Home විදෙස් පුවත් දුර අහසේ පියාසලන චීනයෙන් ආ සරුංගලය

දුර අහසේ පියාසලන චීනයෙන් ආ සරුංගලය

by lakehouse
0 comment

අපේ රටේ බාල මහලු කොයි කා අතරත් ඉතාමත්ම ජනප්‍රිය විනෝදාස්වාදාත්මක මෙවලමක් ලෙස සරුංගල් හඳුන්වා දෙන්නට පුළුවන්. දූලා පුතාලා දන්නවාද කවුද මේ අපූරු සරුංගලය සොයාගත් පුද්ගලයා කියලා? ඒ තමයි පුරාණ චීනයේ සටන්කාමී රාජ්‍ය සමයේ (Warring States Period) විසූ ලූ බන් (Lu Ban)  නම් වූ ඉතා දක්ෂ නිර්මාණ ශිල්පියා. ඔහු උණ බම්බු සහ දැව ආධාරයෙන් පොල්කිච්චකුගේ හැඩයටයි එකල සරුංගල් මුල් වරට නිර්මාණය කර තිබෙන්නේ. අද වන විට චීන හස්ත කර්මාන්තයේ සංකේතයක් වන, වසර දෙදහසකට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන මේ සරුංගල්වල වගතුග පිළිබඳවයි අද අපි පුංචි ඔබට කියන්නට සූදානම් වන්නේ. ඉතින් දුවේ පුතේ, කියවලා බලන්නකෝ එහි අපූර්වත්වය පිළිබඳ කතාව.

කුරුල්ලකුගේ ස්වාභාවික පියාසර කිරීම අනුකරණය කරමින් අතීත චීන ජනයා සැකසූ මෙම සරුංගල් මූලිකවම යොදාගනු ලැබුවේ යුදමය කටයුතු වෙනුවෙන් බවටයි තොරතුරු සඳහන් වෙන්නේ. එහිදී චීන හමුදාවන්ට බුද්ධි තොරතුරු සැපයීමේදී සරුංගල් සුවිශාල කාර්යභාරයක් ඉටුකර තිබෙනවා. පුරාණ චීනයේ පැරැණිතම සරුංගල් මූලිකවම සැහැල්ලු දැව වර්ගවලින් සෑදූවත් පසුකාලීනව එරට කඩදාසි කර්මාන්තය බිහිවීමත් සමඟ සරුංගල් සැකසීමට කඩදාසි භාවිත කිරීමට පටන් ගෙන තිබෙනවා. තන්ග් (Tang Dyansty) සහ සොන්ග් (Song Dynasty)  රාජවංශ සමයන්හිදී සාමාන්‍ය ජනයා අතර ද ඉතා ශීඝ්‍රයෙන් සරුංගල් ව්‍යාප්ත වන්නට වූයේ එළිමහන් විනෝද ක්‍රියාකාරකමක් ලෙසින් ය. ඒ අනුව මෙම සම්ප්‍රදායික චීන සරුංගල් ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදා දක්වන්නට හැකියි.

සරුංගල් වර්ග

 දැවමය සරුංගල් (Wooden Kites)

 කඩදාසි සරුංගල් (Paper Kites)

 සැහැල්ලු සරුංගල් (Lighter Kites)

ජාත්‍යන්තර සබඳතා වර්ධනයත් සමඟින් එකල චීන සරුංගල් ද ලොව පුරාම ව්‍යාප්ත වන්නට වුණා. ඒ අනුව පළමුවෙන්ම ඒවා ජපානය සහ කොරියාව වැනි අසල්වැසි රටවලට ව්‍යාප්ත වූ අතර, පසුව මියන්මාරය, මැලේසියාව, ඉන්දුනීසියාව සහ නවසීලන්තය දක්වාද සේද මාවත ඔස්සේ අරාබියට සහ බටහිර යුරෝපයටත් පැතිර ගොස් තිබෙනවා. එසේම යුඇන් රාජවංශ (Yuan Dynasty)  සමයේදී වසර 17ක් චීනයේ නිලධාරියකු ලෙස සේවය කිරීමෙන් අනතුරුව ඉතාලි ජාතික මාර්කෝ පෝලෝ (Marco Polo)  නැවත තම මව් රටට පිටත්ව ගිය පසුව බටහිර රටවලට ද චීන සරුංගල් පිළිබඳ හඳුන්වා දුන් බව මූලාශ්‍රවල සඳහන් වේ.

රාමුව සැකසීම, කඩදාසි හෝ සිල්ක් රෙදි භාවිතයෙන් රාමුව ඇලවීම සහ රිබන්, ටසල්, චීන සිතුවම් ආදියෙන් සැරසිලි කිරීම යන පියවර තුන ඔස්සේ නිමැවෙන මෙම චීන සරුංගල් කුරුල්ලන්, සමනලුන්, බත්කූරන්, විවිධ කෘමීන්, මත්ස්‍යයන්, මකරුන් වැනි මිථ්‍යා සතුන්, විවිධාකාරයේ ජ්‍යාමිතික හැඩතල මෙන්ම මිනිස් රූප හැඩයන්ගෙන් ද ඉතා අලංකාරවත් අයුරින් විවිධ ප්‍රමාණයන්ගෙන් නිර්මාණය වීම එදා සිට අද දක්වාම චීනයේ සිදු වනවා.

චීනයේ ෂන්දොංග් (Shandong)  පළාතෙහි වෙයිෆංග් (Weifang) නගරය කියලා කියන්නේ දුවේ පුතේ, එරට සරුංගල් නිෂ්පාදනය කරන ප්‍රසිද්ධම ප්‍රදේශයක්. එය “ලෝකයේ සරුංගල් අගනුවර” (“Kite Capital of the World”) ලෙස ද හඳුන්වනු ලබන අතරම, ලොව විශාලතම සරුංගල් කෞතුකාගාරය වන වෙයිෆංග් ලෝක සරුංගල් කෞතුකාගාරය (Weifang World Kite Museum) පිහිටා තිබෙන්නේත් එහි‍යි. සෑම වසරකම අප්‍රේල් 20 සිට 25 දක්වා වෙයිෆංග් ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය (Weifang International Kite Festival)  එහිදී පවත්වනු ලබන අතර, ලොව පුරා විසිරී පැතිරී සිටින සරුංගල් ලෝලීන් දහස් ගණනින් සරුංගල් තරග සඳහා සහභාගී වීමට වෙයිෆංග් නගරයට යනවා. එසේම මෙම වර්ණවත් සංදර්ශනය නැරැඹීමට සංචාරකයන් ද අති විශාල ප්‍රමාණයක් එහි පැමිණෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

නිෂාරා අමරකෝන්
කැලණිය විශ්වවිද්‍යාලය

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department