූලාශ්‍රගත තොරතුරු අනුව සද්ධාතිස්ස රජතුමාගේ සොහොයුරියකගේ පුතකු වූ ඵුස්ස දේව නම් ඇමැති මෙම විහාරස්ථානයේ පැවිදි වී ඇති බවට සඳහන් වීමෙන් ඒ බව තවදුරටත් ඔප්පු වේ.
නිස්කලංක පරිසරයක පිහිටා තිබීම නිසා භික්ෂූන් වහන්සේලා මෙම ලෙන් ආශ්‍රිතව භාවනායෝගීව වැඩ වාසය කරන්නට ඇති අතර, මෙම ගල් ලෙන්වල පසුකාලීනව බිත්ති නිර්මාණය කරමින් වඩා සුවපහසුව සකස් කරන ලද ආකාරයත් දක්නට ලැබේ. එහෙත් මෙවැනි නටබුුන් වී ගිය බිත්ති කොටස් සහිත ලෙන් විහාර තුනක් අදටත් මෙම භූමියෙන් අපට හමුවේ. බිත්ති බැඳීම බහුලවම පිලිස්සූ මැටි ගඩොල් භාවිතයෙන් සිදුකර ඇත. සමහර අවස්ථාවල ගල් කුටි ද ඒ සඳහා භාවිතකර තිබේ. ග්‍රැනයිට් පාෂාණය වැනි පාෂාණ වර්ග ද බිත්ති බැඳීමේදී උපයෝගී කරගෙන ඇත.
මෙම ගල්ලෙන්වල වහලේ සිදුකරන ලද නිර්මාණ අංගයක් ද අපට හමුවේ. මෙය අසල පිහිටි ගල්ලෙන් දෙකක් එකට එකතුකර කරන ලද පියස්සකි. වර්තමානය වන විට මෙම පියසි විනාශ වී තිබුණ ද ලෙන්වල දක්නට ලැබෙන කුඩා කැපුම් කුහර එම නිගමනයට පැමිණීමට හේතු වී ඇත. ඉහත ලක්ෂණ සහිත ගල්ලෙන් තුනක් මෙම විහාරස්ථානය ඇතුළත අදටත් දක්නට ලැබේ.
මහනුවර යුගයේ ඉදිකරන්නට ඇතැයි විශ්වාස කරන ලෙන් විහාරයක් ද මෙම විහාරස්ථාන භූමියේ දක්නට හැකි ය. කටාරම් කෙටූ ගල් ලෙන්වල මහනුවර යුගයට අයත් බුදු පිළිමයක් තැන්පත් කිරීමෙන් එය නිර්මාණයකර තිබේ. මෙහි රියන් 18ක් දිග සැතපෙන පිළිමයක් ද දැක ගත හැකි අතර, මෙම ලේන සම්පූර්ණයෙන්ම ආවරණය වන සේ බිත්ති බැඳ ජනෙල් කවුළු දෙකක් හා ආරුක්කු හැඩයෙන් යුත් පිවිසුමක් ද තබා තිබේ. ගල්ලෙන් සඳහා ප්‍රවේශ වීමට ගලෙන්ම කපන ලද පඩි පෙළ නිර්මාණයකර තිබීම ද තවත් කැපී පෙනෙන ලක්ෂණයකි. ලෙන් ආශ්‍රිතව පොකුණු පද්ධතියක් ද වෙයි. “හිරු සඳු නොදකින පොකුණ” එයින් විශේෂිත ය. ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසුන් විසූ ලෙන් මෙලෙස පසුකාලීනව භික්ෂූන් වහන්සේලාගේ පරිභෝජනය සඳහා යොදා ගන්නට ඇතැයි විශ්වාස කරනු ලැබුව ද එම මතය සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි මෙම භූමියෙන් මෙතෙක් හමුවී නොමැත.